සාමය

වද පෙති සහ ධම්මික පැණිය

සම්පත් දේශප්‍රිය

ධම්මික බණ්ඩාර හෙවත් ධනපාල කපු මහතා විසින් කොවිඩ් 19 ආසාදිතයින්ට ලබා දීම සඳහා නිෂ්පාදනය කරන ලද පැණි ය අද දවසේ ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ අතිශය පරබල මාතෘකාවක් බවට පත්ව  ඇත.ධම්මික මහතා කාලි මෑණියන් ගෙන් අසා දැන ගත් වට්ටෝරුවේ තිබෙන ද්‍රව්‍යයන්ට අමතරව මෙම පැණියේ අන්තවාදී දේශපාලන ක්‍රමය විසින් දශක ගණනාවක් තිස්සේ පෝෂණය කරමින් නඩත්තු කළ බොහෝ දෑ අඩංගු බැවින් මෙය හුදු තවත් එක් පැණියක් ම නොවේ. මෙය කොවිඩ් වසංගතයටත් වඩා ප්‍රබල වෛරසයක් බවට පත්ව ජාතිකවාදී මිත්‍යාදෘෂ්ටික දේශපාලන ක්‍රමයෙ නිෂ්පාදනයක් බැවින් ඒ සම්බන්ධයෙන් විකල් වූ මනසින් නොව සිහි බුද්ධියෙන් විචාරා බැලීම ප්‍රගතශීී ජන ස්ථරයන්ග වගකීමකි.

කොවිඩ් යනු හුදු වසංගතයක් පමණක් නොවන අතර එය ගෝලීය වශයෙන් සමාජ දේශපාලන ආර්ථික ප්‍රශ්න රැසකට හේතුවක් වී තිබේ.නූතන ලාංකීය සමාජය තුල ද මේ හේතුවෙන් බරපතළ සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න රාශියක් නිර්මාණය වී තිබේ.වත්මන් ආණ්ඩුවද විවිධ උපාය මාර්ග අනුගමනය කරමින් මේ අභියෝගය ජය ගැනීමට උත්සාහ දරමින් සිටී. විද්‍යත්මක ක්‍රමවේද ඔස්සේ වෛරසය ජයගැනීම සඳහා සමස්ත ලෝකය ම උත්සාහ ගනිමින් සිටියදී අපේ රටේ ධම්මික පැණිය පහළ වන්නේ ඕපපාතික සංසිද්ධියක් ලෙස නොවන බව තහවුරු කිරීමට හොඳ ම උදාහරණය ධම්මික ධනපාල මහතා අටමස්ථානාධිපති හිමියන් බැහැදැකීමට ගිය අවස්ථාවේ වූ සිද්ධිය සමාජය තුල නිර්මාණය කළ කතිකාවයි.

බෞද්ධ භික්ෂුවක් ලෙස නායක ස්වාමීන් වහන්සේ තමන්ගේ වගකීම නිසි ලෙස ඉටු කරද්දී ජාතිකවාදී දේශපාලන ධාරාවේ නිර්මාතෘවරයෙක් වූ මහාචාර්ය නලින් ද සිල්වා මහතා එම සිද්ධියට ප්‍රතිචාර දක්වමින් ලබාදී තිබූ අර්ථකථනය මදක් විමසා බැලීම වටී.”මට දැන ගන්නට ලැබී ඇති තොරතුරු අනුව දැනට දශක දෙකක පමණ කාලයක් තිස්සේ ධම්මික මහතා අටමස්ථානාධිපති හාමුදුරුවන්ට වෙදකම් කරනවා.උන්වහන්සේ දන්නවා වෙද මහතා දැනුම ලබා ගන්නේ  භද්‍ර කාලී මෑණියන්ගෙන් (කාලි අම්මාගෙන්) බව.ඒ නිසා නායක හාමුදුරුවන් වෙද මහතා අමතන්නේ මෑණියන් කියා.වෙද මහතා නායක හාමුදුරුවන් සමඟ සාකච්ඡාවේදී මා ඔබ වහන්සේගේ මෑණියන් කියන්නේ ඒ අරුතින්.” යනුවෙන් පවසන මහාචාර්ය නලින් ද සිල්වා මහතා විවිධ බලවේග හෙළ වෙදකමට විරුද්ධව ක්‍රියා කරමින් සිටින බව ද පවසයි. එමෙන්ම  අපේ ජනබල පක්ෂය නියෝජනය කරන පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසන්නේ ද බෙහෙත හදන කෙනා කවුද යන්න ප්‍රශ්නයක් නොවන බවත් ලෙඩේ සුව වේ නම් එය ලබාදිය යුතු බවත්ය.මෙම පැණිය ආයුර්වේද සභාව විසින් අනුමත කර නැත.බටහිර වෛද්‍ය විද්‍යාත්මක ව කෙරෙන සායනික පරීක්ෂණවලින් ද මෙය රෝගීන්ට ලබා දීමට සුදුසු බව  මෙතෙක් තහවුරු වී නැත.නමුත් රටේ දේශපාලනඥයන් කීප දෙනෙක් සහ මෙරට සෞඛ්‍ය ඇමතිණිය ට එය පෙවීමට ධම්මික වෙද මහතා සමත් විය.ගරිල්ලා ක්‍රමයට ඔහු තමන්ව මාකට් කර ගෙන ඇත.එමෙන්ම රටේ මිත්‍යා දෘෂ්ටික මතවාද ව්‍යාප්ත කිරීම හරහා මේ රටේ අධිපති ජාතිකවාදී දේශපාලන ධාරාව ට රැකවරණය ලබා දෙන ප්‍රධාන පෙළේ නාලිකා ධම්මික පැණිය මාකට් කිරීමේ වගකීම භාරගෙන ඇත.ගැටළු සහ අර්බුද කළමනාකරණය කර ගැනීමට පවතින දේශපාලන ක්‍රමය අසාර්ථක වන සෑම විට ම සමාජයේ මිත්‍යාව දෙසට තල්ලු කිරීම හරහා තමන්ගේ දේශපාලන සුජාතභාවය රැකගැනීමට දේශපාලන අධිකාරිය කටයුතු කරනුයේ අද ඊයේ සිට නොවේ.

අතීතය දෙසට මඳක් හැරෙමු.ගංගා වැව් පවා පිරිත් පැන් බවට පරිවර්තනය කළ දොළුකන්දේ හිමි නම අවසානයේ ඒ රෝගී වූ පසු ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ රජයේ රෝහලකට ය.මාධ්‍ය සහ මිත්‍යාව එකට අත්වැල් බැඳගත් තවත් මෑතක උදාහරණයක් වන්නේ වඳ පෙති සිද්ධියයි.එසේම මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙක් සිංහල ස්ත්‍රීන් වද භාවයට පත් කළ බවට ද චෝදනා එල්ල කෙරිණ. එම අවස්ථාවේ අදාළ චෝදනා ඔප්පු කිරීමට නාරි රෝග පිළිබඳ මහාචාර්යවරයෙක් විසින් කළ යුතු යැයි නිර්දේශ කළ  පරීක්ෂණය වෙනුවට දේශපාලන අධිකාරිය විසින් දන්ත වෛද්‍ය වරයකුගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ  කටයුතු කරනු ලැබී ය. වඳ පෙත්ත  අවසානයේ වඳ කොත්තු වඳ යට ඇඳුම් දක්වා පැතිර ගියේ ය.ඒ මුස්ලිම් ව්‍යාපාර බිඳ දැමීම සඳහා ගෙනගිය  සංවිධානාත්මක ව්‍යාපාරයකි.ඔවුන් කවුරුන් ද යන්න රටට රහසක් නොවේ.ඊට එරෙහිව විශේෂඥ වෛද්‍යවරු සහ ඇතැම් මාධ්‍ය කටයුතු කරනු ලැබී ය.ඒ හේතුවෙන් සමස්ත මුස්ලිම් ප්‍රජාවට එරෙහිව වැපිරීමට ගිය වෛරසය  පාලනය විය.

මෙ ම ලිපියේ මුලින් සඳහන් කළ ආකාරයට මෙවැනි මිත්‍යාවන් සමාජගත වන්නේ ඕපපාතිකව නොවේ.  එය රටේ ජාතිකවාදී දේශපාලනය විසින් ඉල්ලා සිටින තත්වයකි.එම ක්‍රමයට නිරන්තර වාර්ගික  සතුරෙක් අවශ්‍ය වේ.ඉතිහාසය පටන් අපට දෙමළ සතුරෙක් සිටියේ ය.2009එ ල්ටී ටී පරාජයෙන් පසු දෙමළ  සතුරා යන දේශපාලන ප්‍රපංචය අහෝසි විය.ඉන් අනතුරුව විවිධ නම්වලින් පෙනීසිටී සිංහල ජාතිකවාදී සංවිධාන මුස්ලිම් සතුරෙක් නිර්මාණය කිරීම ආරම්භ කළහ.වඳ පෙති වඳ  සැත්කම් මෙ හි  අතුරු නිෂ්පාදන විය.දෙමළ සහ මුස්ලිම් සමාජයන්  තුළ ද සිටින අන්තවාදී කොටස් මෙවැනි සතුරන් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම ට නොමසුරු ව අනුබල දෙමින් සිටිති.ඊට හේතුව සියලු ප්‍රජාවන් තුළ සිටින ජාතිවාදීන් පෝෂණය වන්නේ ඔවුන් එකිනෙකා මත වීමෙනි.ජාත්‍යන්තර මට්ටමින් සිටින මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් මුස්ලිම් සතුරන් නිර්මාණය කිරීමට සහ එය ජාත්‍යන්තරී කරණය කිරීමට පසුබිම සකසා ඇත.covid 19 වෛරස ය පැතිරීමේ වාහකයෙක් ලෙස මුස්ලිම් ප්‍රජාව කටයුතු කරමින් සිටින බව ට අද දවසේ ඔවුන්ට එරෙහිව එල්ල  කරන තවත් චෝදනාවකි.

කොළඹ නාගරික ප්‍රදේශ වල සහ රටේ වෙනත් ප්‍රදේශවල මුස්ලිම් ප්‍රජාව වෙනම පිරිසක් ලෙස ජීවත් වීමට ප්‍රයත්න දරන අයුරු දැකගත හැකිය. එකිනෙකා සමීපයේ සුළු ඉඩකඩක ඒ වැඩි පිරිසක් සිටීම හේතුවෙන් මෙවැනි වෛරසයක් පැතිර යාම  සිදුවිය හැකි සාමාන්‍ය තත්ත්වයකි. කොළඹ නාගරික ප්‍රදේශවල සිටින අඩු ආදායම්ලාභී සිංහල දෙමළ මුස්ලිම් සියලු ප්‍රජාවන් කොවිඩ්  වසංගත  තත්වය හමුවේ මුහුණ දී සිටින්නේ එකම අර්බුදයකට ය.එසේ වුවත් සිංහල ජාතිය වඳ කිරීමේ කාර්ය භාරයට මුස්ලිම් ප්‍රජාව කටයුතු කරනවා යන මතවාදය සිංහල සමාජයේ හිස් මොළ වලට ඔබ්බවා ඇති බැවින් කෝවිඩ්  වසංගතය අස්සෙ ද එය විය හැකි බව ට ඔවුන් උපකල්පනය කරති.අන්තවාදී දෘෂ්ටිවාදයන් ගෙන් වියුක්තව  පොදු සමාජය සමඟ බද්ධ වී කටයුතු කිරීම සඳහා ප්‍රගතිශීලී මුස්ලිම් ප්‍රජාව මේ මොහොතේ පෙරමුණ ගත යුතු ය.

සිංහල ජාතිකවාදී මතවාදය ට කොවිඩ් වසංගත අභියෝගය ජයග්‍රරහණය කර ගැනීමට නොහැකි නමුත් සිංහල ජන මනසට ඒ ගැන නොසිතා සිතන්නට බොහෝ දේ තිබේ.රෝග වාහකයෙක් ලෙස කටයුතු කරන වාර්ගික  සතුරෙක් එක් පසෙකින් සිටී.අනෙක් පසින් රෝගීන්ට බෙහෙත් කරන්න ට කුමන වෛද්‍ය විද්‍යාවට වත් අදාල නැති හාස්කමින් රෝග සුව කරන එලියන්ත වයිට් වැනි වෛද්‍යවරු සිටි.එසේ ම මේසන් වැඩ වලට අමතර ව කාලි අම්මා ගේ උපදෙස් අනුව පිහිට වෙන්න ට පැණියක් හැදූ ධම්මික ධනපාල කපු මහතා ද කෝවිඩ්  නසන්නට උපේක්ෂාවෙන් බලා සිටී.මේ අතර කොවිඩ් වලින් මිය යන මුස්ලිම් ජාතිකයන්  වළලන්නේ මේ රටේ ද මාල දිවයිනේ ද යන ප්‍රශ්නය මේ මොහොතේ සමස්ත ලාංකීය ජාතියම මුහුණ දී සිටින බරපතළ ප්‍රශ්නයකි.ඒ සිංහල සමාජය නිර්වින්දනය කිරීමට ලබා දුන් නවතම එන්නත ය.

සිංහල හෝ බටහිර වෛද්‍ය විද්‍යාත්මක ව covid වසංගත අභියෝගය ජය ගැනීම සඳහා දියුණු ප්‍රජාවක් ලෙස විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ ප්‍රවේශයක් ලබා ගැනීම වෙනුවට ඉබාගාතේ යන ජාතියක් ලෙස කටයුතු කළ හොත් කවුරුන් හෝ අමුතුවෙන් වඳ පෙති දිය යුතු වන්නේ නැත.කොවිඩ් වසංගතය විසින් නිර්මාණය කර ඇති සමාජ දේශපාලන ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා අවශ්‍ය කරන ක්‍රමවේද සකස් කරන ලෙස ට මේ රටේ ප්‍රජාතන්ත්‍රීය ආයතන ව්‍යුහයන්ට බලපෑම  කිරීම ශිෂ්ට සම්පන්න එසේ ම මානව ශිෂ්ටාචාරයේ යහ පැවැත්ම අපේක්ෂිත සියලු ප්‍රජාව ගේ වගකීමකි.

 

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts