රඹුක්කන ලෙයින් තෙත් කළ අරගලයේ ප්‍රථම ඛේදවාචකය 
ජූඩ් මුතුකුඩ
පසුගිය 19 වෙනිදා මෙරට ඉතිහාසයට කළු පැල්ලමක් එකතු කරමින් ජීවන බර දරා ගත නොහැකිව සිදු කළ විරෝධතාවයකට පොලීසිය එල්ල කළ වෙඩි පහරින් රඹුක්කන ප්‍රදේශයේ තරුණයෙකුට දිවි අහිමි විය .මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති විරෝධතා දැක්වීමේ අයිතියට බලපෑම් කළ තවත් එක් අවස්ථාවක් වූවත් පොලීසිය සිය බලය අයුතු ලෙස පාවිච්චි කරමින් නීතියට පරිබාහිරව ක්‍රියා කිරීමක් සැටියට මෙරට සිවිල් ක්රියාකාන් දකිති . පසුගිය මස 19 වෙනිදා රඹුක්කන නගරයේ විරෝධතාවයක් හට ගත්තේ සමූපකාර ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කර ගනිමිනි . එහිදී විරෝධතාකරුවන් ඉල්ලා ඇත්තේ පරණ මිල ගණන්වලට ඉන්ධන ලබා දෙන ලෙස යි . මෙහිදී විරෝධතාකරුවන් උඩරට දුම්රිය මාර්ගයද අවහිර කරමින් අදාල ඉන්ධන පිරවුම්හලට පැමිණි ඉන්ධන බවුසරය ද පාර අවහිර වන සේ තබා විරෝධතාවයේ නියැලුන බව පැවසේ . එම විරෝධතාවය විසුරුවා හැරීමට පොලීසිය වෙත පොලීස් ආඥා පනතට අනුව පැවරුණු බලතල අව භාවිතා කරමින් අවම බලය වෙනුවට උපරිම බලය යොදා ජීවිතයක් අහිමි කිරීමට පොලීසිය ක්‍රියා කර ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත . පොලීසිය මෙම සිද්ධිය පිළිබඳ ව පවසා සිටියේ ඉන්ධන බවුසරයට ගිනි තැබීමට පැමිණි නිසා වෙඩි තැබූ බවයි . පසුව මේ පිළිබඳ ව පොලිස්පතිවරයා පවසා ඇත්තේ තමන් විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට අණ නොදුන් බවයි . එසේ නම් ඉන්ධන බවුසරයට මීටර 200 ක් දුරින් සිටි චමින්ද ලක්ෂාන් ට වෙඩි තැබුවේ ඇයිද යන්න සමාජයේ කාහටත් ගැටලුවකි . සැබවින්ම මිරිහාන ජනාධිපති නිල නිවස වැටලූ විටත් පත්තු නොවූ ගිනි අවි රඹුක්කන දී පුපුරා ගියේ කාගේ දේශපාලන වුවමනාවට ද ? මෙම සිද්ධියේ දී ගිනි අවි හතරකින් උණ්ඩ තිස්පහක් නිකුත් වී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය විය .
පොලීස් ආඥා පනතට අනුව විරෝධතාවයක් විසුරුවාහරිනු ලබන ක්‍රමවේදයක් පවති . මෙහිදී පළමුව විරෝධතාකරුවන් විසිරී යන ලෙස අවවාද කරයි . ඊට ද අවනත නොවන්නේ නම් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරනු ලබයි . එයින් ද විරෝධතාකරුවන් විසිිර නොයන්නේ නම් රබර් උණ්ඩ යොදා වෙඩි තැබීමට පොලීසිය ක්‍රියා කරයි . ඊට ද අවනත නොවන අවස්ථාවලදී විරෝධතාකරුවන් ට දණහිසෙන් පහළට වෙඩි තැබීමට හැකියාව ඇත . නමුත් රඹුක්කන විරෝධතාවයේ දී මියගිය තරුණයාගේ උදර ප්‍රදේශයට වෙඩි වැදී අධික රුධිර වහනය නිසා මිය ගොස් ඇති බව අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් ව ඇත . තතුදත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම ඛේදවාචකය වළක්වා ගැනීමට පොලීසිය කටයුතු නොකළ බව යි . පොලීසියට ඉන්ධන බවුසරය ආරක්ෂා කිරීමට අවශ්‍යතාවයක් තිබුණේ නම් ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා ගැනීමට අවස්ථාවක් තිබුණි . තවද සිද්ධිය සම්බන්ධව අදහස් දක්වන ගම්වාසීන් පවසන්නේ “අපි බ්ලේඩ් එකක්වත් අරන් ආවේ නැහැ . අපි පොලීසියට කන්න දුන්නා . එහෙම තියෙද්දී වෙඩි තැබුවා ” යනුවෙනි . මේ පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ජීවන බර දරා ගැනීමට නොහැකිව උද්ඝෝෂණයේ දී පොලිස් වෙඩි පහරින් තරුණයෙක් මියගිය බවයි . එලෙස බ්‍රිතාන්‍ය පුවත්පත් වාර්තා කරද්දී මෙරට ඇමෙරිකානු තානාපති මෙම සිද්ධිය ගැන සිය කනස්සල්ල පල කර ඇත . එසේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිතයා ද උද්ඝෝෂණවලට වෙඩි තැබීම හෙලා දැක ඇත . සාමකාමී උද්ඝෝෂණවලට ඇති අයිතිය තහවුරු කර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිට ඇත . මේ අතර මෙරට ජර්මානු තානාපතිවරයා පවසා ඇත්තේ මෙරට විරෝධතාකරුවන්ගේ ඉවසීම පිළිබඳව තමන් පුදුම වන බවයි .
රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වෙත දැඩි අප්‍රසාදයක් එල්ල වී ඇත . මෙම සිද්ධිය සම්බන්ධයෙන් B වාර්තාවක් මඟින් කෑගල්ල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ වාර්තාවේ ඇතැම් කොටස් ටිපෙක්ස් කොට ඇති බවත් නඩු භාණ්ඩයක් ව පැවතිය යුතු ඉන්ධන බවුසරය අධිකරණයේ අවසරයකින් තොරව බවුසර් කොටස මුදා හැර තිබීම පිළිබඳව අධිකරණයේ දී පොලීසිය දැඩි දෝෂ දර්ශනයකට ලක් විය . එසේම පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කිරීමේ අරමුණින් පෙනී සිටියත් ක්‍රියාත්මක වීමේ දී සාක්ෂිකරුවන්ට පොලීසිය මඟින් බලපෑම් එල්ල වී ඇති බව අගතියට පත් පාර්ශවයේ නීතිඥයින් තොරතුරු අධිකරණය ට අනාවරණය කර ඇත .
රඹුක්කන ඛේදවාචකය පිළිබඳ ව කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව විභාග වන අවස්ථාවේ දී එම සිද්ධිය සම්බන්ධයෙන් සියලු කරුණු සලකා බැලූ ගරු මහේස්ත්රාත්තුමිය මෙම වෙඩි තැබීම මිනී මැරුමක් බවත් , ඊට අණ දුන් හා වෙඩි තැබූ සියලු නිළධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කිරීම අගතියට පත් පාර්ශවය ලැබූ විශාල ජයග්‍රහණය කි . මෙම සිද්ධියෙන් මිය ගිය චමින්ද ලක්ෂාන් හෙවත් කිරි සුද්දා අපරාධකරුවෙකු වශයෙන් හංවඩු ගැසීමට පොලීසිය කටයුතු කර තිබුණි . නමුත් ඒ වන විට ඔහුට එල්ල වී ඇති චෝදනා පිළිබඳව අධිකරණය මඟින් ඔහු වරදකරුවෙකු කර නොතිබිණි . අප රටේ පවතින නීතිය අනුව යම් වරදක් කළ පමණින් ම ඔහු අපරාධකරුවෙකු නොවේ . අපරාධකරුවකු වීමට නම් ඒ බව නීතිය ඉදිරියේ ඔප්පු විය යුතු ය . තත්ත්වය එසේ තිබියදී නීතිය පිළිබඳ දැනුමක් ඇති පොලීස් නිළධාරීන් අපරාධකරුවකුට වෙඩි තබා ඝාතනය කළ බවට සිද්ධිය සාධාරණීකරණය කිරීමට පොලීසිය උත්සහ ගෙන ඇති බව මේ අනුව පැහැදිලි වේ . මෙම සිද්ධියට අදාලව වෙඩි තැබීමට අණ දුන් කෑගල්ල ජෙ. පොලිස් අධිකාරී කීර්තිරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණ නියෝග ලැබීමත් සමඟ ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා නාරාහේන්පිට පොලීස් රෝහල ට ඇතුළත් වී තිබින . මෙරට දේශපාලනඥයන්ට වැළඳී ඇති රෝග මේ වන විට අත්අඩංගුවට ගැනීමට නියමිත ජෙ. පොලිස් අධිකාරීවරුන්ටත් වැළඳීම පිළිබඳව පොදු මහජනතාවට ඇත්තේ බලවත් සැකයකි . එසේම මෙම වෙඩි තැබීමට සම්බන්ධ සියලු පොලිස් නිළධාරීන් හා ඔවුන් ඇඳ සිටි නිල ඇඳුම් නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා තිබුණි . ඊට එකඟතාව පල කළ මහේස්ත්රාත්තුමිය දැනට අත්අඩංගුවට ගෙන ඇති සැකකාර පොලිස් නිළධාරීන් ට අමතරව සිද්ධියට සම්බන්ධ අනෙකුත් පොලිස් නිළධාරීන් ද අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරියට පමුණුවන ලෙස වැඩිදුරටත් පොලීසියට නියෝග කොට තිබුණි . මෙරට විරෝධතා ඉතිහාසය ලෙයින් තෙත් කළ මෙම ඛේදවාචකය සිදු වූයේ ඒ මොහොතේ රටේ පැවැති ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලයේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ධුරයේ දිවුරුම් දී පැය 24 ක් ගත වීමටත් පෙරාතුව ය . මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කොට ඇති සාමකාමීව විරෝධතා දැක්වීමේ අයිතිය පොලීසිය විනාශ කර දමා ඇත්තේ ස්වකීය බලය අයතු ලෙස භාවිතා කිරීමක් ද යන්න පිළිබඳව ඉදිරියේදී අධිකරණය මඟින් තීරණය වනු ඇත . ජීවිතයක් අහිමි කළ මෙම ඛේදවාචකයට සාධාරණයක් ඉටු වන්නේ හුදෙක් අධිකරණය මඟින් දඞුවම් ලබා දීම පමණක් නොව මෙවැනි සිදුවීම් අනාගතයේ ද සිදුවීමට පොලිස් දෙපාර්තමේන්තුව ඉඩ නොදුනහොත් පමණි .