සාමය

යුධබිමේ හමුවු පියෙක් සහ පෙම්වතියක්

නිමල් අබේසිංහ

අපේ රටේ තිස් අවුරුදු යුද සමයේ යුද හමුදා සෙබළුන් සිංහල ප්‍රජාවට රණවිරුවන් වූ අතර, දමිළ සටන්කරුවන් දමිළයන්ට විරුවන් වූයේය. එදා ඒ බිහිසුණු යුද සමය සිංහල දෙමළ ප්‍රජාවෙන් බොහෝ දෙනෙකු අතර ඔවුනොවුන් කෙරෙහි ඇති වී තිබුණේ බරපතළ විරසකයකි. මේ විරසකය තුළ වුව ද ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් දෙකෙහි ම අතිශය සංවේදී මනුෂ්‍යත්වයෙන් පිරිපුන් මිනිසුන් සිටි බව තහවුරු කෙරෙන කතාවක් දෙකක් මට අසන්නට ලැබිණ මේ කතා දෙක ම මට අසන්නට ලැබුණේ යුද හමුදාවේ මිතුරෙකුගෙනි.

මෙයින් එක් කතාවක් සත්‍ය අසත්‍යභාවය තහවුරු කරගන්නට හැකි වුවත්, අනෙක් කතාව නම් තහවුරු කරගන්නට ඇවැසි පුද්ගලයන් මට සොයාගත නොහැකි විය.

මේ වනාහි මානව දයාවෙන් පිරිපුන් සහජීවනය, සංහිඳියාව අගයන අනුයන මිනිසුන් පිළිබඳ කතාවන් දෙකකි. කරුණු කෙසේ වුවත් මෙම කතාවලට සහසම්බන්ධ පුද්ගල නාම හා ග්‍රාම නාම හරියට ම නොලියනුයේ තවමත් අප සමාජය තුළ වෙසෙන ජාති, ආගම් උන්මාදයෙන් නරක් වූ හිස් ඇති පුද්ගලයන් වෙතින් ඔවුනට අවැඩක් නොවීම උදෙසාමය.

ඒ 1997 වර්ෂයයි. උතුරේ යුද්ධයේ ගිනි පුළිඟු විහිදෙන භීම සමයයි. ආනමඩුවේ එක්තරා ගමක, යෞවනයෙකු ඒ වන විටත් යුද හමුදාවට බැඳී සේවය කළේය. දෙදරු පියෙකු වූ ඔහු අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළවත් හරිහැටි සමත්ව නොතිබුණි. මේ වෙලාවේ ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් ගැන සඳහන් කරනුයේ ඔහු උගත් යැයි කියමින් තවමත් ජාතිවාදයේ ගිනි දැල් ඇවිලීමට පොරකන ඊනියා ආචාර්ය මහාචාර්යවරුනට උපහාස කරනු වස්ය. උතුරේ යුද මෙහෙයුම්වල සිටි අප කියන සෙබළා ඇතුළු පිරිසට හදිසියේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. ප්‍රතිප්‍රහාර එල්ල කළ ඔවුහු ප්‍රහාර එල්ල වූ ගම් ප්‍රදේශයෙහි සෝදිසි මෙහෙයුමක යෙදුණාහ.

ගෙයින් ගෙය පිරික්සාගෙන ගිය සෙබළා දුටුවේ නිවෙසක් තුළ මැරී වැටී සිටියවුන් අතරේ හඬන කිරි දරුවෙකි. සියල්ල පසෙකලා වහා ඉදිරියට පිනූ ඔහු දරුවා දෝතින් ම ගෙන වඩා ගත්තේය. ඇය දැරිවියකි. පිරිමි දරුවන් දෙදෙනකු පමණක් සිටි ඔහු තම පවුලට දියණියක එක් කර ගැනීමේ දැඩි බලාපොරොත්තුවකින් පසුවූවෙකි. දැරිවිය කෙරෙහි දැඩි පීතෘ ස්නේහයක් සිය ළයෙහි උපදිනවා දැනුණි. ඔහු දැරිවිය රැගෙන නිවසින් එළියට පැමිණියේය. හමුදා ඛණ්ඩයේ ප්‍රධානියා ද කිසිවක් මුවින් නොබිණීය.

ඔහු දැරිවිය නවගත්තේගම සිය නිවෙසට රැගෙන ආවේය. ඒ කෙසේද? කොහොමද යන්න මෙහි සටහන් නොකරමු.

නිවෙසට රැගෙන ආ දැරිවියව ඔහුගේ බිරිඳ ද භාර ගත්තේ සැබෑ දාරක ප්‍රේමයෙනි. පිරිමි දරුවෝ දෙදෙන ද මේ දැරිවිය දැක සතුටට පත්වූහ.

වසර පහළොවක් පුරා දැරිවිය හැදී වැඩුණේද, පාසල් ගියේද ඔහුගේ ගමේමය. අසල්වැසියන් හෝ ගම්මුන් ද මේ පිළිබඳ කිසිවක් ඔවුන්ගෙන් විමසන්නට පෙළඹුණේ ද නැත.

උපතින් කෙසේ වුවත් දැරිවිය දැන් සිංහලය. තවත් වසර කීපයකින් යුද සෙබළා විශ්‍රාම යන අතර ම ඒ වනවිටත් ඔහුගේ එක් පුත්‍රයෙකු යුද හමුදාවට බැඳී හමාරය.

සෙබළා ඇතුළු පවුලේ පිරිස මේ දැරිවියට කොතරම් සෙනෙහසක් ආදරයක් දැක්වීද යත් තවදුරටත් ඇයව සිය ගමෙහි තබා ගැනීමෙන් ඇයට කිසියම් අනර්ථයක් වේදැයි ඇතිවූ සැකය නිසා සිය පවුල ම ගම්බිම් අත්හැර වව්නියාවේ පදිංචියට ගියහ.

අප කියන මේ දැරිවිය මේ වනවිට විසිහතර වියේ පසුවන අතර විවාහ දිවියට ද එළඹ ඇත්තීය.  අප ඇයගේ කතාව අසනුයේ මින් වසර ගණනාවකට පෙරදීය.

මේ කතාවේ නම් ගම් හෙළිදරව් කිරීම සමහරක් විටෙක නීතිමය ප්‍රශ්න ඇතිකරවමින් මේ පවුලට අනවශ්‍ය ප්‍රශ්න ඇතිවිය හැකි බැවින් ඒවා පලකිරිමෙන් වැලකි සිටිමි.

මෙහිලා වැදගත් වන්නේ මේ සෙබළා ඇතුළු පවුලේ අයවලුන් අදටත් ඇයව තම පවුලේ ම එකියක සේ ආදරයෙන්, සෙනෙහසින් රැක බලා ගැනීමයි. ඉදින් මෙය නම් සැබෑ සංහිඳියාව සහජීවනය නොවන්නේද?

ලියුම්කරු දැරිවිය විසූ ගමටත්, යුද සෙබළාගේ ළඟම ඥාතීනුත් මුණ ගැසුණු අතර සෙබළාගේ පුත්‍රයාට ද දුරකතන ඇමතුමක් දී තොරතුරු විමසනු ලදුව මේ කතාව තවදුරටත් තහවුරු කරගන්නා ලදි. මේ සියල්ලන් ම සැබෑ මානවී ගුණයෙන් පිරිපුන් මිනිසුන් වන අතර ඔවුන් තුළ ජාති, ආගම් භේද කිසිවක් නැත්තේය. ඒ බව ඔවුන් ක්‍රියාවෙන්ම ඔප්පු කර තිබිණ. එසේ නම් සහජීවනය සහ සංහිඳියාව අනවශ්‍ය වන්නේ කාටද? අප අවබෝධ කරගත යුත්තේ එය නොවේද?

දෙවන කතාව ද යුද හමුදාව ආශ්‍රිත වන්නක් වන අතර එය අප පුදුමයට පත්කරවනසුලුය.

උතුරේ සේවය කළ යුද සෙබළෙකු තම මුරපොළ අසලින් නිතර යනෙන තරුණ දමිළ තරුණියක පිළිබඳව විමසුම් දෑසින් යුතුව බලා සිටියේය. ඔහු කොතරම් ඇය දෙස බැලුව ද ඇය නොවේ; නිකමටවත් ඔහු දෙස බැලුවේ. කාලය ගෙවෙමින් තිබුණේය. තරුණිය සුපුරුදු ලෙස මුරපොළ අසලින් යන්නීය. තරුණයා ද ඇය දෙස බැලුවත් ඇයගෙන් පෙරළා කිසිදු ඉඟියක්වත් නොවීය. එහෙත් එක්තරා දිනෙක ඔහු නොසිතූ අයුරින් ඇය ඔහුට මුවපුරා සිනාසුණාය. සිනහව අවසන් වූයේ ආදර සබඳතාවකිනි. ඔහුගේ මිතුරෝ මෙයට එරෙහි වූහ. ඇය අනිවාර්යයෙන් ම ත්‍රස්ත සංවිධානයේ සාමාජිකාවක් බවත්, මෙතුවක් කල් ගණන් උස්සා ඔහු හා මිතුරු වූයේ යුද තොරතුරු ලබාගැනීමට බවත් ඔවුහු කීහ. එහෙත් ඔහු එය විශ්වාස කළේ නැත.

මිතුරෝ එය කිසිකලෙක විශ්වාස නොකළහ. ඇතැම් අය ඔහු සමග තිබූ ඇසුර ද අත්හැර දැමුවා පමණක් නොව, ඔහුව ද අවිශ්වාස කළහ. එහෙත් තරුණයාගේ හා තරුණියගේ ඇසුර එලෙස ම පැවතුණි. ඔවුහු හොඳ ආදරවන්තයෝ වූහ.

කාලය ගෙවෙද්දී තරුණයාට වෙනත් කඳවුරකට ස්ථාන මාරුවක් ලැබුණේය. ඒ හා සමග ම ඔවුන්ගේ ආදර සබඳතාව ද අවසන් විය. එය ඔවුන්ගේ හදවත් තුළ කිඳා බැස තිබෙන්නට ඇතිවාට  නම් සැක නැත.

යුද්ධය යනු බිහිසුණු බියකරු ව්‍යසනයකි. කෙනෙකු නපුරට බිලිවන්නේ කිනම් මොහොතක දැයි කිව නොහැකිය. එකී සත්තාව සනාථ කරමින් දමිළ තරුණයන් හා යුද හමුදාව සමග දරුණු සටන් ඇවිළ ගිය මොහොතක දී නායකයා ත්‍රස්තයන්ගේ ග්‍රහණයට හසුවිය.

ඔහු රැගෙන ගොස් ත්‍රස්ත කඳවුරක සිරකුටියක දැමුවේ කකුලකට සවි කළ දම්වැලකින් කණුවකට සම්බන්ධ කරමිනි. ඔහුට යම් තරමකින් හෝ නිදහසක් ලැබුණේ ශරීර කෘත්‍ය කරගැනීමට පමණි. දිනකට දෙවරක් ආහාර ලැබිණ. ඇතැම් අවස්ථාවල දී ආහාර ගෙන පැමිණියෝ කොටි සෙබළියන්ය. ඔවුන්ගෙන් වුව ලැබුණ ප්‍රතිචාරය දරුණුය. ලීවලින් පහරදීම් පරුෂ වචනයෙන් බැණ වැදීම් එමටය. එනිසා ඔහු ඔවුන් දෙස ඇස හැර බැලුවේ ද නැත.

තවත් දිනෙක ආහාර රැගෙන ආවේ ද කොටි සෙබළියකි. කෑම බඳුන කූඩුව තුළට තල්ලු කරද්දී ඔහු සුපුරුදු ලෙස ඉවත බලාගෙන සිටියේය. එහෙත් එක්වරම සුපුරුදු සෙනෙහෙබර හඬකින් ඔහුව අමතනු කන වැකුණු ඔහු ඒ දෙස බැලීය. පුදුමයකි. ගිනි අවියක් දරාගෙන ත්‍රස්ත යුද ඇඳුමින් සැරසී ගෙලෙහි සයනයිඩ් පැළඳගෙන සිටින්නී තම ආදරවන්තියය. “ෂ්… ෂ්…” යැයි මුවට ඇඟිල්ල තබා සංඥා කළ ඕ එතනින් වහා පිටව ගියාය. කාලය ගෙවෙන අතරතුර ඕ කීපවරක් ම ඔහුට ආහාර රැගෙන ආව ද ඕ කිසිවක් ම නොකීවාය.

එක්තරා දිනෙක මැදියම් රැයේ ඔහුගේ සිරකුටියේ දොර ඇරිණි. අද තමාගේ අවසානය යැයි ඔහු සිතුවේය. මුවින් නොබැණ ඔහු ඉවත බලා සිටියේය. කුටියේ දොර ඇරි ඇය ඔහුව යදමින් ද නිදහස් කළේය. ඔහු එදෙස බැලීය. පුදුමයකි. ඒ ඇයය. මුවෙහි දබරැඟිල්ල තබා නිශ්ශබ්ද වන්නැයි සංඥා කළ ඈ ඔහුගේ අතින් ගෙන වේගයෙන් පැමිණියේ කළපුවක් අසලටය.

අසල තිබූ ඔරුවකට ඔහුව නංගා ගත් ඕ වේගයෙන් ඔරුව පැදවූයේ මුවින් නොබැණය. අනෙක් කෙළවරට ආසන්නයේ දී ඔහු ඇමතුවාය. තමන් ද බලහත්කාරයෙන් සංවිධානයට බඳවා ගත් බවත්, දැන් තමන්ට නිදහසක් නොමැති බවත්, වහා ඔරුවෙන් බැස ආරක්ෂිත ප්‍රදේශයකට පලා යන ලෙසත් ඇය ඔහුට පවසා වහා ඔරුව මෙගොඩට පැද වූවාය. කිසිවක් කරගත නොහී තුෂ්ණිම්භූතව බලා සිටි ඔහු ඇය පැද යන ඔරුව දෙස බලා හිඳ එක්වර ම වේගයෙන් නිරුපද්‍රිත ප්‍රදේශයක් බලා දිව ගියේය. ඇය ඔරුව පැද ගියේ මඳ දුරක් පමණි. ගෙල පැළඳි සයනයිඩ් කරල හැපුවාය. පසුදා උදෑසන ත්‍රස්ත කඳවුර දෙසට පාවී ගොස් ඇත්තේ මළ සිරුර සහිත ඔරුවය.

ජාති භේද, ආගම් කුල අබිබවා ගිය මෙවන් කතා අප අසා කියවා ඇත්තේ පොතපතින් වුවත් ඒවා’තර සැබෑ සත්‍ය ආදරයේ නාමයෙන් දිවි දුන්නවුන්ගේ කතා ද ඇති බව මේ කතාවෙන් වුව ද පැහැදිලි වේ. පිළිගත්ත ද නොපිළිගත්ත ද මෙයටත් වඩා මිනිසත්කම් ඇත්තේ කොහි ද? දරුණු ජාතිවාදයක් මවා නොතිබුණේ නම් මානව දයාවෙන් පිරිපුන් මෙවැන්නවුන් මේ ලොව කොතරම් සුන්දර තැනක් බවට පත් කරනු ඇති ද?

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් කතුවරුන්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts