සාමය

යුද බිම, පන්හිද හා මිනිසත්කම

කපිලකුමාර කාලිංග

අපේ පත්තර භාෂාවේ “රසට ලිවීම” යනුවෙන් යෙදුමක් ඇත. ඉන් අදහස් කෙරෙනුයේ පාඨකයාගේ සිත් බැඳ ගන්නා ලෙසටත් , එක හුස්මට කියැවිය හැකි ආකාරයටත් ලිවීමේ කලාවය. රසට ලිවීම, සරළ සුමට බස් වහරින් මෙන් ම, ඊට වඩා පොහොසත්, තරමක් විදග්ධ භාෂාවෙන්ද කළ හැකිය.

එහිදි, එක්වරම මගේ සිතට නැඟෙන නම් අතරින් බි.ඒ.සිරිවර්ධන (“ඇත්ත සිරා”) , ඩී.එස්. කාරියකරවන , කරුණාදාස සූරියආරච්චි, චින්තන ජයසේන, සුනිල් මාධව ප්‍රේමතිලක ආදීන් මුල් කොටසටත්, දයාසේන ගුණසිංහ, තිලකරත්න කුරුවිට බණ්ඩාර, පර්සි ජයමාන්න, ක්‍රිෂ්ණා විජේබණ්ඩාර ආදීන් දෙවෙනි කොටසටත් අයත් වුවන් ලෙස දැක්විය හැකිය. [සෑම පුවත්පතකම, රසට ලියන්නන් දෙතුන් දෙනෙකු සිටි අතර, ඉහත දැක්වූයේ, නිදසුන් කිහිපයක් පමණි.]

රසට ලියන්නන්ට, ඕනෑම දෙයක් ගැන සිතට දැනෙන සේ , ලිවිය හැකි විය යුතුය. පිටකොටුවේ බෝ ගස, මීතොටමුල්ල කුණු කන්ද මෙන්ම බකිංහැම් මන්දිරය හෝ අඟහරු ග්‍රහයා වැනි මාතෘකා වුවත්, ඔවුන්ගේ පෑනට හසු වූ විට, රසවත් කියැවීමක් බවට පත්වෙයි.

එහෙත්, යුද්ධය යනු රසවත්ව ලිවිය හැකි විෂයක් ද? ජයග්‍රහණය සහ පරාජය, ජීවිතය සහ මරණය වැනි අන්තයන් අතර නිරන්තරයෙන් දෝලනය වන , සෑම විටම දුක්බර, ශෝකී මුහුණින් යුත් තරුණියක බඳු යුද්ධය දෙස , ලේඛකයෙකු – පත්‍රකලාවේදියෙකු බැලිය යුත්තේ කෙසේද?

පුවත්පතක් තුළ යුද්ධය පිළිබඳ දේශපාලන විග්‍රහයන් ලියුවන් මෙන්ම, යුද වාර්තාකරුවෝද වූහ. ඊට අමතරව, යුද්ධය ගොදුරු වු “තහනම් පෙදෙස් ” වල සංචාරය කොට – (අවසරයෙන් හෝ අනවසරයෙන්) විශේෂාංග ලිපි ලියූවෝද සිටියහ.

“ප්‍රවෘත්තිමය වටිනාකම්”  ගැන එතරම් උනන්දුවක් නොදැක්වීම, පත්‍රකලාවේදියෙකු වශයෙන් පරිපූර්ණත්වය පත්වීම සඳහා මා තුළ වු නුසුදුසුකමක් ලෙස, දැන් මම හඳුනා ගතිමි. එහෙත්, බොහෝ පුවත් තුළ සැඟව තිබු, ප්‍රවෘත්තිමය වටිනාකම් නොවු , මානුෂික කාරණා, මගේ අවධානයට ලක් විය. (මා යෙදී සිටි , වෙනත් කලා මාධ්‍යයන් සඳහා , ඒවා ප්‍රයොජනවත් අමුද්‍රව්‍ය බවට, අත්දැකීම් බවට පත්වුණි.)

ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය පැවති අවධියේ, උතුරු – නැඟෙනහිර යුද පෙදෙස් හි , සංචාරයට පත්‍ර කලාවේදීන් තුළ තිබු, කුතුහලාත්මක ආශාව , මා තුළද විය. එහෙත් ඒ සඳහා , ආයතනික මට්ටමින්ම අවසර ලැබුණේ , විෂයට අදාළ දෙතුන් දෙනෙකුට පමණි.

රජයෙන් ලබා දෙන , පූර්ව සැළසුම් සහිත යුද බිම් සංචාරකයන් මට රුචි නොවීය. රජයේ හෝ හමුදා වාහන වලින් ගොස්, යුද කඳවුරු වල රැඳී , කා බී සතුටු වී එන එම ගමන් , තුළින් යුද පෙදෙස්වල සැබෑ ජන ජීවිතය දැක ගත නොහැකිය යනු මගේ අදහස විය. අනෙක් අතට , රජයෙන් එවැනි සංචාරයන්ගෙන් අනතුරුව ලියැවුණේද, ඒක පාර්ශවීය- වාරණයට ලක් නොවන-  වාර්තා හෝ ලිපිය.

මගේ සමකාලීන පුවත්පත් මිතුරන්, අතර , විවිධ දේශපාලන මති මතාන්තර දැරුවන් විය. ඔවුන් යුද්ධ දෙස බැලුවේද , එකී මතාන්තරවලට අනුකූල දෘෂ්ටි කෝණයන්ගෙනි. 

සුළු කොටසක්, අවි ගත්තවුන් අවියෙන්ම පරාජය කළ යුතුය යන මතයේ වූ අතර , ඔවුන් ජාති වාදීන් ගේ “ගිණුමට” බැර වුණි. තව පිරිසක් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් වලට ගරු කළ යුතුය යන මතය දැරු අතර, ඊළම දීමටද එකඟ වුයේ නැත. සාකච්ඡා මාර්ගයෙන් ජන වර්ග අර්බුදය විසඳු, බලය විමධ්‍යගත කොට සාමය උදා කර ගත හැකිය යන මතයෙහි වැඩි පිරිසක් සිටියහ.

අපගේ ඇතැම් වාමාංශික රැඩිකල් මිත්‍රයින්, විප්ලවයේ ගිනි සිළුව , උතුරේ සිට දකුණට ගෙන ආ හැකි බවද විශ්වාස කළහ. ඔවුන්, ප්ලොට්, ඊ.පී.ආර්.එල්.එෆ් වැනි සංවිධානයන් දුටුවේ, එහි පුරෝගාමීන් ලෙසය. දකුණේ සිංහල  තරුණයින් කීප දෙනෙක් එම සංවිධාන හා එක්ව කටයුතු කළ බව ද ප්‍රකට කරුණකි. [වාමාංශිකයන් වු අපද, උතුරෙන් විප්ලවය ඇරැඹේය යන මතයෙන් කිසියම් ආස්වාදයක් ලැබු බවද සැබෑවකි.]

යුද්ධයට විසඳුම් වශයෙන්, අපගේ ඇතැම් සගයෙක් කළ යෝජනා , හාස්‍ය ජනකද විය. මෙකල ප්‍රකට කලාකරුවෙකු ලෙස ක්‍රියා කරන, එකල පත්‍රකලාවේදියෙකුගේ මතය වුයේ, ශ්‍රී ලංකාවේ කලාකරුවන් එක්ව , ලෝකයේ සුප්‍රකට කලාකරුවෙකු ලවා, එල්.ටී.ටී.ඊ. සංවිධානයට බලපෑම් එල්ල කළ යුතු බවය. ඔහුගේ එක් අපූරු යොජනාවක් වුයේ , මයිකල් ජැක්සන් මඟින් අමෙරිකානු ජනාධිපති ඒ සඳහා පොළඹවා ගත හැකි බවය.

ලෝකයේ ඕනෑම තැනක යුද්ධයක් , ඇවිළී යන්නේ එහි සැබෑ මුහුණුවරට , වසංවී සිටිය හැකි මුඛ වාඩමක්ද බඳිමිනි. මෙම යථාර්ථය අපටද බලපෑවේය. සමාජ මාධ්‍ය ජාලා නැති ඒ අවධියේ සත්‍ය තොරතුරු දැන ගැනීම සඳහා, බොහෝ දෙනා බී.බී.සී. වැනි විදේශ ප්‍රවෘත්ති සේවාවන් භාවිතා කළහ. මාධ්‍යවේදීන් වන අපට, කොළඹ රැකියාවන් හි යෙදෙන , උතුරු-නැඟෙනහිර ගම්බිම් ඇති අයගෙන් ද විශ්වාස කටයුතු තොරතුරු ලැබුණි. ඒ අතරම, අවිශ්වාස කටයුතු , කට කතා – දූෂමාණ ආරංචි ද ජනතාව අතර පැතිරුණි. (මෙය ජාතීන් දෙකටම පොදු විය.)

අපට යුදබිමේ තොරතුරු ලැබෙන තවත් මාර්ගයක් වූයේ, හිතවත්කම්, තිබූ හමුදා නිලධාරීන් ය. පාසල් මිතුරන් හෝ ඥාති සම්බන්ධතා ඇති අය වූ ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු ද විශ්වාස කළේ , යුද්ධයට දේශපාලනික විසඳුමක් අවශ්‍ය බවය. සේවයේ නියුතු හෝ විශ්‍රාමික, ඇතැම් හමුදා ප්‍රධානීන් ද මේ මතය දැරූ බව ඔවුන් හා කළ මාධ්‍ය සංවාද හෝ ඔවුන් විසින් සැපයු පුවත්පත් ලිපි මඟින් දැකගත හැකි විය.

ඒ කෙසේ වෙතත්, හමුදා නිලධාරින් සමඟ කතා බස් කිරීමේ දි , හැකි තරම් “නියුට්රල්” වෙමින් ඔවුන්ගේ අදහස් හා තොරතුරු ලබා ගැනීම අපගේ  ප්‍රතිපත්තිය විය.

එක් අවස්ථාවක පෞද්ගලික මට්ටමින් පැවති මධු සාදයක දී , අපගේ හිතමිත්‍ර , හමුදා නිලධාරියෙක්, (එකල ඔහු , බ්‍රිගේඩියර්වරයෙකි) , බුදුන් වහන්සේ ද යුද්ධය ප්‍රතික්ෂේප කර නැතැයි කීය. මෙය අසා , ඇවිස්සුණු අපගේ මාක්ස්වාදී මාධ්‍යවේදියෙක් , බ්‍රිගේඩියර් හා පැටළුණේය. [ඒ දෙදෙනාම, බුද්ධ ධර්මය හෝ මාක්ස්වාදය ගැන මනාව දැන නෙසිටීම , වෙනම කාරණාවකි.] කෙසේ හෝ, තත්වය අප්‍රසන්න වීමට කලියෙන් , අපි, සාදය හමාර කොට එතැනින් පැන ගතිමු.

යුද්ධය හෝ ඇතැම් සමාජ – දේශපාලන කැරලි කෝලාහල ඇති කාලවලදී, මාධ්‍යවේදීනට අත මෙන්ම කට ද ‘කන්ට්‍රෝල්’ කර ගැනීමට සිදු වෙයි. මධ්‍යස්ථ භාවය යනු , සත්‍යය වෙත ළඟා විය හැකි නිවැරදි මාර්ගයකි. එහෙත්, එ බවක් නොතැකූ ඇතැම් මාධ්‍යවේදිහු, ආවේගාත්මක හා පක්ෂග්‍රාහි ලෙස , තම වෘත්තීය ගරුත්වය කෙළසා ගන්නා අයුරුද, යුද සමයේදි අපට අත්දැකීමට ලැබුණි.

කාර්යාලය තුළ කෙසේ වෙතත්, අත-කට කන්ට්‍රෝල් නැති පුද්ගලයින්, යුද පුවත් වාර්තාකරණය  සඳහා නම් නොයෙදිය යුතු බව වටහා ගෙන සිටි පුවත්පත් කතුවරු හා මාධ්‍ය ආයතන හිමිකරුවෝ , ඒ සඳහා සුදුස්සන් , තෝරා , පුහුණු කර සිටියහ. ඔව්හු , තම තම ආයතනවල , දේශපාලනික මතයට අනුකූල අන්දමින් පෑන මෙහෙයවීමට වගබලා ගත්හ.

“නිව්ස්කාරයෙකු” නොවූ හෙයින් , මා කතුවරුන්ගේ ඉහත කී තෝරා ගැනීමට හසු නොවුණී. ඒ වෙනුවට  මට පැවරුණේ යුද්ධය හා බැඳුණු වෙනත් රාජකාරිය. රොහාන් ගුණරත්නගේ “Indian Intervention in Sri Lanka” කෘතිය , ‘ඉරිදා ලක්බිම’ සඳහා , කොටස් වශයෙන් පරිවර්තනයද එබඳු කාර්යයකි. (පසුව, එය “අසල්වැසියාගේ සාම සවාරිය” මැයින්, ග්‍රන්ථයක් ලෙසද ප්‍රකාශයට පත් කෙරුණි.( 2001 – සංහිඳමුද්‍රණ)).

යුද බිමට යාමේ , ‘නිල චාරිකා’ නොයෙදුණු බැවින් මට එය කළ හැකි වූයේ , පෞද්ගලික සම්බන්ධතා මාර්ගයෙනි.

අපගේ “සැඳා – බීම මේසයට” එක් වන සුන්දර මිත්‍රයෙකු වන “බාලා” , දෙමළ පුවත්පතක සේවය කළ උප කතුවරයෙකි. ඔහුගේ උපන් ගම යාපනය දිස්ත්‍රික්කයෙහිය. (මට දැන් එම නම මතකයට නො නැඟේ)

බාලා , ඉදහිට ගමේ ගියේ, ඔහුගේ මාධ්‍යවේදි හැඳුනුම් පතේ ද, පිහිට ලබමිනි. එබඳු අවස්ථාවක මා ද රැගෙන යන්නැයි මම ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. “අපෝ බෑ , අපේ ගම තියෙන්නේ කොටි කටේ , ඔයාව එක්ක ගියොත්, අපි ආයේ කොළඹ ඇවිල්ලා ඉවරයි.” 

බාලා හිස දෙපසට සැළුවේ, වියළි සිනාවක් ද මවා ගනිමිනි. යාල්පානම් කාරයෙකු වූ නිසා , බාලා ද නිතර සැකයට බඳුන් විය. පසු කලෙක ඔහු ඉන්දියාවට ගිය බවත්, චෙන්නායි හි පුවත් පතක සේවය කළ බවත් දැන ගන්නට ලැබුණි.

බාලා හා අප අතර වූ සමාගමය නෙරිස්සු, ඇතැම් , පත්තර මිතුරන් , ඔහු දුටුවේ වෙස්වළාගත්  කොටි ඔත්තුකරුවෙකු ලෙසිනි එහෙත් , අද ද , එය එසේ නොවේ යැයි සිතන්නට මම කැමැත්තෙමි.  බාලා තුළ මා දුටුවේ මිතුරෙකු මිස , කොටියෙකු ලෙස නොවේ. අනෙක් අතට , යාපනේ දමිළයෙකු වන ඔහුට, “කොටියෙකු” වීමට ඇති සාධාරණ අයිතිය පිළිබඳව , තුලනාත්මකව බැලීමට මගේ දේශපාලන අවබෝධය, මා පොළඹවයි.

මා , “ජනහඬ” නැමැති සති අන්ත පුවත්පතේ සේවය කළ කාලයේ , එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වු, එංගලන්තයේ පදිංචි ව සිටි ශ්‍රී ලාංකික, සිංහල , බැරිස්ටර්වරයෙක් , විශේෂ කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව ආරංචි වුණි. ඔහුට විජය කුමාරතුංග හමුවීමට අවශ්‍යව තිබු අතර , එහි සම්බන්ධීකරණය බාර වූයේ මට ය. ධර්මසේන පතිරාජගේ “පාර දිගේ” චිත්‍රපටයෙහි සහාය අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කරද්දී , එහි ප්‍රධාන චරිතය රඟපෑ විජය කුමාරතුංගයන් දැන හඳුනා ගැනීමටත් , කෙටි කලක් ළඟින් ඇසුරු කිරීමටත් මට අවස්ථාව සැළසී තිබුණි.

 එක් උදෑසනක – පෙරවරු  7 ට පමණ , අපි විජය කුමාරතුංගගේ නිවසට ගොස් ඔහු හමුවුණෙමු. විජය හා චන්ද්‍රිකා ඇතුළු කණ්ඩායමක් , එකල ඉන්දියාවට පළා ගොස් සිටි උමා මහේෂ්වරන් ඇතුළු, දමිළ සන්නද්ධ කණ්ඩායම් නායකයින් කීප දෙනෙකු හමුවීමට යන්නේ, එදා එම හමුවේ ප්‍රතිඵලයක් ලෙසිනි.

එම ගමනට , “ජනහඬ” පුවත්පතේ නියොජිතයෙකු ලෙස සහභාගිවන මෙන් , අවසාන මොහොතේ දි , මට ද ආරාධනයක් ලැබුණි. එහෙත්, ගමන් බලපත්‍රයක් පවා මා සතුව නොතිබු ඒ දිනවල , මට ඒ සඳහා සුදානම්වීමට කාලයක් නොලැබුණි. අනෙක් අතට , කාර්යාලයීය හා වෙනත් සමීප මිතුරන්ගේද උපදෙස වූයේ , එකල රටේ පැවති දේශපාලන තත්වය මත , එය පසුව,  අයහපත් ප්‍රතිඵල ගෙන දෙන අවදානම් ගමනක් විය හැකි බවය.

එදා, ඒ ගමන ගියා නම් , දමිළ සන්නද්ධ කණ්ඩායම් නායකයින් හමුවන, ප්‍රථම සිංහල පත්‍ර කලාවේදියා වීමේ අවස්ථාව මට හිමිවන බව සිහිවන විට, කිසියම් පසුතැවිල්ලක් ද සිත උපදී . එසේම , විජය කුමාරතුංග හා උමා මහේෂ්වරන් ඇතුළු දමිළ නායකයින් අතර සම්බන්ධීකරණයට , අතරමැදියෙකු වීමට හැකි වීම ගැන , පත්‍ර කලාවේදියෙකු වශයෙන් මා තුළ කිසියම් සතුටක් ද ජනිත කරවයි.

යුද බිමට යාමේ මාවත් (උපක්‍රම) සොයමින් සිටි මට , ඒ සඳහා පිහිට වූයේ, වාර්තා චිත්‍රපටකරණය සහ තිර නාටකය සඳහා මා සතුව තිබු පරිචයයි. “ජනහඬ” පුවත්පතේ සිටියදි,  “Recourse Center” නැමැති , රාජ්‍ය නොවන සංවිධානයක් සඳහා , මා ලියු “කඳුකරයෙන් කතාවක්” (Tale from the Hills) තිර නාටකයට විෂය වූයේ, ශ්‍රී ලාංකීය වතු කම්කරුවන්ගේ ඉතිහාසය හා පසුකාලීන ජීවිතයයි. එය අධ්‍යක්ෂණය කළේ , ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු විසිනි.

මා ‘සැලසිනේ’ ආයතනයේ සිටියදි කිසියම් පරිවර්තන කටයුත්තක් සඳහා පැමිණි, මුස්ලිම් ජාතිකයෙකුගෙන් ලිපිනය විමසු විට, ඔහු පැවසුවේ , අංකයක් සහ කල්පිටිය අනාථ කඳවුරේ නමය. එම සිද්ධිය මුල් කර ගනිමින්  මා ලියු “ලිපිනයක් නැති මිනිහෙක්” නමැති තිර රචනය , පසුව, ක්‍රස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු  විසින්, රජයේ චිත්‍රපටි අංශය සඳහා “මිනිස් කඳවුර” නමින් නිපදවන ලදි. එදා මට ඒ සඳහා නිමිත්ත වූ ඒ.ඒ.මන්සූර් පසුව , ප්‍රසන්න විතානගේ ගේ “ඉර මැදියම” චිත්‍රපටයේ හා අශෝක හඳගමගේ අධ්‍යක්ෂණය කළ “මේ පාරෙන් එන්න” ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත දෙකක් , රඟපෑවේය. [අතුරු කතාවක් ලෙස පෙනී යා හැකි වුවද , මා මේ සටහන තැබුවේ , යුද කාලීන සිනමා කලා නිර්මාණ පිළිබඳව පර්යේෂණ කරන්නෙකුට , ඉන් කිසියම් සේවයක් විය හැකිය යන හැඟීමෙනි. ]

වාර්තා චිත්‍රපට නිර්මාණය , මට , යුද ප්‍රදේශයකට  යාමට උපකාරීවීමද, චිත්‍රපට කතා තේමාවක් බඳුය.

ස්ථිර නවාතැනක් නැතිව , මා තාවකාලිකව , වැල්ලවත්තේ හෝටලයක නතර වී සිටියදි, ක්වේට් යුද්ධයෙන් රැකියාව අහිමි වී , මැදපෙරදිග සිට ආ දමිළ තරුණයෙකු මුණ ගැසුණි. ඔහුට තම මව බැලීමට ගමට යාමට දැඩි ආශාවක් තිබුණද, ඇය විසුවේ යුද කලාපයේම ගම්මානයක වූ බැවින් , එකල තිබූ ආරක්ෂක නීති ඊට හරස් වුණි.

මා ඔහු ඇමතුවේ “තිරූ” නමැති කෙටි නමිනි. යුද්ධය නිසා ඔහුට ගමට යාමටත් නොහැකිය. ආපසු කුවේට් යාමටත් නොහැකිය. තිරු තම කළකිරීම හා වේදනාව දුරු කර ගත්තේ, මත්පැනිනි.

තිරුට පිහිට විම සඳහා සැළැස්මක් සුදානම් කර ගත් මම, ව්‍යාජ වාර්තා චිත්‍රපටයකට (පිටපතක් පවා සැකසීමි) අවශ්‍ය පර්යේෂණයක් සඳහා , යුද කලාපයෙන් පිට-මුලතිව් ආසන්න-ප්‍රදේශයකට යාමට අවසර ලබා ගත්තෙමි. තිරූගේ මව, ඔවුන්ගේ ඥාතියෙකු සමඟ අප යන ස්ථානයෙහි පිහිටි, ඔවුනගේ හිතවතෙකුගේ නිවසට පැමිණෙයි.

අවශ්‍ය ලියකියවිලි, මාධ්‍ය හැඳුනුම්පත් යනාදි සියල්ල තිබුණ ද, විදේශ ගමන් බලපතක් පමණක් තිබු , ‘තිරූ’ සමඟ එම ගමන යාම ඉතා අවදානම් විය. කෙසේ වෙතත් , මාර්ග බාධක ප්‍රශ්න කිරීම් වලට සාර්ථකව මුහුණ දෙමින් [සිංහල හොඳින් නොදත් නමුදු, තිරූ අපගේ භාෂා පරිවර්තකයා ලෙස හඳුන්වා දුනිමු] , ඉලක්කය වෙත ළඟාවීමට අපට හැකි වුණි.

තිරූ සහ මව මුණ ගැසීම , ඉතා හැඟුම්බර අවස්ථාවක් විය. (ඇත්තෙන්ම , යුද්ධය කොතරම් අමානුෂිකද?)

අප එහි ගත කළ දෙදින තුළ, එල්.ටී.ටී.ඊ. හිතවතුන් (සන්නද්ධ පුද්ගලයින් ද ඇතුළුව) හමුවීම, මා ලද දුබල අත්දැකීමක් විය.

එහෙත් , අපට බාධකය වූයේ භාෂාවයි. ඉංග්‍රීසි හා සිංහල යම් පමණකින් දත්, දෙතුන් දෙනෙක් (සරසවි ශිෂ්‍යයෙකු ද ඇතුළුව)  සමඟ හැකි පමණින් , අදහස් හුවමාරු කර ගත්තෙමු. ඊළාම් රාජ්‍යයක් පිහිටුවීම පිළිබඳ දැඩි විශ්වාසයක් ඔවුන් තුළ විය. තම ගැටුම ඇත්තේ සිංහලයන් සමඟ නොව, සිංහල ආණ්ඩුව සමඟ බවද , එක් අයෙක් කීය.

එල්.ටී.ටී.ඊ. ප්‍රාදේශීය නායකයන් කීප දෙනෙකු හමුවිය හැකි බවත්, ඔවුන්ගේ මාර්ගයෙන් , තමිල් සෙල්වම් (එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශ නායක) මුණ ගැසීමට පවා අවස්ථාවක් යොදා ගත හැකි බවත් පැවසුණද ඊට කාල වේලාව මෙන්ම අවසරය නැති බව මම ස්තූති පූර්වකව පැවසුවෙමි.

ආපසු කොළඹ පැමිණි පසු , මා ලියා දුන් දීර්ඝ ලිපිය පුවත්පතේ පළ කිරීමට කතුවරයා මැළි වූයේ , එය අවසරලත් රාජකාරි කටයුත්තක් නොවන හෙයින් , අනවශ්‍ය ප්‍රශ්න මතුවිය හැකි යැයි පවසමිනි. “මෙය ඔබේ ගමන් කතා පොතකට එක් කරන්නැයි” ඔහු මට “කාරුණික” උපදෙසක් ද දුන්නේය.

මද කලකට පසු ආපසු මැදපෙරදිග ගිය තිරූ, දෙමළ හා කැඩුණු සිංහලෙන් දුරකථන ඇමතුම් කිපයක් දුන්නද, කෙමෙන් ඒ මිත්‍රත්වය දුරස්ව ගියේය. එහෙත් මා තුළ , ඒ පිළිබඳ පසුතැවීමක් හෝ අමනාපයක් නැත.

නොබෙල් සාහිත්‍ය ත්‍යාග ලාභියෙකු වන, අමෙරිකානු ජාතික අර්නස්ට් හෙමිංවේ ද, කලක් යුද බිමේ ගිලන් රථ රියැදුරෙකු මෙන්ම, යුද වාර්තාකරුවෙකු ලෙසද සේවය කළ කෙනෙකි. ඔහු යුද්ධය පිළිබඳව ලියු සටහනකින් මෙම ලිපිය නිිමා කරමි. [එසේම, හෙමිංවේ යනු ප්‍රතිභාපූර්ණ ලේඛකයෙකුට යුද්ධය ගැන වුවද රසවත්ව ලිවිය හැකි බවත් මෙහි දී සනාථ වේ.] 

“කොපමණ අවශ්‍ය වුවත් , කොතෙක් සාධාරණීකරණය කළ හැකි වුවත් , යුද්ධය අපරාධයක් නොවේ යැයි නො සිතන්න.”

“Never think war, no matter how necessary, nor how justified, is not a crime.” 

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts