අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

පොලිස් සෙල්ලම් නිසා ලෙල්ලම්වන ලංකාවේ මානව හිමිකම්

නිමල් අබේසිංහ

හිතෙන හිතෙන විදියට නීතිය අතට ගෙන මිනිසුන්ට හිරිහැර කිරීමට ශ්‍රී ලංකා පොලිසිය පෙළඹෙන්නේ කිසිදු හිරිකිතයකින් තොරවය. මානව අයිතිවාසිකම් යනුවෙන් මිනිසුන් සඳහා වන අයිතිවාසිකම් ගොන්නක් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබාදී ඇතත්, පොලිසිය ඒවා ගැන තැකීමක් කරන්නේ නැත. එනිසා නඩු විසඳීම සේ ම දඬුවම් දීමද තමන් සතුව ඇතැයි තවමත් පොලිසියේ ඇතැම්හු සිතති. මේ ලියවෙන්නේ පොලිසිය විසින් සිදු කරන ලද එබඳු කතා කීපයකි.

මාතර දිස්ත්‍රික්කයේ වරකාපිටිය සුල්තානාගොඩ අංක 91හි පදිංචි හියාරේ ගමගේ ධර්මබන්දු පස්දරු පියෙකි. ගොවිබිම්හි කුලීකරුවෙකු ලෙස වැඩ කරමින් සිය දරු පවුල නඩත්තු කරන ඔහුගේ නිවෙසට 2021 ජූලි 31 දින රාත්‍රියේ අසල්වැසි පියා සහ පුතා (සුමිත් හා කුමුදු පියුමාල්) ඔහුගේ නිවෙසට පැමිණ පහර දෙන්න සූදානම් විය. 

එදින රාත්‍රියේම කොටවිල පොලිසියට ගොස් ඇති සුමිත් හා පියුමාල් ධර්මබන්දු පියුමාල්ට ගලකින් පහර දුන් බවට පැමිණිල්ලක් කර ඇත.

2021 අගෝස්තු 01 වැනිදා ධර්මබන්දුගේ නිවෙසට පැමිණි පොලිස් නිලධාරියෙකු තුණ්ඩුවක් දී පවසා ඇත්තේ අගෝස්තු 03 වැනි දින කොටවිල පොලිසියට පැමිණෙන ලෙසටය. ඒ අනුව අගෝස්තු 03දා ධර්මබන්දු සහ ඔහුගේ බිරිඳ පෙ.ව. 16.30ට පමණ පොලිසියට ගිය විට එහි සිටි නිලධාරියෙකු ධර්මබන්දුගෙන් කිසිවක් නොවිමසා පොලිස් කූඩුවට දමන්නේය.

“දහවල් එකට විතර පොලිස් ස්ථානාධිපතිතුමා ආවා. ඇවිත් මූව අරන් එන්න කියා රාළහාමි කෙනෙකුට කීවා. අර රාළහාමි මාව එක්ක ගිහින් මූ අහිංසක කැම්පස් කොල්ලෙකුට ගලකින් ගහල කියල කීවා. ඊට පස්සේ එළියේ හිටපු කුමුදු පියුමාල්වත් කැදෙව්වා.

“ඕ.අයි.සී. මහත්තයා මගෙන් කිසිවක් අහන්නේ නැතිවම විකට් කූරක් අරගෙන මට ගැහැව්වා. අත පයට, උරහිසට, බඩට ඒ පාරවල් වැදුණා. ඊට පස්සෙ මගේ බිරිඳ එතනට ගෙන්නල උඹේ මිනිහ හදාගන්න බැරිද කියල ඇහැව්වා.

ආයෙමත් මාව කූඩුවට දාලා තුනට විතර ඇපදීලා මාව එළියට දැම්මා.”

ධර්මබන්දු තමන්ට සිදුව දේ පැවසුවේ එලෙසය.

ඉන්පසුව ඔවුන් දෙදෙනා මාතර සහකාර පොලිස් අධිකාරිවරයා මුණ ගැසී තමන්ට සිදුවූ දේ ගැන පැමිණිල්ලක් කර මාතර රෝහලට ගොස් ඇත. දින තුනක් මාතර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ නිවෙසට ගියද පොලිස් ස්ථානාධිපතිවරයාගේ පහරදීම නිසා දකුණු උරහිස් අස්ථියකට බරපතළ හානි සිදුවී ඇති බව කියයි.

පැමිණිලිකරුවෙකුට හෝ සැකකරුවෙකුට හෝ වෙනත් කිසිවෙකුට පහර දෙන්නට පොලිසියට කිසිදු අයිතියක් නැතත්, කැටවිල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඒ කිසිවක් මායිම් නොකර මේ පහරදීම සිදුකර තිබේ.

අම්බලන්තොට ගොඩවාය කුමාරසිංහ මාවතේ අංක 411/7හි පදිංචි දහසය හැවිරිදි සචින් පැහැසර සුදුසිංහ මිරිජ්ජවිල කාර්මික විදුහල් වෑල්ඩින් පාඨමාලාවක් හදාරණ තරුණයෙකි.

2021 ජූලි 05 දින ඔහු කාර්මික විදුහලේ සිට පෙරළා නිවෙසට පැමිණෙන්නේ තම මිතුරු කේ.එච්. රවිඳු සමඟය. වේලාව පස්වරු 5.00ට පමණය. සිය නිවෙසට මීටර් දෙසීයක් පමණ දුරක් තිබියදී යතුරු පැදියක ආ දෙදෙනෙක් හදිසියේම ඔවුන්ව නවතන්නේය.

සිවිල් ඇඳුමින් සිටි දෙදෙනාගෙන් එක් අයෙකු හම්බන්තොට වරාය පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු  වන කසුන් තරංග බවත්, අනෙකා එම ප්‍රදේශයේම පදිංචිකරුවකු වන රංග බවත් තරුණයන් දෙදෙනා හඳුනාගෙන ඇත.

තරුණයන් දෙදෙනාව නවත්වන කසුන් තරංග ඔවුන්ගේ මුව ආවරණ ගලවන ලෙස පැවසුවත් ඔවුන් එය නොගැලවූ බැවින් කසුන් තරංග නම් පොලිස් නිලධාරියා සචින් පැහැසරට අතින් පයින් පහරදී ඇත. එය වළක්වාලීමට ගිය ඔහුගේ මිතුරා වන රවිඳුව ද තල්ලු කර දැමූ පොලිස් නිලධාරියා නැවතත් අතින් පයින් සචින්ට පහර දෙන්නේය.

නිවෙසට පැමිණි සචින් සිය මව වන රේණුකා සෙනෙවිරත්නට මේ බව පැවසූ පසු ඇය සචින් සමඟ වරාය පොලිසියට ගිය ද ඔවුන්ගේ පැමිණිල්ල වරාය පොලිසියෙන් භාරගෙන නැත. පොලිසිය පවසා ඇත්තේ රෝහලට යන ලෙසටය.

පහරදීම නිසා සචින්ගේ ගෙල ඉදිමී තිබී ඇති අතර වෛද්‍ය උපදෙස් මත ඔහුගේ ගෙලට කොළරයක් දමන්නට සිදුවේ. මේ පොලිස් නිලධාරියා මෙයට පෙරද තවත් අයෙකුට පහර දී තුවාල සිදුකර ඇති බවට තොරතුරු ඇත.මෙම සිදුවීම් දෙක පිළිබදව කතාකිරිමට හැකියාව ලැබෙන්නේ තමන්ට සිදුවු අසාධාරණයට එරෙහිව ඔවුන් නිතිමය සාධාරනය පතා ඉදිරි ක්‍රියාමාර්ග ගත් බැවිනි.නමුත් සැබෑ යථාර්තය නම් පොලිසියේ අකටයුතුකම්වලට එරෙහිව පියවර ගනු ලැබිම යනු කළු ගලේඔලුව ගසා ගැනිමක් ලෙස සලකා බොහෝ දෙනා නිහඩවිමය.එහි ප්‍රථිපලය වන්නේ පොලිසිය තමන්ට ඇවසිලෙස නිතිය ක්‍රියාත්මක කිරිම සහ දඩුවම් ලබාදිමට පෙළඹිමය.නිතිය නවන පොලිස්පතිවරු ඉන්නා රටක උද්ඝෝශකයන්ට ත්‍රස්ථවාදින් සේ සලකනා පොලිසිය බාර ඇමතිවරුන් ඉන්නා රටක ඉහත ආකාරයේ සිදුවිම් මහදෙයක් දැයි කෙනෙකුට සිතිය හැකිය.නමුත් මහජන ජන්දයෙන් සිය නියෝජිතයන් පත්කර ගන්නා ප්‍රජාතන්ත්‍රවාදි රටක් වන අප රටේ සිදුවන මෙවැනි නිති විරෝධි සිදුවිම් දෙස ලෝකයම අවධානයෙන් පසුවන බව අමතක නොකල යුතුය.මන්දයත් ජිනීවා මානව හිමිකම් කොමිසමේ අප රටට එරෙහි මානව හිමිකම් චෝදනා එල්ල වන්නේ මේ සිදුවිම් පාදක කරගෙනය.

මෙම සිද්ධි දෙකම සම්බන්ධයෙන් හම්බන්තොට මානව හිමිකම් උපකාර මධ්‍යස්ථානයේ ආධාරයෙන් නීත්‍යනුකූල කටයුතු සිදුවෙමින් පවතී.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts