මුලික අරමුණවත් ඉටුවි නැති පළාත් සභාවක් නඩත්තුවට වසරකට කෝටි විසි හතක් 
කමණී හෙට්ටිආරච්චි
ශ්‍රී ලංකාවේ පළාත් සභා ක්‍රමය ස්ථාපිත කෙරුණේ 1987 ජූලි 29 වැනි දා අත්සන් කෙරුණු ඉන්දු ලංකා සාම ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙසය. මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලෙස ඉදිරිපත් කෙරුණු පළාත් සභා මගින් බලය බෙදා හැරීම අපේක්ෂා කෙරිණ. හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන සහ ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි විසින් අත්සන් කෙරුණු ගිවිසුමට අනුව ස්ථාපිත පළාත් සභාවට එවකට විපක්ෂයේ ප්‍රබල විරෝධයක් එල්ල විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ රටපුරා උද්ඝෝෂණය කරමින් ඊට විරෝධය පළ කළේය.කෙසේ නමුත් පසුගිය දිනවල පළාත් පාලන මැතිවරණය ඉල්ලා හඩ නැගු බොහෝ දෙනෙකුට පළාත් සභා විසුරුවා ඒවායේ මැතිවරණ පැවැත්විමට නියමිත කාලය ඉක්මගොස් ඇති බව අමතකව ගොස් ඇත.
එම් කාරණය කෙසේ නමුත් උතුරු නැගෙනහිර කේන්ද්‍රකරගනිමින් නැගෙමින් තිබූ දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලෙස ස්ථාපිත පළාත් සභා ක්‍රමය ආරම්භක අවස්ථාවේ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරමින් එක් පළාත් සභාවක් පිහිටුවනු ලැබීය. නමුත් එම පළාත් සභාව කෙටි කලකින් විසුරුවා හරිනු ලැබීය. ඉන් සිදුවූයේ පළාත් සභාව පිහිටුවීමේ මුඛ්‍ය අරමුණට පරිබාහිරව යමින් ගැටලුව නිර්මාණය වෙමින් පැවති ප්‍රදේශ වල පළාත් සභා ක්‍රියාත්මක නොවීමය.
පළාත් සභාවලට හිමි බලතල පිළිබඳව වූ ගැටලුව එය ආරම්භයේ පටන්ම නොවිසඳුණු ප්‍රබල ගැටළුවකි. පළාත් සභාවලට හිමි බලතල බොහොමයක් එය ආරම්භයේ පටන් මේ දක්වාම ලැබී නොමැත. විශේෂයෙන් ඉඩම් මූල්‍ය හා පොලිස් බලතල මේ අතරින් ප්‍රධාන වේ. පළාත් සභාවලට හිමි බලතල මධ්‍යම ආණ්ඩුව දැරීම හේතුකොටගෙන පළාත් සභාව යනු අකර්මණ්‍ය ආයතන ව්‍යුහයක් ලෙස සමහරුන් අර්ථ දක්වති. උතුරු නැගෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලෙස ගෙන එන ලද පළාත් සභා ක්‍රමය මගින් එම ගැටළුවට විසඳුමක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් එය රටට අනවශ්‍ය බරක් ගෙන දෙන ආයතනයක ව්‍යුහයක් බවට කෙරෙන බරපතල චෝදනාව බැහැර කළ නොහැකි වී ඇත. මන්දයත් මධ්‍යම ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා ආදී ආයතන ව්‍යුහයන් තිබියදී පළාත් සභා ක්‍රමය අත්‍යවශ්‍ය ආයතන ව්‍යූහයක් ද යන ගැටලුව පැන නැගී තිබේ.
පළාත් සභාව සතු බලතල මධ්‍යම ආණ්ඩුව සතු බලතල සහ සමගාමී ලැයිස්තුව සතු බලතල යනුවෙන් ලැයිස්තුගත කර ඇති ඒ ඒ ආයතනවලට හිමි බලතල ක්‍රියාත්මක කිරීමේ දී විවිධ ගැටලු රාශියක් එය ආරම්භයේ පටන්ම නිර්මාණය වී තිබිණි.
මෙම සුවිශේෂී තත්ත්වය හේතුකොටගෙන ආණ්ඩු බලයේ සිටින පක්ෂයට අවශ්‍ය ලෙස පළාත් සභාවකට කටයුතු කිරීමට සිදු වී තිබෙන අතර වර්තමානයේ පළාත් සභා ද මධ්‍යම ආණ්ඩුවේ මගපෙන්වීම බලාපොරොත්තුවෙන් සිටී.ඒ ඒ පළාත්වල අවශ්‍යතාවයන් පරිදි ඊට ගැලපෙන ප්‍රතිපත්ති සහ සැලසුම් සකස් කරනවා වෙනුවට පළාත් සභා කටයුතු කරමින් සිටින්නේ මධ්‍යම ආණ්ඩුවේ ඉහළින් ලැබෙන නියෝග ක්‍රියාත්මක කිරීමේ මෙවලමක් ලෙසය.නමුත් මෙහි තිබෙන එක් ධනාත්මක පැතිකඩක් නම් පළාත් සභා ක්‍රමයට එරෙහි වූ දේශපාලන පක්ෂ කණ්ඩායම් අද වන විට පළාත් සභා තුළ ක්‍රියාත්මක වෙමින් සිටීම ප්‍රජාතන්ත්‍රවාදය ලද ජයග්‍රහණයක් ලෙස අර්ථ දැක්විය හැකිය.එසේම පළාත් සභා පළාත් දේශපාලන නායකත්වයක් ගොඩනැගීම සඳහා ද සාධනීය බලපෑමක් කර ඇත.එමෙන්ම පළාත් පළාත් ආණ්ඩුකරණය හරහා රාජ්‍ය සේවය පළාත් මට්ටමින් ක්‍රියාත්මක වීම පළාත් වාසීන් ලද ජයග්‍රහණයකි.පළාත් සභා ලැයිස්තුවේ හෝ සමගාමී ලැයිස්තුවේ විෂයයන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ගෙන බලතල පිළිබඳ ගැටලුව නිරාකරණය කරන්නේ නම් පළාත් සභා ඵලදායි මහජන සේවයක් ලබාදෙන ආයතන ව්‍යුහයක් බවට පරිවර්තනය කළ හැකිය. කෙටියෙන් කියතොත් පළාත් සභාවල ස්වාධීනත්වය සුරක්ෂිත කිරීමට කටයුතු කරන්නේ නම් පළාත් සභා සුවිශේෂී වැදගත්කමක් දරන ආයතන බවට පත් කළ හැකිය. කෙසේ වෙතත් මේ වන විට මැතිවරණ නොපැවැත්විම හේතුකොටගෙන පළාත් සභා කටයුතු අකර්මන්‍ය වී ඇත.එසේ වුවත් වඩා ඵලදායි සේවාවක් ඉටු නොවූව ද පළාත් සභා සඳහා මහජන මුදල් වැය වෙන ආකාරය සම්බන්ධයෙන් එක් පළාත් සභාවක් කේන්ද්‍ර කර ගනිමින් තොරතුරු පනත යටතේ සොයා බැලීමට අප කටයුතු කළෙමු.
බස්නාහිර පළාත් සභාවේ වියදම් සදහා 2018 වසරේදී රුපියල් හතලිස් හත් කෝටි දස ලක්ෂ විසි දෙදහෙසක (රු.471 022 000) මුදලක් ඇස්තමේන්තු ගත කර ඇති බව බස්නාහිර පළාතේ පළාත් ලේකම් කාර්යාලයට යොමු කළ තොරතුරු අයදුම්පතට එවූ පිළිතුරු ලිපියෙහි සදහන් වේ.
මේ හේතුව නිසා පළාත් සභාවේ කටයුතු සදහා වසරකට වැය වන මුදල, පළාත් ඇමතිවරයෙකුගේ, මන්ත්‍රීවරයෙකුගේ සහ කාර්ය මණ්ඩලවලට වසරකට කොපමණ මුදලක් වැය වේද? යන්න පිළිබදව බස්නාහිර පළාතේ පළාත් ලේකම් කාර්යාලයට තොරතුරු අයදුම්පතක් ඉදිරිපත් කරමින් විමසුවෙමු.
එයට ලැබුණු පිළිතුරුවලට අනුව පළාත් සභා රැස්වීමක් පැවැත්වෙන එක් දිනකට රුපියල් 4 38 445 ක මුදලක් වැය වේ. ඒ අනුව මසකට දින දෙකක් පළාත් සභාව රැස්වන අතර ඒ සදහා මසකට රුපියල් 8 76 890 ක් වැය වෙයි.
පළාත් සභා මන්ත්‍රීවරයෙකුට මසකට රුපියල් 27 142.50 ක මූලික වැටුපක් හිමිවන අතර ප්‍රවාහන දීමනාව වශයෙන් රුපියල් 5000 ක් ද ලිපි ද්‍රව්‍ය දීමනා ලෙස රුපියල් 4000 ක් ද කාර්යාල දීමනා ලෙස රුපියල් 50 000 ක් ද ඡායා පිටපත් දීමනා වශයෙන් රුපියල් 5000 ක් සහ තැපැල්පත් දීමනා සදහා රුපියල් 5291.67 ක් වැය වෙයි.
මෙරට පළාත් සභා 09 ක් ක්‍රියාත්මක වන අතර එම සියලුම පළාත් සභාවල නිල කාලය අවසන් වී මේ වන විට වසර කිහිපයක් ගත වී ඇත. ආණ්ඩුකාරවරයාගේ සිට පළාත් ලේකම් ඇතුළු නිලධාරීන්ගේ පාලනය යටතේ පළාත් සභාවලට අදාළ සියලු කටයුතු අඛණ්ඩව සිදු වෙමින් පවතී බස්නාහිර පළාත් සභාවේ නිල කාලය 2019 අප්‍රේල් මස 21 වෙනි දින අවසන් විය. එතැන් සිට පළාත් සභාවේ බලතල ආණ්ඩුකාරවරයාට පවරා ඇත.
පළාත් සභා රැස්වීමක් පැවැත්වීමට මෙන්ම මන්ත්‍රීවරයෙකු නඩත්තු කිරීමට වසරකට මෙතරම් මුදලක් වැය වන්නේ නම්, පළාත් සභා පිහිටුවිමේ මුලික අරමුණ වු බලය විමධ්‍යගත් කිරිම ද සිදුවි නොමැතිනම් පළාත් සභා අවශ්‍යද යන ගැටළුව මතුවිම වැලක්විය නොහැක.