සාමය

ලංකාවේ සාම ක්‍රියාවලියේ නැගෙනහිර භුමිකාව

නෙවිල් උදිත වීරසිංහ

2019 ජූනි 04 දින දලදා මාලිගය ඉදිරිපිට සිදුකල රතන හිමියන් ගේ උපවාසය නිමාවූයේ  මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පත්කරන ලද හිස්බුල්ලා නැගෙනහිර ආණ්ඩුකාරවරයාව ජනාධිපතිවරයා විසින්ම ඉවත් කර නැගෙනහිර පලාත සදහා නව ආන්ඩුකාරවරයෙකු ජනාධිපතිවරයා විසින් නැවත පත්කිරීමෙන් පසුවය . ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ හිස්බුල්ලා සම්බන්ධයෙන් වූ ප්‍රවෘත්ති වටිනාකම කල් ඉකුත්වෙමින් දින කිහිපයක් ගතව යද්දී  ත්‍රිකුණාමලය නගරය පුරා රතන හිමිගේ ජායාරූපයක් සහිතව පෝස්ටරයක් අලවා තිබිනි’ එහි සදහන් වූයේ මුස්ලිම් අන්තවාදයෙන් සහ දූෂිත දේශපාලනයෙන් රට බේරාගත් රතන හිමිට දැයේ ප්‍රණාමය වශයෙනි’

මෙම ලිපිය හරහා උත්සහ කරන්නේ මේ වන විට ඉතිහාසයට එක්වී ඇති හිස්බුල්ලා හිටපු නැගෙනහිර ආන්ඩුකාරවරයාගේ සිදුවීම හරහා නැගෙනහිර ප්‍රදේශයට සුවිශේෂ වූ ජනවාර්ගික දේශපාලනයක් ප්‍රකාශයට පත්වූ ආකාරය විමසා බැලීමටයි. 

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී සති දෙකක් පමණ ඉක්ම වී ගිය තැන ත්‍රිකුණාමලය නගරයේ සියලුම කඩ සාප්පු වෙත පිරිසක් විසින් කුඩා පත්‍රිකාවක් බෙදා හැර තිබිණ. එම පත්‍රිකාවේ සදහන්ව තිබූ නැගෙනහිර සුරැකීමේ සංවිධානය නැමති සංවිධානයක් විසින් සදහන් කර තිබුණේ

 “දෙමළ, මුස්ලිම් සිංහල බර්ගර් වරුන් වන ශ්‍රී ලාංකික අපගේ දේශයේ අද මළ මිනී ගොඩ ගැසෙයි. ත්‍රස්තවාදයෙන් මිරිකෙයි බදු බරෙන් පීඩිත වෙයි සංචාරක ව්‍යාපාරය ඇතුථ සියලුම ව්‍යාපාර බිද වැටෙයි. ජාතිවාදයත් ත්‍රස්තවාදයත් වපුරණ නැගෙනහිර ආණ්ඩුකාරවරයා ත්‍රිකුණාමලය මඩකලපුව අම්පාර දිස්ත්‍රික්ක වල සියලුම ජනතාවෝ අතිශය දුකට පීඩාවන්ට හා අසාධාරණයට ලක් කරයි. මොහු ඉවත්කර ජනහිතකාමී සාධාරණ ආණ්ඩුකාරවරයෙකු ඉල්ලා පෙල ගැසෙමු. 2019 මැයි 10 වන සිකුරාදා සියලු රාජකාරී ව්‍යාපාර රැකියා කටයුතු වලින් බැහැරවී අප විරෝධතාවය දක්වමු. සාමකාමී ඉසුරුමත් දේශයක් ගොඩනගමු” වශයෙනි. 

2019 මැයි 10 දින කොළඹ පාරේ හතරේ කනුව මංසන්දියේ සිට ත්‍රිකුණාමලය නගරය දක්වා සිංහල දෙමළ සහ මුස්ලිම් සියලුම කඩ සාප්පු සහ ව්‍යාපාරික ස්ථාන වසා දමා හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා ඉවත්කිරීම සදහා වූ සාමකාමී හර්තාල් ව්‍යාපාරය සදහා සහයෝගය දක්වන අයුරු අපට දැකගතහැකි විය. මෙම හර්තාල් ව්‍යාපාරය පිළිබඳව මාධ්‍ය විසින්ද වාර්ථාකෙරිනි  හර්තාල් දිනයේදී ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ගමන්කරමින් සිටි ලංකා ගමනා ගමන මන්ඩලයට අයත් බස්රථයකට ත්‍රිකුණාමලය නුවර පාරේ දී විරෝධතා කරුවන් විසින් ගල්ගසා අලාභ හානි සිදුකොට තිබුනි. එමෙන්ම විරෝධතා කරුවන් විසින් චීන වරාය  මන්සන්දිය හා සංගමම් මන්සන්දිය අසල ටයර් පුලුස්සා දැමිනි.  මෙම හර්තාල් ව්‍යාපාරය සදහා මූලිකත්වය ගෙන තිබුනේ ත්‍රිකුණාමලය නගරයේ මාලු වෙළදසැලේ  සහ එලවළු වෙළදසැලේ සේවය කරන  සිංහල ව්‍යාපාරිකයින් විසින් බව ලේඛකයාට තහවුරු කරගතහැකි විය. 

ත්‍රිකුණාමලය නගරයේ සිංහල වෙළද ප්‍රජාවේ මූලිකත්වයෙන් බෙදා හැරුනු ඉහත සදහන් පත්‍රිකාවේ  “දෙමළ, මුස්ලිම් සිංහල බර්ගර් වරුන් වන ශ්‍රී ලාංකික අපගේ දේශයේ” යනුවෙන් වන පුළුල් ආමන්ත්‍රණය හරහා නැගෙනහිර ප්‍රදේශයට අදාල වැදගත් යථාර්තයක් ප්‍රකාශ කරයි. මාගේ අත්දැකීමට අනූව ත්‍රිකුණාමල නගරයේ සිංහල ව්‍යාපාරික ප්‍රජාවේ බහුතරය සිංහල ජාතිකවාදී මතවාදය නියෝජනය කරයි. 2012  ජනගහන සංගනණයට අනූව නැගෙනහිර ජනගහනය ආසන්න වශයෙන් දෙමළ ජනයා 40%, මුස්ලිම් ජනයා 37% සහ සිංහල ජනයා 23% වේ. දිස්ත්‍රික් පදනම මත, අනුරූප අනුපාතය වූයේ අම්පාර දිස්ත්‍රික්කය තුළ දළ වශයෙන් දෙමළ ජනයා සදහා 17% ක්, මුස්ලිම් ජනයා සදහා 44% ක්, සිංහල ජනයා සදහා 39%ක් ය.  මඩකලපුව දිස්ත්‍රික්කය තුළ ‍දෙමළ ජනයා 72%,  මුස්ලිම් ජනයා 25% සහ සිංහල ජනයා 1% සහ ත්‍රිකුණාමලය තුළ දෙමළ ජනයා 31%,  මුස්ලිම් ජනයා 40% සහ සිංහල ජනයා 27% වශයෙනි. 

ඉහත දත්තයන්ට අනූව පැහැදිලිවන කරුනක් වන්නේ නැගෙනහිර ජන සංයුතියට සාපේක්ෂව සිංහල ප්‍රජාව නැගෙනහිර ප්‍රදේශය තුළ සුලුතර ප්‍රජාවක් වන බවයි.   සිංහල ප්‍රජාව තුළ වන සිංහල ජාතිකවාදය මුල්කරගත් ප්‍රවේශයකින් නැගෙනහිර හිටපු ආණ්ඩුකාරවරයාට එරෙහිව හර්තාල් ව්‍යාපාරයක් සාර්ථක කරගත නොහැකිය. ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් යටතේ හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයාට එරෙහිව විරෝධතාවයක් ප්‍රකාශයට පත්වන්නේ මෙවැනි යථාර්ථයක් තුළය. මෙම හර්තාල් ව්‍යාපාරය සදහා සංඛේතීයව නැගෙනහිර පලාතේ ජනයාට ආරාධනය කර තිබුනත්, මේ සදහා සක්‍රීයව දායකවූයේ ත්‍රිකුණාමලය නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල සිංහල, මුස්ලිම් සහ දෙමළ කඩසාප්පු හිමියන් සහ ව්‍යාපාරිකයන් පමණය.

මෙම හර්තාලය හරහා නැගෙනහිර පලාතේ ජනවර්ග අතර පැවති ආතතීන්ගේ ස්වරූපයන්හි පැහැදිලි වෙනස්වීමක් පරාවර්ථනය කෙරිනි. නැගෙනහිර ප්‍රදේශයේ වෙසෙන දෙමළ ජනයා තුළ පවතින මුස්ලිම් විරෝධී පොදු මානසිකත්වයේ ඓතිහාසික පසුබිම විවිධ විද්වතුන් විසින් සාකජ්චා කරඇත.,  අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් පසු නැගෙනහිර පලාතේ දෙමළ ජනයා තුළ පැවතින මෙම පොදු මුස්ලිම් විරෝධී මානසිකත්වය  නැගෙනහිර වෙසෙන සිංහල ජනයාගේ මුස්ලිම් විරෝධී මානසිකත්වය හා සමපාත වෙමින් හිටපු හිස්බුල්ලා ආන්ඩුකාරවරයාට එරෙහි විරෝධයක් වශයෙන් ප්‍රකාශයට පත්වූ අයුරු අපට නිරීක්ෂනය කල හැකිය’ ත්‍රිකුණාමලය නගරයේ විසූ මුස්ලිම් ව්‍යාපාරිකයන් විසින් හිස්බුල්ලා හිටපු ආන්ඩුකාරවරයාට එරෙහි හර්තාලයට සහයෝගය දැක්වූයේ ඔවුන් තුළ වූ සැබෑම විරෝධයකට වඩා අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු සමාජය තුළ ගොඩනැගෙමින් පැවති මුස්ලිම් විරෝධී මානසිකත්වය තුළ බියට හා අසරණභාවයට පත්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් බව පැහැදිලිය. 

“සහරාන්ලගෙ අනපේක්ෂිත ප්‍රහාරයත් එක්ක ත්‍රිකුණාමලයේ කුඩා මුස්ලිම් ව්‍යාපාරිකයන් විදියට අපි බය වෙලා හිටියෙ. එවැනි පසුබිමක තමයි අපිත්  කලු කොඩි දාලා හර්තාලෙට සහයෝගය දැක්වුවෙ”

මොහොමඩ් ඉෂාඩ් 

“ත්‍රිකුණාමලයේ ඉන්න බහුතරයක් දෙමළ ජනතාවට පාස්කු ප්‍රහාරයට කලින් ඉදන්ම හිස්බුල්ලාව නැගෙනහිර ආන්ඩුකාරවරයා වශයෙන් පත්කිරීම සම්බන්දයෙන් විශාල විරෝධයක් තිබුන” 

මොහොමඩ් නස්රීන්  

හිස්බුල්ලා යනු අනෙක් බොහෝමයක් සිංහල දේශපාළඥයින් වාගේම මුදල් අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති මුස්ලිම් දේශපාලඥයෙකි. එවකට පැවති අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුව සහ කෝප් කමිටුව මගින් හිටපු නැගෙනහිර ආන්ඩුකාර හිස්බුල්ලා මහතාගේ මූලිකත්වයෙන් මඩකලපුවේ ඉදිවෙමින් පැවති විශ්වවිද්‍යාලයට අදාලව සිදුවී ඇති මුදල් ගනුදෙනු සම්බන්දයෙන් ගැටලු මතුකෙරිනු අතර විශ්ව විද්‍යාලය ගොඩනැගීමේ කටයුතු රජයේ භාරයට ගැනීමට නිර්දේශ කෙරිනි’ නමුත් හිටපු හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා සම්බන්දයෙන් නැගෙනහිර දෙමළ ජනයා තුළ වූ විරෝධය ඔහුගේ දූශිත දේශපාලනයට එරෙහිව නැගුනු විරෝධයකට එහා ගිය විරෝධයකි. මෙම විරෝධයට පසුබිම්වන්නේ නැගෙනහිර පවතින වාර්ගික ධ්‍රැවීකරනයන් අතර පවතින ආතතියයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දෙමළ ක්‍රිස්තියානි භක්තිකයන් විශාල ප්‍රමානයකටද ඔවුන්ගේ ජීවිත අහිමි විය. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ජීවත්වන දෙමළ ක්‍රිස්තියානි බැතිමතුන් හට මෙම සිදුවීම සුවිශේෂී කම්පනයක් ගෙන දුනි. ත්‍රිකුණාමලය නගරයේ සිංහල ව්‍යාපාරිකයන් මුල්වී හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයා ඉවත්කරන ලෙස බලකරමින් පැවැත්වූ හර්තාල් ව්‍යාපාරය සදහා නැගෙනහිර ප්‍රදේශය තුළ පවතින දෙමළ මුස්ලිම් වාර්ගික ආතතියත්, පාස්කු ඉරිදා සිදුවීමේ කම්පනයත් කැටිවූ ත්‍රිකුණාමලයේ දෙමළ ජනයා තුළ වූ මුස්ලිමි විරෝධී මානසිකත්වය හිස්බුල්ලා ආණ්ඩුකාරධූරයෙන් ඉවත් කරන ලෙසට බලකෙරෙමින් පැවති හර්තාල් ව්‍යාපාරය සදහා සහයෝගය දැක්වීමෙන් ප්‍රකාශයට පත්විය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ත්‍රිකුණාමලයේ වෙසෙන සිංහල ජනයා හා දෙමළ ජනයා අතර වෙනස් සන්ධර්භයන් යටතේ වර්ධනයවී පවතින මුස්ලිම් විරෝධී මානසිකත්වය එකිනෙකට සමපාතවෙමින් හිස්බුල්ලා හිටපු ආන්ඩුකාරවරයාට එරෙහිව සංඛේතාත්මකව ප්‍රකාශයට පත්වීමක් වශයෙන් හදුනාගත හැකිය. 

 වසර දෙකකට පෙර ත්‍රිකුණාමලය ප්‍රදේශය පදනම් කරගනිමින් සිදුවු හිටපු නැගෙනහිර ආන්ඩුකාරවරයා වූ ඒ. එල්. එම්. හිස්බුල්ලා මහතාට  එරෙහිව පැවති මෙම හර්තාල් ව්‍යාපාරය ඉතිහාසයට එක්වූ එක් හුදු හුදකලා සිදුවීමකට එහා ගියසිදුවිමක් වන්නේ ඒ හරහා නැගෙනහිර ප්‍රදේශයට සුවිශේෂ වූ ජනවාර්ගික ආතතීන් හා ද්‍රැවීකරණයන් ප්‍රකාශයට පත්වූ බැවිනි. ලංකාවේ සාමය හා සහජීවනය පිළිබඳව සැලකිලිමත්වීමේදී නැගෙනහිර ප්‍රදේශයට සුවිශේෂ වූ මෙම ජනවාර්ගික ධ්‍රැවීකරණයන් පිළිබඳව ගැඹුරින් විමසා බැලීම වැදගත්වන්නේ මේනිසාය. 

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් කතුවරුන්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts