සාමය

මොරටු වැල්ලෙන් මතුවු ධර්ම රාජ්‍ය

මෙලනි මානෙල් පෙරේරා

ලොව ජීවත්වන සෑම මනුෂ්‍යයා ම පාහේ කුමන හෝ ආගමක් සිය දිවි මග යහපත් 

කරගැනීම සඳහා උපයෝගි කරගනිති. ආගමක් අවශ්‍ය නැතැයි පවසන  ප්‍රෘතග්ජනයින් ද 

නැත්තේ නොවෙයි. එහෙත්, කුමන හෝ ආගම-දහමක මගපෙන්වීම, නිවරැදිව තම ජීවිත 

හා ගලපා ගන්නේ නම්, සුඛිත මුදිත දිවියක් , යහ පැවැත්මක් තුළ මිනිසුන් බඳවා 

තබන්නේ යැයි ඇතැමෙක් අත්දැකීමෙන් ම පෙන්වා දෙති. එකී යහ පැවැත්ම විවිධ වූ 

ජාතීන් , ආගමීකයින් සහ වෙනස් අදහස් දරන සියලු දෙනා අතර මනුෂ්‍යත්ව ද ආරක්‍ෂා 

කෙරෙන බව ඔව්හු පෙන්වා දෙති.

මොරටුව වෙරළ පාරේ, ප්‍රැන්සිස්කු පටුමගෙහි වෙසෙන පී. චන්ද්‍රා ප්‍රනාන්දු ද “

මනුෂ්‍යත්වය” සුරකින්නට දිවි හිමියෙන් කැපවී ක්‍රියාකරන එවැනි ප්‍රෘතග්ජන මිනිසෙකි. 

ඔහු වෘත්තියෙන් පාරම්පරික මාදැල් පන්න ධීවරයෙකි. ඔහු යටතේ තවත් ධීවරයින් කිහිප 

දෙනෙකු ම සිය ජිවිත ගමනේ සවිය සපයා ගනිති.

වයසින් 61 වියැති චන්ද්‍රා, වැඩිහිටි දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ඔහු උපතින් 

කතෝලිකයෙකු වන අතර ඔහුගේ බිරිඳ සහ දරුවන් කතෝලික නොවන, ක්‍රිස්තියානි 

සභාවට අයත් බැතිමතුන්ය. ඔහුගේ නිවෙස වටා සිටින ඇතැමෙක් බොදුණු බැතිමතුන්ය. 

කිතුණු සහ බොදුණු බැතිමතුන් සම සමව වෙසෙන මොරටුව පුරවරයේ මුස්ලිම් සහ 

දෙමළ ජාතිකයින් ද ස්වල්ප වශයෙන් ජීවත් වෙති. බේදයකින් තොරව, ඒ සෑම 

දෙනාගේම ඕනෑ එපාකම් වලදී ඕනෑම වෙලාවක පිහිටට සිටින හිතවතා චන්ද්‍රා ප්‍රනාන්දු 

ය. 

වෘත්තීන් වශයෙන් ගත්කළ, මොරටු වැසියන් අභිමානවත් ලෙසට උදම් අනනා දැව 

කර්මාන්තයේ , ගැහැණු පිරිමි භේදයකින් තොරව මහා පරිමානයෙන් යෙදී සිටිති. ඒ හා 

සමානව ම ඇතැමෙක් ධීවර කර්මාන්තයේ ද නිරතව සිටිති. 

“සාමාන්‍යයෙන් ධීවරයා කියන්නේ මහා සරළ මනුස්සයෙක්, දියඹත් එක්ක නිරන්තරයෙන් 

පොරබඳින ඔහු තුළ දෙවියන් කෙරෙහි තියෙන විශ්වාසය ඉතා ඉහළයි. ධීවරයා හරි 

භක්තිමත්. ඒකෙනුත් මම, මගේ ජීවිතය භක්තිමත් කමකට වඩා ආගමෙන් උගන්වන 

සත්‍ය තුළ ජීවත් වෙන්න, ඒ ජීවිතය සමාජයට යම්කිසි මෙහෙවරක් ඉටුකරන්නට 

යොදාගන්නා ධීවරයෙක්.” යැයි චන්ද්‍රා ප්‍රනාන්දු පැවසීය. 

කුමන ආගමකින් හෝ උගන්වන සත්‍ය ධර්මය තමන් තුළ නැත්නම් ඒ ආගම ඇදැහීමෙන් 

පලක් නැති බවත් ඒ නිසා ම තමන් නාමික වශයෙන් “ආගම් ආරක්‍ෂා කරන්නෙක්”

නොව, ඒ ආගම් තුළ තිබෙන “ධර්මය” ආරක්‍ෂා කරන්නට ත් ඒ තුළින් සමාජයේ 

ජීවත්වන විවිධ වාර්ගික ජන කොටස්, විවිධ ලබ්ධිකයින් හා අදහස් දරන්නන් අතර 

එකමුතුකම, පිළිගැනීම ගොඩනගන්නට ත්, සිය ජීවිතය මෙහෙයවන කිතුණු බැතිමතෙක් 

ලෙසට මොරටු පුරවරය තුළ තමන්ගේ නාමය සටහන්වී ඇති බව කළු කෙසඟ සිරුරක් 

හිමි චන්ද්‍රා ප්‍රනාන්දු කීවේය. 

“ජාතිය, ආගම, පක්‍ෂය ඔය කියන කොයිදේ ගැනත් මිනිස්සු කතාකළාට, අපි හැම 

දෙනාම අයිති වෙන්නෙ එක ම එක කුලකයකට විතරයි. ඒ තමයි මිනිස් කුලකය. ඒ ගැන 

හරි අවබෝධයක් තියෙනවා නම් , කදාවත් එකිනෙකා ඇනකොටා ගන්නේ නැහැ. ජීවිත 

විනාශකර ගන්නේ නැහැ. එකිනෙකාට උදව් කරගනිමින් සහජීවනයෙන් තමයි අපි ජීවත් 

වෙන්න ඕනේ.” යන උතුම් අදහස චන්ද්‍රා ගේ ජීවිතයේ විසි හතර පැයේ මෙනෙහි කරන 

, ක්‍රියාවේ යොදවන ආකල්පය බවට පත්වී ඇත.

එපමණක් නොව, “කියමනක් තියෙනවා, තමන්ගේ දුක වේදනාව සඟවාගෙන අන් අය 

පිනවීමට වෙහෙසෙන තැනැත්තා උතුම් වූ මිනිසෙකි කියලා. ඒ කියමනට මම බොහෝම 

ආදරය කරනවා, ඒ නිසා මට ඕනේ, මම උතුම් මිනිසෙක් වෙනවාට වඩා මගෙන් පසුව 

එන සමාජයට උතුම් මිනිසුන් බිහිකර දෙන්න.” යැයි ද ඔහු කීවේය.

“උතුම් මිනිස්සු, උතුම් නායකයෝ මේ රටේ ජීවත්වුණා, නැතුව නෙවේ” යැයි කී ඔහු, 

තවදුරටත් කියා සිටියේ, “වර්තමානයේදි දේශපාලනඥයෝ තමයි, තමන්ගේ පැවැත්ම 

සඳහා තමන්ගේ වාසියට විවිධ හේතු ඉදිරිපත් කරල මිනිස්සුන්ව භේද බින්න කරලා , 

වර්ග කරලා තියෙන්නෙ.” කියා ය. 

නමුත්, ඔහු කියන්නේ “මගේ දර්ශනයට අනුව, ඔය කියන වර්ග කිරීම් , වෙන්කිරිම් කිසිම 

දෙයක් නැහැ, මොකද අපි ඔක්කොම මිනිස්සු නිසා. පන්සලේ වැඩවලට අපේ කතෝලික 

අය උදව් කරනවා. පල්ලියේ වැඩවලට පන්සලේ අයව එක්කගෙන උදව් 

කරනවා. දවසේ පැය විසිහතරෙන් පැය තුන හතරයි මම නිදාගන්නෙත්. සම්පුර්ණ 

කාලය අපේ මිනිස්සු වෙනුවෙන්. සමාජය වෙනුවෙන් තමයි වැය කරන්නේ.”

චන්ද්‍රයිය්යා, චන්ද්‍රා මහත්තයා සහ චන්ද්‍රමාමා කියු විට මොරටුවේ ඔහු ගැන නොදන්න 

කෙනෙක් නැත්තේය. මන්දයත්, ඔහු ධීවරයෙකු සේ ම වරෙක ඉතා දක්‍ෂ නළුවෙකු ද 

වෙයි. පල්ලියේ පාස්කු නාට්‍යයේ ඔහු කැපී පෙනෙන ජේසු නසරේනුගේ චරිතයට 

පනපොවයි. එමෙන් ම, ඔහු සිය ගමෙත් නගරයෙත් , අවට ගම්වලත් පල්ලියේ ත් 

පන්සලේ ත් කෝවිලේ ත් වෙළෙඳසැලෙත් මුහුදු තීරයෙත් යන සෑම ස්ථානයක ම ගමන් 

කරන්නේ සිය දෙපයිනි. 

ඔහුගේ ම වචනයෙන් “වාහනයක් තබා පුෂ් බයිසිකලයක්වත් නැති මම පයින් ඇවිදගෙන 

යාම තමා ප්‍රිය කරන්නෙ. එතකොට තමයි මට මිනිස්සුන්ව මුණගැහෙන්නෙ, තොරතුරු 

විමසලා ඕනැ එපාකම් දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ අයට මගෙන් අවශ්‍යකරන උදව්ව 

මඟපෙන්වීම කරන්න පුළුවන් වෙන්නේ.” යැයි සතුටින් කීහ. 

ධීවර කර්මාන්තයෙන් තොරව වෙනත් ආදයම් මාර්ගයක් නොමැති ඔහු ඉන් ලබන 

සොච්චම් ආදායමට වඩා මිනිසුන් අතර සමඟිය වර්ධනය කරන්නත් , පල්ලිය, පන්සල, 

කෝවිල මෙන් ම දේවාලයෙත් දෙවියන් වදිනා ම්නිසුන් ඒකරාශි කිරීම සඳහා 

මෙතුවක්කල් දරා ඇති උත්සාහය තුළ උපයාගෙන සිටින මිනිසුන් ප්‍රමාණය ඉතාම 

ප්‍රශංසනීය ය. එය ඔහුගේ ජීවන වෘත්තියෙන් ලබන ආදායමට වඩා බලවත් ය. 

“මොරටුව , මොරටුවැල්ල කල්‍යනි  බෝධි විහාරයේ බොහෝ සංවර්ධන කටයුතු වලට 

වගේම ආගමීක කටයුතු වලට දායකවෙලා තිබෙනවා. මේ ප්‍රදේශය විවිධ ආගමීක 

ලබ්ධිකයින් ජීවත්වන ප්‍රදේශයක් නමුත් චන්ද්‍රා මහත්මයා තමන්ගේ ආගමීක මතයන් 

පමණක් නෙවෙයි ඒ අනෙකුත් ආගමීක විශ්වාසයන් සඳහා බොහා්ම කැපවීමෙන් 

උනන්දුවෙන් දායක වෙනවා. ඒවගේම අපේ දායක සභාවේ සාමාජික සාමාජිකාවන් 

එක්කත් ඉතාම සුහදව ඒ අයටත් මගපෙන්වාගෙන පන්සලේ සියලු කටයුතු උපරිම ව 3

දායක වෙනවා. අපි චන්ද්‍රා මහත්මයා ගැන බොහෝම සතුටු වෙනවා.”යැයි මොරටුවැල්ල 

 කල්‍යනි බෝධී විහාරයේ උප නායක පූජ්‍ය වරාපිටියේ පේමානන්ද හිමි චන්ද්‍රා ප්‍රනාන්දු 

ගැන එවැනි රෙකමදෝරුවක් කළහ.

එමෙන් ම, සිය පන්සලේ සෑම කටයුත්තකදීම දායකසභාවට ලබාදෙන අනුපමේය 

ගුරුහරුකම් සහ සේවය පිළිබඳව සුදර්ශනි ප්‍රනාන්දු , නෙලුම් කාංචනා , ප්‍රියදර්ශනී 

පෙරේරා සහ ලාල් ද සිල්වා යන දායක මහත්ම මහත්මීන්  ඇගැයිමට ලක්කලේ මහත් බැතියෙනි.

තමන් තනිව ම සහ ඇතැම් අවස්ථාවලදී ගමේ ඉන්න දානපතියන් ද ඒකරාශි කරගෙන 

ගමේ තිබෙන විහාරස්ථාන දෙකේ ම පවත්වන සෑම පිංකමකට ම සහ වෙනත් උත්සව 

අවස්ථාවලදි ත් උදව් කරන බවත් එමෙන් ම දහම් ශාලා , බුදු මැඳුරු ඉඳිකර දී සංවර්ධන 

කටයුතු වලටත් උදව් උපකාර කරනවා. සල්පිල් පවත්වලා ආධාර ලබාදෙනවා. 

තමාගේ ම ග්‍රාමයේ මෙන් ම අවට ගම්වල ද ජනතාවට මහඟු සේවාවක් ලබාදෙන චන්ද්‍රා 

ප්‍රනාන්දු මේ සියල්ලම අභිභවා සමස්ත ලංකාවේ ධීවර ප්‍රජාවගේ නායකයා ලෙසට ද 

එනම්, ජාතික ධීවර මහා සම්මේලනයේ ජාතික සංවිධායක සහ කොළඹ දිස්ත්‍රික්කයේ 

සභාපති ලෙසටත් වර්තමානයේදි කටයුතු කරනු ලබයි.

“මගේ නිලතල, බලතල මත මට ලැබෙන සියලුම වරප්‍රසාදයක් , ප්‍රතිපාදනයක් ඇත්තේ 

නම් ඒ සියල්ල කිසිඳු භේදයකින් , විශේෂත්වයකින් තොරව අවශ්‍ය පුද්ගලයින් අතර 

මෙතුවක් බෙදාදී තිබෙනවා , ඉදිරියටත් එසේම සිදුකරනවා. එය මා හට අති විශාල 

ආත්ම තෘප්තියක් ලඟාකර දෙන්නක්.” යැයි චන්ද්‍රා ප්‍රනාන්දු ඉතා සතුටින් ප්‍රකාශ කළේය.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts