අනාවරණ සමාජ

මෙත් සිත් ඇති මිනිසුන් රැකගත යුතු  බැද්දගානේ තෙත් බිම

ශ්‍රී ලංකාවේ පරිපාලන අගනුවර වන කෝට්ටේ පිහිටි බැද්දගාන තෙත් බිම් උද්‍යානය ගොඩනැගිලි වලින් පිරුණ නාගරික පරිසරයක් මැද තිබෙන ජෛව විවිධත්වයෙන් අනූන වූ සංවේදී පරිසර කලාපයකි. බැද්දගාන තෙත් බිම් උද්‍යානය අක්කර 40ක් පමණ විශාල වේ. බැද්දගාන තෙත් බිමෙන් ශ්‍රී ලංකාවට ආවේණික මෙන්ම තර්ජනයට ලක් වූ ශාක හා සත්ත්ව විශේෂ කිහිපයක්ම හමුවන අතර කුරුලු විශේෂ 80ක්, සමනලුන් වර්ග 50ක්, කූරන් වර්ග 35ක්, මත්ස්‍යයින් වර්ග 20ක්, ශීරපායීන් වර්ග 10ක්, උභය ජීවීන් වර්ග 05, ශාක වර්ග 100ක් යනාදී ලෙස වාර්තා වී ඇත. වසරේ ඇතැම් කාලවලදී සංචාරක පක්ෂීන්ටද බැද්දගාන තෙත් බිම නවාතැන්පලක් වී තිබේ. හඳුන් දිවියා (fishing cat) වැනි නාගරික පරිසරවලදී දැකීමට දුලභ සත්ත්වයින්ටද බැද්දගාන තෙත් බිම යනු අභය භූමියකි.

පරිසරවේදී, නිතීඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතාට අනුව, “බැද්දගාන තෙත්බිම් උද්‍යානය කියන්නේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර අභය භූමියට අයිති බැද්දගාන කොටස. මේ කොටස අතීතයේ ඉඳන්ම තෙත් බිමක් හැටියට තමයි තිබිලා නියෙන්නේ. නමුත් පාර්ලිමේන්තුව සකස් කිරීමේදී ඒ තිබුණු විල ප්‍රදේශය පුළුල් කරන්න ගොඩ දැමූ මඩ වලින් යම්කිසි ප්‍රමාණයක් පිරිලා තිබුණා මේ ප්‍රදේශයේ. ඒ නිසා මෙතන විශාල මඩ තැන්නක් තමයි අතීතයේ තිබුණේ. ඒ මඩ තැන්න නිසාම මෙතනට ගොඩක් පක්ෂීන් ආකර්ෂණය වුණා. 2014 වර්ෂයේදී බැද්දගාන තෙත් බිම දැනට තිබෙන පරිදි උද්‍යානයක් ලෙස සැකසීමට පටන් ගත් අතර, මේ වන විට මෙම භූමිය තුළ අලුතින් නිර්මිත පරිසරයකුත් ස්වභාවික පරිසරයකුත් අතර මැද තත්ත්වයේ තිබෙන පරිසර පද්ධතියක් තමයි දක්නට තිබෙන්නේ.”

බැද්දගාන තෙත්බිම් උද්‍යානයේ ස්වභාවිකත්වය රැකෙන ආකාරයට උද්‍යානයක් ලෙසට නාගරික සංවර්ධන අධිකාරිය විසින් නිර්මාණය කර ඇති අතර එය දෙස් විදෙස් සංචාරකයන් බොහොමයක් දෙනාට සංචාරක ගමනාන්තයක් වී තිබේ. ලී වලින් සෑදු ඇවිදීමේ මංතීරු, තෙත් බිමේ සිටින කුරුල්ලන් නැරඹිය හැකි කුළුණක් සහ නිරීක්ෂණ තට්ටු තෙත් බිමෙහි වෙසෙන සතුන්ට බාධා නොකර එම සතුන් ගවේෂණය කිරීමට සංචාරකයන්ට ඉඩ සලසයි.

කොළඹ නගරයේ උණුසුම අඩු කිරීම, ගංවතුර පාලනය කිරීම වැනි තවත් පාරිසරික සේවාවන් බොහොමයක් සඳහාද තෙත් බිම දායක වන අතර පාරිසරික දැනුවත්භාවය සහ අධ්‍යාපනය ප්‍රවර්ධනය කරමින් ජෛව විවිධත්වය පවත්වා ගැනීමට සහ පාරිසරික හායනය වැලැක්වීමට තෙත් බිම්වල ඇති වැදගත්කම පිළිබඳව නරඹන්නන් දැනුවත් කිරීම බැද්දගාන තෙත්බිම් උද්‍යානයේ ප්‍රධාන ඉලක්කයන් වේ.

බැද්දගාන තෙත් බිම් උද්‍යානය සෑම දිනකම උදෑසන 06.00 සිට සවස 06.00 දක්වා මහජනතාවට විවෘතව තිබෙන අතර ප්‍රවේශ පත් නිකුත් කරනුයේ ප.ව. 05.00 දක්වා පමණි.

දියවන්නා ඔයේ ලවණතාවය ඉහළ යාම නිසා තෙත් බිමේ වෙසෙන මත්ස්‍යන්ගේ සහ අනෙකුත් ජලජ සත්ත්වයන්ගේ ගහනයේ වෙනස්කම් ඇති වී තිබීම තවත් ගැටලුවකි. ලවණතාවය වැඩිවීම කිඹුලන්ගේ පැමිණීමටද හේතු වී තිබේ.

බැද්දගාන තෙත් බිම් උද්‍යානය යනු තෙත් බිම් පද්ධතියක එක කොටසකි.  දියසරු උද්‍යානය, දියවන්නා ඔය වැනි ප්‍රදේශයේ අනෙකුත් ආකර්ෂණීය ස්ථාන සමඟ බැද්දගාන තෙත් බිම් උද්‍යානයද ජලයෙන් සම්බන්ධ වී තිබේ. බලධාරීන් විසින් කොතෙකුත් උත්සාහ දැරුවද ඇතැම් පුද්ගලයන්ගේ වගකීම් විරහිත හැසිරීම සමස්ත පරිසර පද්ධතිය කෙරෙහිම ගැටළු ඇතිකර වීමට සමත්ව තිබේ. නගර සභාව විසින් සතිපතා කුණු රැගෙන යාමේ රථ නිවෙස්වලට එවද්දීත්, දියවන්නා ඔය සහ බැද්දගාන තෙත් බිම අසල මාර්ගයට කුණු දැමීම වැනි මානව ක්‍රියාකාරකම් තවමත් සක්‍රියව  පවතී. එවැනි පරිසර විරෝධී ක්‍රියා නැවැත්වීම කෙරෙහි බලධාරීන් නිසි ක්‍රියාමාර්ග ගතයුතුව තිබේ.  අනාගත පරපුර සඳහා උද්‍යානය සංරක්ෂණයකර ගනිමින් සතුන්ගේ ස්වභාවික වාසස්ථාන ආරක්ෂා කිරීම මහජනතාවගේද වගකීමයි.

ඒ අනුව දැනටමත් බැද්දගාන ප්‍රදේශවාසීන්, නාගරික සංවර්ධන අධිකාරිය, වනජීවී දෙපාර්තමේන්තුව එකට එක්ව බැද්දගාන තෙත් බිම රැකගැනීමට කටයුතු කරමින් සිටි. 2024.10.06 වැනි දින Wetland Clean Up නමින් පැවැත්වූ ශ්‍රමදානය ඊට කදිම උදාහරණයකි. එහිදී බැද්දගාන තෙත්බිම ආශ්‍රිතව මිනිසුන් විසින් දමා තිබූ කුණු ඉවත් කර ප්‍රදේශය පවිත්‍ර කිරීම සිදුවිණි. මේ සඳහා ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු සහාය ඉතා ප්‍රශංසනීය වේ.   

බැද්දගාන තෙත්බිම් උද්‍යානය යනු සොබා සෞන්දර්‍යයේ ස්ථානයක් පමණක් නොව නාගරික සංරක්‍ෂණයේද සංකේතයකි. එය ගෝලීය උෂ්ණත්වය සහ දේශගුණික විපර්යාස ඉහල යාම කෙරෙහි ගෝලීයව යහපත් බලපෑමක් කිරීමට දායක වන වටිනා පරිසර පද්ධතියකි.

උද්‍යානය වෙත යන ඔබ පොලිතින් ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය උද්‍යානය තුළට රැගෙන යාමෙන් වළකින්න. තෙත්බිම් උද්‍යානය තුළ ගමන් කිරීමේදී සතුන්ගේ හැසිරීම් වලට බාධා නොවන පරිදි නිශ්ශබ්දව සන්සුන්ව ගමන් කරන්න.  බැද්දගාන තෙත්බිම රැක ගැනීම සියලු දෙනාගේම වගකීමයි.

කුරුල්ලන් නැරඹීමේ කුළුණ

තෙත්බිම් පක්ෂීන් සහ ඔවුන්ගේ දෛනික හැසිරීම් නිරීක්ෂණය කළ හැකි ස්ථානය. මෙහි සිට මුළු උද්‍යානයේම දර්ශනය මනාව දැක ගත හැකිය.

දියවන්නා ඔය ඉවුරේ දමා ඇති කුණු බෑග්

බැද්දගාන තෙත් බිම් උද්‍යානය වෙත එන මාර්ගයේ දියවන්නා ඔය ඉවුර අසළ පාර අයිනේ ගෙනැවිත් දමා තිබෙන කුණු

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts