සමාජ

මෙලොව අනියත බව පසක් කළ මුසල්මානු වෙස්සන්තර

උපේක්ෂා උඩුවැරැල්ල

ජාති,ආගම්,කුල බේද මතු කරමින් ගහ මරා ගන්නා උදවිය රෝහලේ ඇඳකට වැටුණු පසු අසරණ තත්ත්වයට පත්වන අයුරු රාෆික් හාජියාර් හොඳින් දුටුවේය.එකම දරුවා අහිමි වීමෙන් ඔහු ජීවිතයේ අනියතද තරුණ සමයේදීම අත් වින්දේය.මේ නිසා තමන් උපයන දේ අන් අයගේ යහපත පිණිස යෙදවීමට ඔහු නිරන්තරව කටයුතු කළේය.

මෙලොවින් සමුගන්නා මොහොත වන විට රාෆික් හාජ්ජියාර් පිළිබඳ මෙරට පමණක් නොව ලොවම දැන සිටියේ ය. ඒ මහනුවර රෝහල් භූමිය ආසන්නයේ  අක්කරයකුත් පර්චස් හතළිස් තුනක් වන ඉඩම මහනුවර රෝහලට පරිත්‍යාග කිරීමේ උතුම් මිනිසත්කම ඔහු ලොවට පෙන්වා තිබූ නිසා ය. රුපියල් කෝටිය ඉක්ම වූ වටිනාකමක් සහිත මෙම භූමිය ඔහු පරිත්‍යාග කළේ රෝහලේ  ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුවසෙත පිණිස ය. මෙයට පෙර රාෆික් හාජියාර් සතුව තිබූ අදාළ ඉඩමට මිලක් තිබිණි. එහෙත් එය රෝහලට පරිත්‍යාග කරමින් රාෆික් හාජියාර් කළ ක්‍රියාවට මිලක් කිසිවෙකුටත් නියම කළ නොහැකි විය.

මහනුවර රෝහල ජාතික රෝහලක් ලෙස නම් කළ අවස්ථාවේ අදාළ ඔප්පුව සෞඛ්‍ය ඇමැතිවරයා වෙත රාෆික් හාජියාර්ගේ ඥාති සහෝදරයෙකු බාර දුන් අයුරු.

බුදුරජාණන් වහන්සේ සමස්ත ලෝවැසියන්ට අත්හැරීමේ ගුණය ප්‍රගුණ කරගන්නා අයුරු දේශනා කොට අවබෝධ කර දිමට වෙර දැරූ හ. අල්ලා දෙවියන්  සමස්ත මුස්ලිම් ප්‍රජාවට දේශනා කොට  සිටියේ සියල්ලන්ටම ප්‍රේම කිරිමට ය. ජාති ආගම් භේදයක් නොතකා මේ ද්විත්ව ධර්ම පාඨ අවබෝධ කොට ගෙන එය ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවූ මෑතකාලින අපේ මිනිසා වූයේ, මොහොමඩ්  රාෆික් ය. ඔහු සියල්ල දන් දුන්නේ ය. සියල්ලන්ටම ආදරය කළේ ය. සොබා දහමට අවනතව ඔහු සියල්ල හැරදා ඉකුත් නොවැම්බර් පළමුවැනිදා මෙලොවින් නික්ම ගියේ සිංහල දෙමළ මුස්ලිම් සැමගේ ආදරය දිනූ උතුම් මිනිසෙකු ලෙසිනි.

රෝග අප කරා පැමිණෙන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව ය. ඒවායින් පීඩා විඳින්නෝ සෑම ජාතියකම සිටිති. ආගම කරපින්නා ගෙන තවත් ආගමකට ජාතියකට එරෙහිව අවි අමෝරා ගන්නෝ ද දිනක රෝගී වෙති. රාෆික් හාජියාර් කළ ක්‍රියාව උතුම් වන්නේ මේ නියත දහම නොදන්නන් බොහෝ දෙනෙකු ම අප අතරම ජීවත් වන බැවිනි.

රාෆික් හාජියාර්

මහනුවර මහ රෝහල මේ රට මධ්‍යයේ පිහිටා තිබෙන නිසා මධ්‍යම, ඌව, උතුර, නැගෙනහිර, වයඹ, උතුරු මැද, සබරගමුව, ආදි පළාත්වලින් රෝගීන් විශාල පිරිසක් ප්‍රතිකාර සඳහා පැමිණෙති. වසරකට ලක්ෂ හතරක පමණ පිරිසක් රෝහලින් නේවාසිකව ප්‍රතිකාර ගන්නා අතර තවත් විශාල පිරිසක් බාහිර රෝගී අංශයෙන් ද ප්‍රතිකාර ලබා ගනිති. ජනගහණය වැඩිවීමත් සමඟ රෝහලට පැමිණෙන රෝගි සංඛ්‍යාව ඉහළ යෑමත් සමඟ රෝහලෙහි පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවිණි. රෝහල සතුව අක්කර 58 කුත් පර්චස් 04 ක ඉඩම් ප්‍රමාණයක් තිබෙන අතර මින් අක්කර 25 ක රෝහල් ගොඩනැගිලි ඉදිකොට තිබෙයි.

‘රෝහල ජාතික රෝහලක් බවට පත් කිරීමේදී සේවා පුළුල් කිරීම පිණිස අපට තවත් ඉඩම් ප්‍රමාණයක් අවශ්‍ය වුණා. රෝහලේ රථගාල පිහිටි ස්ථානය රාෆික් හාජියාර්ගේ සීයා වන මීරා සයිබු මහතා නමට තිබූ එකක්. රෝහල සතු ඇතැම් ඉඩම් කොටස් යම් යම් පිරිස් දේශපාලන සබඳතා මත අත්පත් කරගෙන බුක්ති විඳීම නිසා ඒවා යළි රෝහල වෙත ලබා ගැනීමට අප නීති මගින් කටයුතු කරන අවස්ථාවක තමයි රාෆික් හාජියාර් මහතා එතුමාගේ සීයාගේ නමට තිබී ඔහුට හිමිවූ අක්කරයකුත් පර්චස් 43 ක ඉඩම ඔප්පුවකින් රෝහලට ලියා දීමට කටයුතු කළේ‘ යි මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

මොහොමඩ් රාෆික් උපන්දා  සිට මහනුවර ජීවත් වූවෙකි. ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඔහුගේ පියා නමින් ෂේක් ඩාවුඩ් ය. මීරා සයිබු යනු ඔහුගේ පියා ය. පෙර කී රෝහල් පරිශ්‍රයේ ඉඩමේ මුල් අයිතිකරු මීරා සයිබු ය. ඉඩමට හිමි මුල් ඔප්පුව එම පරම්පරාවෙන් හිමිව තිබුණේ  මොහොමඩ් රාෆික්ට ය. හසන් ෆාතිමා සහ ෂේක් ඩාවුඩ් යුවළගේ පුත්‍රයා වන මොහොමඩ් රාෆික්ට සහෝදර සහෝදරියන් හය දෙනකි. රාෆික් මහනුවර ත්‍රිත්ව විදුහලෙන් අධ්‍යාපනය ලබා පරම්පරා උරුමයෙන් ලද ව්‍යාපාරික කටයුතු සදහා කැපවී සිටියේ ය. ඔහුගේ බිරිය ෆසීනා ය.ඔවුන් දෙපළගේ එකම පුතු වයස අවුරුදු විස්සක් වන විට මෙලොව හැර ගියේ කුඩා කල සිට පීඩා විඳි රෝග තත්ත්වයක් හේතුවෙනි. රාෆීක් අවුරුදු අටක පමණ සිට  වකුගඩු රෝගයෙන් පෙළුණේ ය. මහනුවර රෝහලේ වකුගඩු ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබා ගත් ඔහු රුධිර කාන්දුකරණ ප්‍රතිකාරය ලබා ගැනීම පිණිස පසුගිය කාලය පුරා රෝහලට නිතර පැමිණියේ ය.

වකුගඩු අකර්මණ්‍ය වී ප්‍රතිකාර ලබන ඇතැම් රෝගීන්ට බද්ධ කිරීම පිණිස වකුගඩු ලබා දෙන්නේ භික්ෂූන් වහන්සේලා ය. මරක රිය අනතුරකින් මොළයට හානි වී යන්ත්‍රානුසාරයෙන් ජීවත් වන පුද්ගලයින්ගේ වකුගඩු වෙනත් අයට බද්ධ කරන අවස්ථා ද මෙහි තිබේ.ඒ කිසිදු අවස්ථාවකදී ජාතිය හෝ ආගම ඉස්මතු වන්නේ නැත. රෝහලකදී සැවොම සැලකෙන්නේ එක හා සමාන ලෙස ය. රාෆීක්  මෙම සත්‍යය අවබෝධ කරගනිමින් එය ප්‍රායෝගිකව ක්‍රියාවේ යොදවා අන්‍යයන් වෙනුවෙන් සිය පරම්පරා බූදලය දන් දුන්නේ ය. එහි පසුකාලීන සේවාව අතිමහත් ය. අනවසර ඉදිකිරිම් සහිත රෝහල් භූමියේ ඉදිරිපස මාර්ගයේ  අක්කර තිස්තුනක කොටසින් පළමු කොටස වන අක්කර  එකකුත් පර්චස් හතළිස් තුනක කොටස රාෆික් පරිත්‍යාග කළ ඉඩම් කොටසයි.

මහනුවර රෝහල් භූමිය ආසන්නයේ අක්කරයකුත් පර්චස් හතළිස් තුනක් වන ඉඩම් කොටස

ජාති,ආගම්,කුල බේද මතු කරමින් ගහ මරා ගන්නා උදවිය රෝහලේ ඇඳකට වැටුණු පසු අසරණ තත්ත්වයට පත්වන අයුරු රාෆික් හාජියාර් හොඳින් දුටුවේ ය. එකම දරුවා අහිමි වීමෙන් ඔහු ජීවිතයේ අනියතද තරුණ සමයේදීම අත් වින්දේ ය. මේ නිසා තමන් උපයන දේ අන් අයගේ යහපත පිණිස යෙදවීමට ඔහු නිරන්තරව කටයුතු කළේ ය. වකුගඩු රෝගීන් සඳහා නවාතැන් පහසුකම් ලබාදීම පිණිස ඉදිකළ නේවාසිකාගාරය රුපියල් ලක්ෂ ගණනක් වැයකර තීන්ත ආලේප කිරීමට ද ඔහු පසුගියදා පියවර ගෙන තිබිණි. මහනුවර ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස නම් කළ උත්සවයේදී තමන් සතු රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම රෝහලට පරිත්‍යාග කරමින් ජාති, ආගම් බේදයෙන් තොරව සැමගේ ආදරයට පාත්‍ර වූ රාෆික් හාජියාර් ඉන් දින දෙකකට පසු මෙලොව හැර ගියේ ජීවිතයේ අනියත යළිත් අප සැමට පසක් කරමිනි.

මොහොමඩ් රාෆීක් තමන් සතු දෑ කෙලෙස දන් දුන්නේ දැයි ඔහුගේ සහෝදරයන් පවා දන්නේ නැත. ඔහු ගේ වැඩිමහල් සහෝදරයා වන හාෆීස්  පැවසූයේ, තම බාල සහෝදරයා සිදු කළ බොහෝ සේවාවන් ගැන පවුලේ කිසිවකුත් නොදන්නා බව ය.

“ එයා මිනිසුන්ගේ වේදනාව ගැන වුවමනාවට වඩා කල්පනා කරනවා. සමහර වෙලාව ට තමන්ගේ අතේ තියෙන දේත් දීලා ඇවිත් තිබෙනවා. වසර ගණනාවක් මහනුවර රෝහල එක්ක ළඟ ඇසුරක් තිබුණ නිසා එයා හිතන්න ඇති මිනිස්සුන්ගේ ජීවිත මොන තරම් අස්ථිරයි ද කියලා. සමහර තරුණ ළමයින්‌ෙග් ජීවිත අවදානම් තත්ත්වයේ තියෙද්දි මට මතකයි එයා ගොඩක් දුක් වුණා. ඒ අයට මොනවිදිහට උදව් කළා ද කියලා අපි දන්නේ නැහැ. එයා ඒ අයට උදව් නොකර ඉන්නේ නැහැ කියලා විතරක් අපි දන්නවා. එයා   කාලෙකට ඉස්සර නුවර ලේවැල්ල පාරේ ඉඩමක් අරගෙන ඒ පැත්තේ මිනිසුන්ට වතුර නැහැ කියලා ළිඳක් කපලා දුන්නා. අදටත් ඒ පැත්තේ මිනිස්සු ඒ ළිඳේ වතුර පාවිච්චි කරනවා. සමහරු පිං දෙනවා අපේ මල්ලිට…..” යැයි හාෆිස් කියා සිටියේ ය.

මහනුවර වකුගඩු ඒකකයේ අවයව බද්ධ කිරිමේ ඒකකයේ වෛද්‍ය අරුණ අබේසිංහ මහතා, රාෆික් සමඟ මහජන සේවාවේ නියැළුණු තවත් ප්‍රධාන අයෙකි. ඔහු රාෆික් ගේ මරණය පිළිබඳ දැඩිව කනගාටු වූයේ, දැන් අපේ ඒකකයේ බර කරට අරන් කරන්න කෙනෙක් නැති ගාණයි කියමිනි.

“ රා‌ෆික් කියන්නේ අමුතුවෙන් උදව් ඉල්ලන්න අවශ්‍ය කෙනෙක් නෙවෙයි. කාගේ හරි අඩුපාඩුවක් නැතිබැරි කමක් දැක්ක ගමන් උදව් කරන පුද්ගලයෙක්. ඉස්පිරිතාලේ තියෙන හැම උත්සවයකටම එන, කෑම බීම ගෙනැත් දෙන අඩුපාඩු සොයා බලන කෙනෙක්. මොනයම් හෝ ඒකකයක් උපකරණයක් බෙහෙතක් අත්‍යවශ්‍ය මොනවා හෝ දෙයක් නැති වග දැනගත්තොත් කොහොම හරි ඒ අඩුපාඩුව සපුරන්න කටයුතු කරන කෙනෙක්. අපේ වකුගඩු ඒකකයේ එක කොටසක ටයිල් අතුරන්න තීන්ත ගාන්න අපි කවුරුත් ඔහුගෙන් ඉල්ලීමක්වත් කළේ නැහැ. ඔහු ඇවිත් අඩුපාඩු බලලා ඉෂ්ට කරලා දෙනවා. ඔහු කරපු සේවය අතිමහත්….”යි වෛද්‍ය අරුණ අබේසිංහ කියා සිටියේය.

මහනුවර රෝහල් භූමිය ආසන්නයේ  අක්කරයකුත් පර්චස් හතළිස් තුනක් වන ඉඩම් කොටස

This article was originally published on the catamaran.com

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts