අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස

වරාය නගර නඩු තීන්දුව , ප්‍රජාතන්ත්‍රවාදය සහ සහජීවනය

සී ජේ අමරතුංග

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුව අතිශයින් වැදගත් ප්‍රබල තීන්දුවක් බව බොහෝ දෙනාගේ පිළිගැනීම වී තිබේ. මෙය ඓතිහාසික තීන්දුවක් ය යන්න පොදු පිළිගැනීමක් වී තිබේ. එසේ වුව ද, එහි දී බොහෝ දෙනා සැලකිල්ලට ගන්නේ මෙම නිශ්චිත කාරණයේ දී, රටේ ස්වාධීනත්වය සහ ඒකීය භාවය රැක ගැනීමට එමගින් සිදු වූ මහඟු කාර්ය භාරය යි. එම නිශ්චිත කාර්යය ඉටු කිරීමත් සමග ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට මෙන් ම සහජීවනයෙන් යුතු සමාජයක පැවැත්ම තහවුරු කිරීමට ඇති පදනම් යලි ශක්තිමත් කළ ආකාරය බොහෝ දෙනාගේ අවදානයට යොමු වන්නේ නැත. එනම් රටේ නීතියේ ආධිපත්‍යය මෙන් ම ඒ කෙරෙහි ඇති විශ්වාසය යලි තහවුරු කිරීම මගින් සමාජ සාමය සහ සහජීවනය යලි සහතික කිරීමේ කාර්යය යි.

පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරී තිබුණේ අතිශයින් වැදගත් නමුත් සීමා සහිත කාර්යයකි. එනම්, පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ ද යන්නත්, එහි කිසියම් වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග ගැටෙන්නේ නම් එය සම්මත කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්නත් තීරණය කිරීම යි.

වරාය නගර ආර්ථික කොමිසන් සභා පනතට එරෙහිව පෙත්සම් 19 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව තිබිණි. එම පෙත්සම් මගින් ඉල්ලා තිබුණේ පනත හෝ එහි යම් යම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තීන්දු කරන ලෙස හා ඒවා සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් වන විශේෂ බහුතරයකින්  සහ ජනමත විචාරණයකින් ද  සම්මත කළ යුතු බවට නියෝග කරන ලෙසත් ය.

පෙත්සම් විභාගයෙන් පසුව කතානායක වරයා වෙත ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මැයි 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබී ය. එහි සඳහන් වුයේ පනතේ වගන්ති 25 ක් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව යි. එයින් වගන්ති නවයක් මගින් ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වන  බව තීරණය කොට තිබු ශ්‍රේෂ්ඨාධිකරණය එම වගන්ති පවතින ආකාරයට සම්මත කිරීමට නම්, පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයට අමතරව ජනමත විචාරණයකින් ද සම්මත කළ යුතු බව තීන්දු කොට තිබිණි. වගන්ති 16ක් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය, එනම් තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කළ යුතු බව තීරණය කොට තිබිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුල වීම සඳහා එක්  එක්  වගන්තියේ සිදු කළ යුතු වෙනස්කම් ද අධිකරණ තීන්දුවේ සඳහන් කොට තිබිණි. ඒ අනුව පනත සංශෝධනය කිරීමට රජය එකඟ වීම නිසා පනතේ තිබු අහිතකර ලක්ෂණ බොහොමයක් ඉවත් වූ බව බොහෝ දෙනාගේ විශ්වාසය වී ය.

බොහෝ දෙනා ශ්‍රේෂ්ටාධිකරණ තීන්දුව ගැන සතුටට පත් වුයේ එමගින් කොළඹ වරාය ආර්ථික කොමිසන් සභා පනතේ තිබු රටට අහිතකර සහ ජාතික ස්වාධිපත්‍යයට හානිකර අංග ඉවත් කිරීම යන කරණය නිසා ය. විපක්ෂයේ ප්‍රධාන කථිකයෙකු වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා උද්දාමයෙන් කීවේ ශ්‍රේෂ්ඨාධිකරණය පනතට කුළුගෙඩි පහරක් එල්ල කොට ඇති බව යි. ඇත්තෙන් ම, එම කරණය නිසා පමණක් වුව ද, මෙම නඩු තීන්දුව රටට අතිශයින් ම වැදගත් ය.

මෙම තීන්දුව තුළින් ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ ස්වාධීනත්වය තහවුරු කරගැනීම සහ ප්‍රදර්ශනය කිරීම ගැන ද සුළු පිරිසක් කතාබහ කළ හ. එමෙන් ම, අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය තහවුරු කර ගැනීම ද රටේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම කෙරෙහි අතිශයින් වැදගත් සාධකයකි. 

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ප්‍රධාන ලක්ෂණයක් නැතහොත් අංගයක් වන්නේ එය නීතියේ ආධිපත්‍යය සහිත සමාජයක් වීම යි. එවැනි සමාජයක පාලකයින් මහජනයා විසින් පත් කරගනු ලබන අතර ඔවුන් තම පාලනය කළ යුතු වන්නේ සමාජය පොදු වශයෙන් පිළිගත් නීති පද්ධතියකට යටත්ව ය. එම පිළිගත් මුලික නීතිය වන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යි.

 ප්‍රජාතන්ත්රවාදී පැවැත්ම සහතික කිරීම සඳහා මුලික නීතිය මගින් ම බලය බෙදා තිබීම ද පිළිගත් සිද්ධාන්තයකි. එනම්, විධායකය, ව්‍යවස්ථාදායකය, සහ අධිකරණය යන ප්‍රධාන ආයතන තුනට බලය බෙදා තිබීම යි. එම ආයතන තුන හඳුන්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක ප්‍රධාන කුළුණු තුන වශයෙනි.

මෙම ප්‍රධාන කුළුණු තුන එකිනෙකින් ස්වාධීනව ක්‍රියාත්මක විය යුතු බවත්, එකක බලය තවෙකක් මගින් යටපත් නොවිය යුතු බවත්, තවත් පිළිගැනීමකි. සෞඛ්‍ය සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්ම සහතික වන්නේ එවිට ය.

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම බිහිවන්නට පෙර මෙම සමස්ත බලය තිබුණේ එක තැනක ය. එනම්, රජු යටතේ ය. රජු බලය අයුතු ලෙස භාවිත කළ හොත් එය පාලනය කිරීමට සංවරණ සහ තුලන ක්‍රමයක් නොතිබිණි. එහි ප්‍රතිඵලය නම් එබඳු සමාජයක නිතර නිතර කැරලි හට ගැනීම යි. ඇතැම් විට මහජන කැරලි ලෙසත්, තවත් විටෙක රජ පවුල් තුළ සහ රදලයන්ගේ කැරලි ලෙසත්, මෙම ප්‍රචණ්ඩ ගැටුම් පැන නැගුනු බව ඉතිහාසයේ සාක්ෂි මගින් පෙන්නුම් කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක කැරලි කොලාහල අවම වීමටත්, සාමය සහ සංහිඳියාව තහවුරු වීමටත්, ප්‍රධාන හේතුවක් වන්නේ එක තැනක කේන්ද්‍රගතව තිබු බලය බෙදාහැර තිබීම සහ කිසිදු ආයතනයකට අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක වන්නට ඉඩ නොතිබීමත් ය.

නීතියේ ආධිපත්‍යය පිලිබඳ සංකල්පය තරමක් පැරණි බව පෙනෙන්නට තිබේ. චීනයේ කොන්ෆියුසියස් දර්ශනය යටතේ චීන රජවරුන් යම් නීති පද්ධතියක් යටතේ කටයුතු කරන්නට සිදු වූ බව කියති. ලෝකයේ වෙනත් බොහෝ රටවලින් ද එබඳු තත්ත්වයන් ගැන වාර්තා වෙයි. 

මෙම තත්ත්වයේ සිට නීතිය රජුගේ ආධිපත්‍යයට තීරණාත්මක ලෙස අභියෝගයක් වන තත්ත්වයට පත්වීමේ ආරම්භයක් ලෙස සැලකෙන්නේ ක්‍රිස්තුවර්ෂ 1215 දී එංගලන්තයේ ජෝන් රජු සහ රදළයින්ගේ සම්මුතියක් ලෙස බිහිවන මැග්නා කාටා ප්‍රකාශනය යි. මැග්නා කාටා යන්නෙහි තේරුම නිදහසේ මහා ප්‍රඥප්තිය යන්න යි. එයින් රජුගේ බලය විශාල ලෙස පාලනය වන නීතියක් පළමුවරට බිහිවෙයි. මුල දී එය සාර්ථකව ක්‍රියාත්මක නොවුව ද, නැවත නැවත අලුත් කරමින් දිගට ම පැවතිණි.

කෙසේ වෙතත්, විධායක,ව්‍යවස්ථාදායක සහ අධිකරණය ලෙස බලය බෙදීමේ සංකල්ප ශක්තිමත් වන්නේ සහ පළමුවරට ක්‍රියාවට නැගෙන්නේ ලෝකයේ පළමු ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය වන ප්‍රංශ මහා විප්ලවය සමග ය. මොහ්ටෙස්කු, රුසෝ වැනි දාර්ශනිකයින් එයට අවශ්‍ය න්‍යායික පදනම සංවර්ධනය කොට තිබිණි. එලෙස පසුකාලීන ප්‍රජාතන්ත්‍රවාදී  සමාජවල පදනම සැකසෙන්නේ බලය බෙදා තැබීම යන මොන්ටෙස්කුගේ දර්ශනය සහ සමාජ සම්මුතිය පිලිබඳ රුසොගේ දර්ශනය ගුරු කොට ගනිමිනි. 

එහි දී ප්‍රශ්නය මතු වන්නේ රජු බලයෙන් ඉවත් කරන්නේ නම් ඒ වෙනුවට ගොඩනගන බල ව්‍යුහය කුමක්ද යන්න යි. නරක රජු පන්නා තවත් රජෙකු පත්කර ගැනීම විසඳුමක් නොවන බව ඒ වනවිට ඕනෑවටත් වඩා පැහැදිලි වී තිබිණි. 

අවශ්‍ය වුයේ සමාජයේ සිටින සියලු දෙනා සම්මුතියකින් බැඳ තබාගත හැකි පාලනයකි. එමෙන් ම අත්තනොමතිකත්වයකට ඉඩ නොතබන පාලන ක්‍රමයකි. සාමය , සන්හින්දියව, සුරක්ෂිතතාව පවත්වාගෙන යා හැකි ක්‍රමයකි.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ බලය බෙදීම සහ නීතියේ ආධිපත්‍යය යන සංකල්ප ක්‍රියාවට නගා  ඇත්තේ ඒ වෙනුවෙනි.

මෙබඳු ක්‍රමයක් තුළ ඉතාමත් වැදගත් වන්නේ තමන්ගේ භෞතික සුරක්ෂිතභාවය මෙන් ම, තම අයිතීන්ගේ සුරක්ෂිත භාවය පිලිබඳ විශ්වාසයක් මහජනයා තුළ තහවුරු වීම යි. සමාජයේ සියලු කණ්ඩායම් තුළ එම විශ්වාසය තහවුරු වීම අව්ශ්‍ය ය. එසේ නැති වුවහොත් වන්නේ අවිස්වාසය හා එහි ප්‍රතිඵලයක් විය හැකි සමාජ කැරලි මතුවීම යි.යුධ සමයේ සහ පශ්චාත් යුධ සමයේ වූ සිදුවීම් සම්බන්ධයෙන් මෙරට අධිකරණය ක්‍රියාත්මක වු ආකාරය පිලිබද ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් බරපතල විවේචනයට ලක්ව තිබෙන සමයක

නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කරන සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කුළුණක් වන අධිකරණය තම ස්වාධීනත්වය සහ විශ්වාසය තහවුරු කරගැනීම සමාජ සාමයට සහ සන්හිදියාව්ට ලැදි ජනතාවට වැදගත් වන්නේ ඒ නිසා ය.

වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත පිලිබඳ තීන්දුවෙන් අධිකරණය එම තත්ත්වය තහවුරු කර ගැනීම  ඉතා වැදගත් කරුණක් වන්නේ ඒ නිසා ය. මෙම තීන්දුවේ බලපෑම මතුපිටින් පෙනෙනවාට ගැඹුරට දිවෙන්නකි. ප්‍රජාතන්ත්‍රවාදය සහ සහජීවනය තහවුරු කරන්නකි.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් කතුවරුන්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts