අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් දේශපාලන

රටේ මූලික නීතියට ගරු නොකරන දේශපාලන සදාචාරය කොයිබටද ?

සී ජේ අමරතුංග

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පත්වීමට ඉඩ දිය යුතු ද, යන ප්‍රශ්නය ද විවාදාත්මක ය. ඇතැම් රටවල් ඒ සඳහා තහංචි පනවා නැත. කෙසේ වෙතත්, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ ජනාධිපති වීම හෝ සඳහා ඉඩ නොදිය යුතු බවට ද ප්‍රබල මතයක් ඇත. එයට හේතුව නම් යම් අවස්ථාවක ලැදියාවන්ගේ ගැටුමක් ඇතිවිය හැකිය යන ප්‍රශ්නය යි. එනම්, රටවල් දෙකේ ලැදියාවන් පිලිබඳ ප්‍රශ්නයක දී ද්විත්ව පුරවැසියකු ගන්නා ස්ථාවරය පිලිබඳ ප්‍රශ්නය යි.

මේ පිලිබඳ තර්ක කරන අය  මතුකරන ප්‍රශ්නයක් නම් ඇමෙරිකාවේ පුරවැසිභාවය ලබාගැනීමේ දී කෙනෙකු තමා ඇමෙරිකාව වෙනුවෙන් යුද වැදීමට සුදානම් බවට දිවුරුමක් දිය යුතු බව යි. එසේ වූ විට යුදමය තත්ත්වයක් ඇති වූ මොහොතක එවැන්නකු ගන්නා ස්ථාවරය කුමක් විය හැකි ද යන ප්‍රශ්නය ඔවුහු මතුකරති.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ දී ගොඨාභය රාජපක්ෂ මහතාට ද , මෙම ප්‍රශ්නයට මුහුණ දීමට සිදුවීය. ඔහු ද, ඇමෙරිකාවේ සහ ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය හිමිව තිබු ද්විත්ව පුරවැසියෙකි. කෙසේ වෙතත්, ගොඨාභය රාජපක්ෂ මහතා කළේ තම ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීම යි.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමත් , ඒ සමග ම ඔහු මුදල් ඇමති ලෙස පත් වී දිවුරුම් දීමත් මෙරට මෑත දේශපාලනය තුළ විශාල ලෙස සාකච්ඡාවට ලක් වූ සිදුවීමකි. එයට හේතු ගණනාවකි. ඒ සඳහා ප්‍රධාන හේතු දෙකක්  හඳුනාගත හැකි ය.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණීම සාකච්ඡාවට ලක් වූ ප්‍රධාන එක හේතුවක් නම් ඔහු බලවතකු වීමයි. ඔහු මෙරට දැන් බලය හොබවන ප්‍රධාන දේශපාලන පවුලේ බලවත් ම සාමාජිකයෙකි. එමෙන් ම මීට පෙර බලයේ සිටියදි රටේ ආර්ථික කටයුතු සහ දේශපාලන තීන්දු ගැනීමේදි ප්‍රමුඛ කාර්යයක් ඉටුකල බැවින් ඔහුගේ ආගමනය මේ මොහොතේ ආණ්ඩුව මුහුන දී සිටින අර්බුදය කලමණාකරනය කරගැනීමට පිළියමක් වේයැයි සමහරුන් උපකල්පනය කලහ.

බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ගමන කතා බහට ලක්වීමට අනෙක් ප්‍රධාන හේතුව වුයේ එය වටා පැවති නීතිමය සහ දේශපාලන සදාචාරාත්මක ප්‍රශ්න යි. ද්විත්ව පුරවැසියකු වීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති අනුව ප්‍රශ්නකාරී තත්ත්වයක් පැවතීම මෙන් ම, පවුල් වාදයක් ගොඩනැගීම නැතහොත් තිබෙන පවුල්වාදය තවත් බලවත් වීම ආදිය මේ අංශයෙන් කැපී පෙනෙන ප්‍රශ්න වී ය.

මෙය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණි පළමු අවස්ථාව නොවේ. ඔහු 2007 දී පළමුවරට පාර්ලිමේන්තුවට පැමිණියේ ද ජාතික ලැයිස්තුව නියෝජනය කරමිනි. ඒ වනවිට ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජෙෂ්ඨ උපදේශක ලෙස කටයුතු කරමින් සිටියේ ය. 2010 දී ඔහු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කොට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා පාර්ලිමේන්තු පැමිණියේ ය.

2015 දී සහ 2020 දී බැසිල් රාජපක්ෂ මහතා මැතිවරණයට තරග කළේ නැත. එයට හේතු වුයේ 2015 දී සම්මත කළ . ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රීවරුන් ලෙස පත්වීමට ඉඩ කඩ අසුරා තිබීම යි.

බැසිල් රාජපක්ෂ මහතාට ද , තම ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගෙන 2020 මහ මැතිවරණයට මුහුණ දී පාර්ලිමේන්තු පැමිණීමට හැකියාව තිබිණි. එසේ වුව ද, ඒ මහතා එසේ කළේ නැත. සිය ඇමෙරිකානු පුරවැසිභාවය රැක ගැනීමට ඒ මහතාට අවශ්‍ය වී ය. එය මෙම ප්‍රශ්නය වඩා විවාදාත්මක වීමට ප්‍රධාන හේතුව වී ය.

ද්විත්ව පුරවැසියන්ට මහජන නියෝජිතයන් ලෙස පත්වීමට ඉඩ ලැබෙන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට ඇතුළත් කොට තිබිණි. එයට රටේ මෙන් ම, ආණ්ඩුව ඇතුළේ විශාල පිරිසකගේ ද, විරෝධය පළ වූ නමුත්, ආණ්ඩුව එම ප්‍රතිපාදන සමග 20 වැනි සංශෝධනය සම්මත කර ගත්තේ ය.

එමගින් බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමේ එක් නීතිමය බාධාවක් ඉවත් වීය. එසේ වුව ද, එහි ඇති සදාචාර ප්‍රශ්නය එයින් අවසන් වන්නේ නැත. ආණ්ඩුව තුළ ම සිටින විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ඇතුළු කණ්ඩායම කියන්නේ එම කතාව යි.   

බැසිල්ගේ පත්වීම සම්බන්ධයෙන් මතුකොට ඇති තවත් ප්‍රශ්න තිබේ. එයින් එකක් නම් මෙම පාර්ලිමේන්තුව පත් වූ 2020 මහ මැතිවරණය වන විට බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පත්වීමට නොසුදුස්සෙකු වීම යි. මැතිවරණය පැවතී මොහොතේ එයට පත්වීමට සුදුසු කම් නොතිබූ අයෙකුට පසුව එයට පත්වීමට සුදුසුකම් ඇත්  ද යන්න සාධාරණ ප්‍රශ්නයකි.

මෙම පත්වීම පිළිබඳව නගන තවත් බරපතළ ප්‍රශ්නයක් ඇත. එනම් මෙම පත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව යි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ජනතා පරමාධිපත්‍යයට මෙම පත්වීම පටහැනි බව යි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මෙන් ම, ඒ පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු මගින් ද පිළිගෙන ඇත්තේ ජනතාවගේ ඡන්ද බලය ජනතා පරමාධිපත්‍යයේ කොටසක් බව යි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පත්වන්නේ ජනතාවගේ ඡන්ද බලය අනුව ය. එම බලය අනුව මන්ත්‍රීවරුන් තෝරා ගන්නා ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 වගන්තියේ ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන් සහ 101 වගන්තියෙන් එම මන්ත්‍රීවරුන් තෝරා පත් කරගත යුතු ආකාරයත් පැහැදිලිව නිරවුල්ව සටහන් කොට ඇත. ඒ අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කළ හැකි වන්නේ එම පක්ෂය විසින් ඉදිරිපත් කොට ඇති ජාතික ලයිස්තුවේ හෝ දිස්ත්‍රික් සඳහා ඉදිරිපත් කොට ඇති ලැයිස්තුවක හෝ නම සඳහන් වන තැනැත්තන් පමණකි. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන එසේ වුව ද , සියලු පක්ෂ විසින් එම ප්‍රතිපාදන උල්ලංඝනය කොට ඇත. ඒ සඳහා නීතියක් ද ඇත. ප්‍රශ්නය ඇත්තේ එතැන ය.  

2004 මැතිවරණයේ දී කිසිදු ලැයිස්තුවක නම නොතිබූ රත්නසිරි වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවට පත්කරනු ලැබී ය. 2006 දී, ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය වීමෙන් පසුව, ඩලස් අලහප්පෙරුම පත්වීය. 2007 දී බැසිල් රාජපක්ෂ පළමුවරට පත් වුයේ ද ඒ ආකාරයෙනි. 2008 දී විනයාග මුර්ති මුරලීතරන් හෙවත් කරුණා  අම්මාන්  පත්වීම , 2007 දී චම්පික රණවක පත්වීම. 2016 දී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පත්වීම, 2020 දී සමන් රත්නප්‍රිය  පත්වීම ආදී සියල්ල සිදු වුයේ මේ ආකාරයෙනි. එනම් මෙය ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක් නම් සියලු පක්ෂවල දේශපාලඥයෝ එයට වගකිව යුත්තෝ ය.

එවිට ප්‍රශ්නය වන්නේ මොවුන්ට මෙලෙස ව්‍යවස්ථාව කඩන්නට ඉඩ ලැබුණේ කෙලෙස ද යන්න යි. 

ඉහත කී පත්වීම් සියල්ලට නීතිමය රැකවරණය ලැබෙන්නේ 1981 අංක 1 දරණ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණ පනතේ එක් වගන්තියකිනි. එම පනතේ 64 (5) වගන්තියේ සඳහන් වන්නේ පක්ෂයේ ඕනෑ ම සාමාජිකයකු  ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කළ හැකි බව යි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනිව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පතිකිරීම් කරන සියලු දේශපාලන පක්ෂ ආවරණය ලබන්නේ මැතිවරණ පනතේ මෙම වගන්තියෙනි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ වෙනත් නීතිවේදීන් පෙන්වා දී ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ මෙම වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව යි.

මෙම මැතිවරණ පනත සම්මත වූ ආකාරය ද ප්‍රශ්නකාරී ය. එවකට පැවතී රජය එය ඉදිරිපත් කරන ලද්දේ හදිසි පනතක් වශයෙනි. එවිට රජය විසින් එය ශේෂ්ඨාධිකරණයට යොමු කළ විට එක් දවසකින් විමසා තීන්දුව දිය යුතු ය. ඒ ගැන අධ්‍යනය කොට කරුණු දක්වන්නට සාමාන්‍ය ජනයාට එතරම් කාලයක් ලැබෙන්නේ නැත. පනත සම්මත කර ගත්තේ එලෙස ලබාගත් අධිකරණ තීන්දුවක් අනුව ය.

එමෙන් ම, මෙය හදිසි පනතක් ලෙස සම්මත කර ගත්තේ කිසිදු මැතිවරණ සුදානමක් නොමැති අවස්ථාවක වීම ද සැලකිල්ලට ගත යුතු කාරණයකි.

මෙරට නීතිය අනුව පනතක් සම්මත වූ පසු ඒ ගැන විමසීමේ බලයක් අධිකරණයට නැත.එබැවින් දේශපාලඥයෝ මෙම නීතිය සිතැඟි පරිදි අවභාවිත කරමින් සිටිති.

කෙසේ වෙතත්, කුමන නීතියක් වුව ද, ක්‍රියාත්මක විය යුත්තේ රටේ මුලික නීතියට යටත්ව බව පොදු පිළිගැනීමකි. මෙහි දී එය ක්‍රියාත්මක නොවීම ප්‍රශ්නයකි.

අනෙක් අතට රටේ මුලික නීතියේ හරයට ගරු කිරීම ද, වැදගත් දේශපාලන සදාචාරයකි.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts