අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් දේශපාලන

රෝහිණි කවිරත්න,පාර්ලිමේන්තුව, සහ ව්‍යවස්ථා සංශෝධනය

කමණී හෙට්ටිආරච්චි

විසිඑක්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත. රටේ ජනතාව මුහුණ දෙන අනේක විධ ගැටළු සඳහා ඉන් සෙතක් සැලසේ ද යන කාරණය ඇතැමුන් මතු කරන ප්‍රශ්නයකි.මතුපිටින් යමෙකුට පැහැදිලි නොවන නමුදු බලය අනිසි ලෙස කේන්ද්‍රගතවිම රට මේ මොහොතේ මුහුණ දි සිටින ගැටළු රැසක මූලාරම්භය බව පැහදිලිය.  කෙසේ නමුත් රටේ ව්‍යවස්ථා වෙනස් කිරීමේ ක්‍රියාමාර්ගය ඉතා සංකීර්ණ ක්‍රියාදාමයකි. මෙම ලිපියේ අරමුණ රටේ ව්‍යවස්ථාදායකය වෙනස් කිරීමේදී අවධානය යොමු විය යුතු නමුත් බහුතරයක් අමතක කර ඇති කාරණයක් සිහිපත් කිරීමට ය. 

රටේ ජනතාව බරපතල ගැටළු රාශියකට මුහුණ පා සිටින මෙවන් අවස්ථාවක වුව එම රටේ ව්‍යවස්ථාදායකයේ ප්‍රජාතන්ත්‍රීය වෙනසක් සිදු කොට එය ශක්තිමත් කිරීමට ක්‍රියාමාර්ගයක් ගන්නේ නම්, එය යහපත්ය. 

අපේ රටේ පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රී සංයුතිය ඉතා පවතින්නේ අවම මට්ටමක ය. එමෙන්ම එය නියෝජනය කරන කාන්තා මන්ත්‍රීවරියන් කිහිප දෙනාට ද එහි ඇත්තේ ඉතා අඩු සැලකිල්ලකි. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරය  සඳහා සභිකයෙක් තෝරා ගැනීම සඳහා 2022. 05. 17 දින පැවැති ඡන්ද විමසීමේදී ඒ සඳහා ඉදිරිපත් වූ රෝහිණී කවිරත්නට මන්ත්‍රිවරිය ඉදිරිපත්විම  සහ ඇය පරාජයට පත් කිරීමට බහුතර මන්ත්‍රීවරු ක්‍රියා කිරීම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ට දක්වන ගරුත්වයේ හැඩරුව මැනවින් ප්‍රදර්ශනය කරයි.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරයේ කටයුතු කළ රංජිත් සියඹලාපිටිය මහතා දෙවැනි වරටත් එම ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුකොට ගෙන එහි පුරප්පාඩුවක් ඇති විය. රටේ මහජනතාව මෙතරම් ආර්ථික දුෂ්කරතාවකින් පෙළෙන මොහොතක දිනකට රුපියල් කෝටියකට වැඩි මුදලක් වියදම් කරමින් නියෝජ්‍ය කතානායක තේරීමට කාලය වැය කිරීම මහජනතාවගේ දැඩි දෝෂ දර්ශනයට පවා  ලක් විය. මෙම දේශපාලන නාටකය සම්බන්ධයෙන් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය අප්‍රසාදය ප්‍රසිද්ධියේ පළ කර තිබිණ. කෙසේ නමුත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරය සඳහා කාන්තාවක් පත් වන්නේ නම්, එය වඩාත් හොඳ බවට යෝජනා කර තිබුණේ නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය. ඔහු මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරු සමගත් විරුද්ධ පක්ෂයේ නායකයින් සමගත් සාකච්ඡා කර තිබිණ. ඒ අනුව පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන ජාතික සමගි ජනබලවේගය විසින් පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරී මන්ත්‍රීවරියක් වන රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියගේ නම යෝජනා කර ඇය නිතරඟයෙන් පත් කිරීමට සෙසු පක්ෂ නායකයින් සමගද එකඟතාවකට පැමිණියේ ය.

මෙම එකඟතාවට පිටින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන බලවතුන් විසින් දේශපාලන කුමන්ත්‍රණයක් දියත් කර තිබූ අතර එම පෙරමුණේ සිට ස්වාධීන වූ සෙසු මන්ත්‍රීවරු පවා ඒ පිළිබඳ දැන සිටියේ නැත. අවසානයේ නියෝජ්‍ය කතානායක ධූරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් ජාතික සමගි ජන බලවේගයෙන් කවිරත්න මන්ත්‍රීවරියගේත් නම යෝජනා කෙරිණ.

මෙහිදී කතානායකවරයාට ඡන්ද විමසීමකට යාමට සිදු විය. පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ 10 ක ජනතා නියෝජිතයින් රෝහිණී කවිරත්නගේ නම යෝජනා වී තිබියදී තවත් අයෙකු යෝජනා කිරීමේ දේශපාලන කුමන්ත්‍රණයට එරෙහිව  විරෝධය පළ කරමින් සිය ඡන්දය කටු ගා දමන බවට පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ය. ඔවුන් සියළු දෙනා කතානායකවරයාට කරුණු දක්වමින් කියා සිටියේ, පාර්ලිමේන්තුවේ 225 ම ප්‍රතික්ෂේප කරමින් ජනතාව උද්ඝෝෂණය කරන මෙවැනි මොහොතක මුළු පාර්ලිමේන්තුවම විහිළුවක් බවට පත් නොකොට නියෝජ්‍ය කතානායක ධූරය සඳහා එක් අයෙකු නිතරඟයෙන් පත් කර ගැනීමට පියවර ගන්නා ලෙස ය. ඒ සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙස ද ඔවුන් ඉල්ලා සිටි නමුත් එය සිදු වූයේ නැත. පසුව නියෝජ්‍ය කතානායක තේරීම සඳහා ඡන්ද විමසීමක් සිදු විණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නම යෝජනා කළ අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයා එහිදී ඡන්ද 109 ක් ලබා ගත් අතර විරුද්ධ පක්ෂය නියෝජනය කළ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියට හිමි වූයේ, ඡන්ද 78 කි. ඒ අනුව නියෝජ්‍ය කතානායක ධූරය සඳහා පාර්ලිමේන්තු ඉතිහාසයේ කාන්තාවක් පත් කර ගැනීමට තිබූ අනගි අවස්ථාව ඉන් වැළකී ගියේ ඉතා කණගාටුදායක ලෙස ය. 

රටේ මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයක් හමුවේ, රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියට නියෝජ්‍ය කතානායක ධූරය අහිමි වීම සැලකිය යුතු ප්‍රශනයක්දැයි කෙනෙකුට සිතිය හැකිය. නමුත් පරාජයෙන් පසු රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය කළ කතාවේ ඊට පිළිතුරු ඇතැයි සිතේ. ඇය මෙවැනි උපුටා දැක්වීමක් කළාය every little thing counts in a crisis. ’ (සෑම කුඩා දෙයක්ම අර්බුදයකදී ගණන් ගනී) එම කියමන මෙම සිද්ධිය අරබයා වූ වැදගත්කම අපට මෙනෙහි කරනු ලබයි. නියෝජ්‍ය කතානායක ධූරය සඳහා වූ ඡන්දය ලංකා පාර්ලිමේන්තු අර්බුදයේ දැවැන්තම බිඳ වැටීමක් ලෙස ඉතිහාසයට එක් වෙනවා යැයි ද ඇය  පාර්ලිමේන්තුව අමතමින් වැඩිදුරටත් සඳහන් කළා ය.

ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කතානායක, නියෝජ්‍ය කතානායක පමණක් නොව නියෝජ්‍ය කාරක සභා සභාපති තනතුරකට හෝ කාන්තාවක් පත් වී නොතිබීම සුළුවෙන් තක්සේරු කළ හැකි තත්ත්වයක් නොවේ. නව අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුව සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට අවංක වුවමනාවක් තිබේ නම්, රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියට අත් වූ ඉරණම යළි කිසිදු මන්ත්‍රීවරියකට වීමට ඉඩ නොතැබිය යුතු ය. 

දේශපාලන, සමාජ , ආර්ථික හා සංස්කෘතික යන සියළු ක්ෂේත්‍රවල කාන්තාවන්ට පුරුෂ පක්ෂය හා සමාන පදනමක් මත මානව අයිතිවාසිකම් හා මූලික නිදහස ක්‍රියාත්මක කිරීමට හා භුක්ති විඳිම සහතික කිරීම සඳහා සියළු පියවර ගත යුතු බවට සඳහන් 1993.03.03 දරණ කාන්තා ප්‍රඥප්තිය සම්මත කළ මෙම පාර්ලිමේන්තුවම මේ ආකාරයට හැසිරීම බරපතල ඛේදවාචකයකි.

 ඒ අයුරින්ම මෙම පාර්ලිමේන්තු සභා ගර්භයේදී හා ඉන් පිටතදී පිරිමි මන්ත්‍රීවරුන්ගේ නිරන්තර වාචික හිංසනයන්ට ලක්වීමට මන්ත්‍රීවරියන්ට සිදු වී තිබෙන බවට පසුගිය සමයේ ඔවුන් චෝදනා කරනු දක්නට ලැබිණි. රෝහිණි කවිරත්න මන්ත්‍රීවරියට පාර්ලිමේන්තු සභා ගර්භයේදීම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුගෙන් එවැනි හිංසනකාරී ප්‍රකාශයක් පිළිබඳව රටේම අවධානය යොමු වූයේ ඉතා මෑත කාලයේදී ය.

රටේ දේශපාලනය ක්ෂේත්‍රයට කාන්තා නියෝජනය ප්‍රමාණවත් නොවන බැවින් එම තත්ත්වය වෙනස් කිරීමට මැතිවරණ නීති රාමුව තුළ ද වෙනස්කම් තිබිය යුතු බව පැවති ස්වාධීන මැතිවරණ කොමිසම වැනි ආයතනවලින් ද ජාත්‍යන්තර ආයතනවලින් ද ලංකා ආණ්ඩුවට බලපෑම් කර බොහෝ කල් ය.  පසුගිය වකවානුවේ පළාත් පාලන මැතිවරණ ක්‍රමය සංශෝධනය කෙරිණි. ඒ අනුව මැතිවරණ අපේක්ෂක ලැයිස්තු සඳහා කාන්තා අපේක්ෂකයින්ට සියයට 25 ක කෝටාවක් ලබා දීම අනිවාර්ය විය.නමුත් ඉන් අපේක්ෂිත මුලික අරමුණ මෙතෙක් ඉටුවි නැත.    ව්‍යවස්ථා සංශෝධනයේදි මේ පිළිබද අවධනය යොමුකර මෙරට ව්‍යවස්ථාදායකයේ කාන්තා නියොජනය ඉහල දැමිම සදහා පියවර ගතයුතුව තිබේ.  ඉන් නොනැවති දේශපාලනයේ යෙදෙන කාන්තාවන් සවිබල ගැන්විම සදහා සියලු පක්ෂ එක්ව ප්‍රායෝගික වැඩටහන් ක්‍රියාත්මක කලයුතුව ඇත. 

කාන්තාවකට සලකන ආකාරයෙන් එම සමාජයේ  ශිෂ්ඨ සම්පන්නභාවය තීරණය වන්නා සේ ම මහජන නියෝජිතවරියන්ගේ ගෞරවය රකින පිරිසක් පාර්ලිමේන්තුවට යැවීම එහි ශිෂඨ සම්පන්නභාවය ද තීරණය වන බව දේශපාලන පක්ෂ මෙන්ම ඡන්ද දායකයින් ද අවබෝධ කර ගත යුතුය.  

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts