අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

බරපතල අනතුරකට අත වනන ලංකාවේ මානව හිමිකම් කඩවීම

අසංක අබේරත්න

මාධ්‍යයෙන් අපට දැනගන්නට ලැබෙන සංඛ්‍යා දත්ත ගැන පමණක් සිතා බැලුවත් කොවිඩ් ආසාධිතයින් සහ මරණ සංඛ්‍යාව ජනගහණයට සාපේක්ෂව ඉතා ඉහළය. සෞඛ්‍ය කාර්යය මණ්ඩල සාමාජිකයින් පහසුවෙන්ම වෛරසයට ගොදුරුවීම වසංගත පාලනය සෞඛ්‍ය අංශවලින් ගිලිහීමට මූලිකවම බලපායි. එය ඉතාමත් අන්තරාදායක වේ- සෞඛ්‍ය යනු අත්‍යවශ්‍ය සේවාවක් සේම අනුලංඝණීය මානව අයිතිවාසිකමක්ද වේ- මෙහිදී වැදගත් ප්‍රශ්නයක් වෙත අපගේ අවධානය යොමු කරමු. එනම්, මාරාන්තික වසංගතයක් සෞඛ්‍ය අංශවල පාලනයෙන් ගිලිහීම හා අපගේ මූලික මානව අයිතිවාසිකම් දේශපාලන ග්‍රහණයට ලක්වීමෙනුත් ඇතිවන ප්‍රතිඵලය අතර වෙනසක් තිබේද?. සෞඛ්‍ය අයිතිවාසිකමක් උල්ලංඝණයවීම ජීවතය මරණයෙන් වුවද කෙලවර විය හැකිය. එබැවන් මේ දෙක අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් හා රදා පැවැත්මක් තිබේ. එනම් වසංගතයක් අදාල අංශවල පාලනයෙන් ගිලිහීමත් ජීවත්වීමට තිබෙන අයිතිය අහිමිවීමත් යන දෙකම පිටුපස ඇත්තේ එකම දේශපාලන අන්තරාවකි.       

ලංකාවේ මූලික මානව අයිතිවාසිකම් බරපතල අනතුරට ලක්ව තිබෙන බව හියුමන් රයිට්ස් වොච් පවසයි. කොවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර දැක්වීමේදී සහ මත්ද්‍රව්‍ය වැටලීම් යටතේ මිනිසුන් ඝාතනය හා අපයෝජනය කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් ඔවුන් වාර්තා කරති. මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සංධානයක් වන Human Rights Watch මෙම වාර්ථාව ප්‍රකාශයට පත්කළේ පසුගිය අගෝස්තු 06 වනදාය. ලෝකයේ බොහෝ රටවල මානව හිමිකම්වල ප්‍රායෝගික තත්ත්වයන් පිළිබදව 2020 වර්ෂයේ නිරීක්ෂණ ප්‍රතිඵල එයට ඇතුලත්ය. පිටු 757කින් යුත් Human Rights Watch World Report 2021 https://www.hrw.org/world-report/2021  වාර්ථාවේ පිටු අංක 625 සිට 629 දක්වා ලංකාවට අදාළ නිරීක්ෂණය දක්නට ලැබෙනවා. යුක්තිය සහ වගවීම, මානව හිමිකම් ක්‍රියාකාරීන් දඩයම් කිරීම, අදහස් ප්‍රකාශ කිරීමේ සහ සංගමයේ නිදහස, සුළු ජාතීන්ට සැලකීම, ලිංගික දිශානතිය සහ ස්ත්‍රී-පුරුෂ අනන්‍යතාව, කාන්තා අයිතිවාසිකම්, හමුදාකරණය සහ ආයතනික වෙනස්කම් යන මූලික කරුණු 07ක් එහිදී නිරීක්ෂණයට ලක්කර ඇත.  

යුක්තිය සහ වගවීම

යුද්ධය සහ වෙනත් ප්‍රචණ්ඩ ක්‍රියාවලට ගොදුරුවූ වන්දිතයින්ට යුක්තිය ඉටුකිරීම සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාද නැවත සිදු නොවීමට වගබලා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර බැදීම් පැහැරහැර තිබෙන බව වාර්ථාව පෙන්වා දෙයි. එක්සත් ජාතීන්ගේ 30/1 යෝජනාවෙන් පොරොන්දුවූ “නැවත සිදුවීම වැලැක්වීමට සහතික වීම” වෙනුවට බරපතල මානව හිමිකම් උල්ලංඝනයන්ට තුඩු දෙන ප්‍රතිපත්ති හා භාවිතයන්ගෙන් වත්මන් රජය අත්මිදී නැත- යුද අපරාද සම්බන්ධයෙන් වගකිව යුතු හමුදාවේ ඉහළ නිළධාරින් හා දේශපාලන හිතවාදීන් චෝදනාවලින් මුදා හැරීම නොකඩවාම දක්නට ලැබේ. දකුණේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ අපරාදකරුවන් ගලවාගැනීමටද ආණ්ඩුවේ අනුග්‍රහය ලැබෙන බවට සබුද්ධ්හක ජනතාව අතර සැකයක් මතුව තිබේ.  අයුක්තිසහගත සහ වගකීම් රහිත ක්‍රියා ගැන ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකා රජය අප්‍රසාදයට ලක්ව සිටින අවස්ථාවක යුක්තිය සහ වගවීම සම්බන්ධයෙන් සිය ස්ථාවරයේ වෙනසක් ඇතිකරගැනීමට සූදානමක් නොමැති බව ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය අනුව නිරීක්ෂනය කළ හැක.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝණය හා මානව හිමිකම් ක්‍රියාකාරීන් දඩයම් කිරීම

මානව හිමිකම් ක්‍රියාධරයින්ට බලපෑම් කිරීම නොකඩවාම දක්නට ලැබේ. ඔවුන්ගේ දුරකථනවලට අමතා මරණ තර්ජන එල්ල කිරීම සමබන්ධයෙන් ඇතැම් ආරක්ෂක අංශ නිලධාරීන්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත්ව තිබේ- පාරිභෝගික අයිතීන් සුරකීමේ සංගමයේ සභාපති අසේල සම්පත්, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති යසිරු කුරුවටගේ මැතිව් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක් ලබාගැනීමට රුගෙන ගියේ වරෙන්තු නොමැතිවය- ගුරු සංගම් නායකයින් හා ගුරු අරගලයට නායකත්වය දුන් කම්කරු නායකයින් ඉලක්ක කර ගනිමින් පොලිස් මර්දනය දියත්වූ අතර අධිකරණයෙන් ඇප ලබා නිදහස්වූ පසුවද පොලිසිය ඔවුන්ව බලහත්කාරයෙන් නිරෝධායනයට රැගෙන යන ලදි- වෛරසය ආසාදනයවී නොමැති බවට වූ පීසීආර් වාර්තා පවා නොසලකා හරිමින් නිරෝධාන මධ්‍යස්ථානවල ඔවුන්ව රදවා තබන ලදි- 

අතුරුදහන්වූවන්ගේ පවුල් අහිමිවූ සිය ආදරණීයයාට අත්වූ ඉරණම පිළිබඳව සත්‍ය දැනගැනීම උදෙසා අඛණ්ඩ කැපවෙමින් සිටී- රාජ්‍ය බුද්ධි සේවා නිලධාරීන් ඒ පසුපස ලුහුබදිමින් සිටින අතර වින්දිතයින්ගේ පවුල් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ කුමාරවඩිවෙල් ගුරුපරන් යාපනය සරසවයේදී දේශනයක් පවත්වමින් සිටින අතරතුර හමුදා භාරයට ගන්නා ලදි- එමෙන්ම නීතීඥ හිජාස් හිස්බුල්ලා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පොලීස් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගයකින් තොරව රදවා තබාගන්නා ලදි- අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝණය කිරීම හා මානව හිමිකම් ක්‍රියාකාරීන් පසුපස ලුහුබැදීම පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කළද ඊට අදාල පරික්ෂන සිදුනොවේ.

සුළු ජාතික කණ්ඩායම්වලට සැලකීම 

2019 බෝම්බ ප්‍රහාරයෙන් පසු ප්‍රධාන ධාරාවේ සහ සමාජ මාධ්‍යවල ලාංකික මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් වෛරී ප්‍රකාශන දැඩිවිය- එය පිටුපස ඇතැම් දේශපාලඥයින්ගේ අනුග්‍රහය ලත් සංවධානත්මක කණ්ඩායම්ද සිටින බව ප්‍රසිද්ධ විය- සුළුතර ප්‍රජාවන් නොසලකා හරිමින් කටයුතු කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට පත්ව තිබේ- නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා පත්කළ ජනාධිපති කාර්ය සාධක බලකාය ආරක්ෂක නිලධාරීන් හා භික්ෂූන්ගෙන් පමණක් සමන්විත විය- “අපේ බෞද්ධ උරුමය සුරැකීම” එහි අරමුණවූ අතර එමඟින් බහුතර දෙමළ හා මුස්ලිම් ජන කොටස් බැහැරකර තිබේ- කොවිඩ් ආසාධිතව මියයන මුස්ලිම් පුද්ගලයින්ගේද මෘතදේහ ආදාහනය කළ යුතු බවට රජය මාර්ගෝපදේශ ප්‍රකාශයට පත්කළේද මේ අතරතුරය- 

කාන්තා අයිතිවාසිකම්

ගිය වසරේ අගුලු දැමීම තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය ඉහළ ගොස් තිබේ. විශේෂයෙන් ඇඟලුම් කම්හල්වල සේවය කරන කාන්තාවන් සිය නිවෙස් බලා යාමට නොහැකිව අවතැන් විය- වැටුප් නොගෙවීම හේතුවෙන් ඔවුන් දැඩි අසාධාරණයටද ලක්විය. ගෘහස්ථ ප්‍රචන්ඩත්වය ඉහළ යාමද කාන්තා හිංසනයට බලපා ඇති අතර පීඩාවට හා සූරාකෑමට වැඩිපුරම ගොදුරුවී ඇත්තේ කාන්තාවන්ය. 

හමුදාකරණය සහ ආයතනික වෙනස්කම්

මේ වනවිට ආයතන 30කට වැඩි ප්‍රමාණයක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කර තිබේ- විශ්‍රාම ගිය සහ සේවයේ නිරත හමුදා නිලධාරීන් සිවිල් සේවයේ ඉහළ තනතුරුවලට පත්කර තිබේ- කොරෝනා මර්දන මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස හමුදාපති පත්කිරීම අර්බුද ගණනාවකට හේතුපාදකවී තිබේ- එමෙන්ම යුද අපරාදවලට සම්බන්ධ මරණ දඩුවමට යටත්කර ජීවිතාන්තය තෙක් සිරදඩුවම් හිමිව සිටි සුනිල් රත්නායක නම් හමුදා සැරයන්වරයාට වත්මන් ජානාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දණ්ඩ මුක්තියට අදාළ විධායක බලතල භාවිත කරමින් සමාව ලබාදුණි- අනෙක් අතට වශේෂඥයන් පසෙකටකර රටේ බොහෝ ක්ෂේත්‍ර පාලනය කිරීම හමුදාවට භාරදී තිබේ. 

මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ නැවත සිදුවීම වලක්වා ගැනීමටත් යුක්තිය සහ වගවීමේ ක්‍රියාවලියේදී ලංකාව අසමත් රාජ්‍යක් බවටත් නැවත වරක් පත්ව තබේ. ශ්‍රී ලංකාව සත්‍යය සෙවීමේ උත්සාහයන් අත්හිටුවා ඇති බවට හියුමන් රයිට්ස් වොට්ච් 2021 වාර්තාව අවධාරණය කරයි-

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts