කපිල කුමාර කාලිංග

චීනයේ නගරයක, ජනාකීර්ණ චතුරශ්‍රයකදී තම සැමියා මඟ හැරුණු කාන්තාවකට , එය ඉතා අසීරු කටයුත්තක් වනු ඇතැයි, උපහාසාත්මක කතාවක් තිබේ. ඊට හේතුව, සියලුම චීනුන් එකහා සමාන වීමය. ඒ කතාව කෙසේ වුවද , චීනුන්ට, චීනුන් තෝරා බේරා ගැනීමට කිසිදු අපහසුතාවක් නැති බව අපි දනිමු. ඒ ගැටළුව මතු වන්නේ අනෙකුත් ජාතීන්ටය.

අපි ද අපේ මුහුණු හා පෙනුම ගැන ඕනෑවට වඩා ආඩම්බර විය යුතු නැත. ඉන්දියාවට යන ඕනෑම ශ්‍රි ලාංකිකයෙක්, එහිදී ඉන්දියානුවෙක් බවට පත්වෙයි. අපගේ ඇඳුම් පැළඳුම් වලින්, කතා බහෙන් (භාෂාවෙන්) මිස වෙනත් කිසිදු වෙනසක් නැති තරම්ය. පුද්ගලිකව, මට එබඳු අත්දැකීම් ගණනාවක් ම ඇත.

මා ඉන්දියාවට මුලින්ම ගියේ එරට පුවත්පත් කලාවේදීන්ගේ වාර්ෂික සමුළුවකට සහභාගී වනු පිණීසය. එහි පළමු දිනයේම, දිවා භෝජන අවස්ථාවේ මට මුණගැසුණු , එරට ප්‍රාන්තයක මාධ්‍යවේදියෙක් හින්දි නොවන වෙනත් භාෂාවකින් කතා කරන්නට විය. මම පළමු දිනයේ “ඉයෙස්, නො” කියමින් “ෂේප්” වුණෙමි. දෙවෙනි දිනයේ ඔහුගෙන් හැකිතරම් ඈත්ව සිටීමට වග බලා ගත්තෙමි. එහෙත්, ශ්‍රි ලංකාවෙන් පැමිණි මාධ්‍යවේදීන්ගේ ඡායාරූපයක් ගැනීමට, වේදිකාවට එන මෙන් දැන්වූ අවස්ථාවේ, මා කවුදැයි අර මාධ්‍යවේදියාට (ඔහු වියපත් පුද්ගලයෙකි) හෙළිවුණාට සැකයක් නැත. ඉන් පසු, ඔහු ද මගෙන් ඈත් වී සිටියේ, සබඳතාව මඳ සිනාහාවකට පමණක් සීමා කරමිනි. එදා ඔහු මා ඇමතු භාෂාව කුමක්දැයි මම තවමත් නොදනිමි. කෙසේ හෝ ඔහු සිතන්නට ඇත්තේ, මා එම භාෂාව කතා කරන ජන වර්ගයට අයත් ඉන්දියානුවෙකු බවය.

මාගේ නම සම්බන්ධයෙන් ද, ඉන්දියාවේ දි නොයෙක් “ගැටළු” මතු වී ඇත. ඒවා ඉතා මිත්‍රශිලීය. බොහෝ දෙනෙකු පවසා ඇත්තේ, මාගේ නමේ ඇති නම් තුනම – “තනිකර ඉන්ඩියන්” බවය. මම තර්ක කරන්නට නොගියේ එහි සත්‍යයක් ද තිබු බැවිනි. අනෙක් අතට මාගේ රූපකාය ද ඉන්ඩියන් නම්, නාමකායත් ඉන්ඩියන් වීමේ කවර වරදක් ද 

ඉන්දියානුවන්ට මා කපිල නොව කපිල් ය. කලක් මගේ සේවා ආයතනයේ සිටි ඉන්දියානු කාන්තාවක මා ඇමතුවේ “ කපිලා ” නමිනි. මට එහි කිසිදු සිත් තැවුලක් නෙවීය. මිනිසෙකුට නමක් අවශ්‍යවන්නේ, අනුන්ගෙන් වෙන්ව හඳුනා ගැනීමටය. සමාජයීය ජිවිතයේදි කිසියම් පෞද්ගලිකත්වයක් හිමි කර ගැනීමටය.

පාසල් සමයේදි ගුරුවරයෙක් මා ඇමතුවේ ‘K K K’ නමිනි. එය මාගේ නම් තුනේ මුලකුරු බව සැබැවි එහෙත් අමෙරිකාවේ දී නම් K K K යනු ‘කූ ක්ලක්ස් ක්ලෑන්’ නැමැති සුදු වර්ගවාදී සංවිධානයක් බව ගැරුතුමා මට පැවසුවේ පසුවය.

මෙරට, මිනිසුන්ට අනන්‍යතාවයක් ලබා දෙන, හැඳුනුම් පත් අනිවාර්ය වූයේ, මීට දශක කිහිපයකට පෙරය. අප පාසල් යන කාලයේ, හැඳුනුම් පතක් අවශ්‍ය වූයේ අ.පො.ස. විභාගවලට පෙනී සිටීමට පමණි.  ඒ සඳහා, හැඳුනුම් පත් නිකුත් කළේ, තැපැල් දෙපාර්තමේන්තුවෙනි. 

භීෂණ සමයේ දි යුද්ධය පැවති යුගයේදි ගමනක් බිමනක් යන විට ජාතික හැඳුනුම් පත, නොහොත් “අයිඩෙන්ටිය” ළග තිබීම ඉතා වැදගත් විය. මුරකපොලුවලදි, හැඳුනුම් පත දැක්වීමට නොහැකි වූ අයට, බිම දණ ගැසීමට හෝ හාවුන් පැනීමට සිදුවු අවස්ථාද විය. ජනතා විමුක්ති පෙරමුණේ “දේශප්‍රේමීන්” ගෙවල් වලට පැන, හැඳුනුම් පත් ඩැහැගෙන යාම නිසා, බොහෝ දෙනා මහත් කරදරයට පත් වූහ. නැති වූ හැඳුනුම් පතක් වෙනුවට, අලුත් එකක් ලබා ගැනීමද කාලය කා දමන, වෙනම “අලකලංචියකි.”

හැඳුනුම් පත් දෙමින්, තනි තනි මිනිසුන් හැඳීමද, සමාජ-දේශපාලන අවශ්‍යතාවන් මත නිර්මාණය වූ කාර්යයක් බව (නම් ගම්, උප්පැන්න යනාදිය මෙන්ම) පැහැදිලිය.

එහෙත්, වඩා ගැඹුරින් කල්පනා කරන විට චීනයේ දි, පිට රැටියන්ට “පොදු චීනෙකු” හමුවන්නාක් මෙන්, මුළු ලෝකය පුරාම විසිර සිටින්නෙත් පොදු මිනිසෙකි. එකම අංගෝපායන්, හැඟීම්, ඇති මිනිසුන්ය. දේශය, වර්ණය, භාෂාව, ආගම, සංස්කෘතිය වැනි දෙයින් වෙනස්කම් තිබුණ ද, පොදුවේ ගත් කළ මිනිසා යනු මිනිසාමය. සුදු කලු, දුඹුරු, කහ වැනි පැහැයන්ගෙන් යුත් මිනිසුන් සිටියද, ඔවුන් සැමගේ සිරුරු තුළ දිවෙන ලේ, රතු පැහැතිය ඔවුන්ගේ සුඛ, දුක්ඛ වේදනාවන් එක හා සමානය, ප්‍රේමය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, තෘෂ්ණාව වැනි හැඟීම් එක හා සමානය.

කඳුළු හෙළන විට අප කාගේත් දැසින් වැගිරෙන්නේ, එකම මිනිස් කඳුළුය. එහි කළු, සුදු, රතු, කොළ, කහ දුඹුරු පැහැයන් දක්නට නැත.

සුදු, කළු, දුඹුරු සහ කහ පැහැති මිනිසුන්, ඔවුන්ගේ ජාතික ඇඳුම් පැළඳුම් වලින් තොරව, පෙළ ගැස්වූ විට, පැහැයේ වෙනස්කම මිස, එක්වරම, ජාතීන් වශයෙන් වෙන්ව හඳුන්වා ගැනීම දුෂ්කර වනු ඇත. නිදසුනක් ලෙස, අප්‍රිකානු කළු ජාතික මිනිසුන්, එක පෙළට තැබු විට, ඔවුන්ගේ රටවල් හදුනා ගත හැකිද? නයිජීරියානුවෙකු හා කෙන්යානුවෙකු අතර වෙනස්කම් දැකගත හැකිද? සිංගප්පූර්, කොරියානු හා චීන ජාතිකයින් එක ගොඩේ තැබූ විටද අපට සිදුවන්නේ ඉහත ගැටළුවම නොවේද? මානව විද්‍යාඥයින් නොවන අපට, මිනිස් වර්ගයාගේ සියුම් වෙනස්කම් නිරීක්ෂණය අපහසුය. එය පහසුවනු පිණිස අපි, ජාතික යැයි හැඳින්වෙන, ඇඳුම් පැළඳුම්, ආභරණ, භාෂා, ආගම්, හා වෙනත් සංස්කෘතික අංග භාවිතා කරන්නෙමු.

සිංහලයෙකුට, වේට්ටියක් අන්දවා, නළලේ විභූති අළු ඉරි කිහිපයක් ගෑ සැණින්, ඔහු දමිළයෙකු බවට පත් වෙයි. දමිළයෙකුට, ආරිය සිංහල ඇඳුමක් හෝ සරමක් බැනියමක් අන්දවා, සිංහල ගොඩක තැබු සැණින්, ඔහු සිංහලයෙකුගේ පෙනුම ගනී.

කලක් මා සේවය කළ වෙළද ප්‍රචාරණ ආයතනයක සිටි, සිංහල තරුණියක, කිසියම් සමුළුවක් සඳහා සහභාගී වීමට ගියේ සල්වා ඇඳුමකින් සැරසීගෙනය. එහි සිටි මුස්ලිම් ජාතිකයෙක් ඇයට ළංව, දමිළ බසින් කතා කළේය. තරුණිය‍ අපහසුතාවට ළංව වට පිට බලද්දි, අප අසල සිටි අප මිතුරෙක් “හොඳ වැඩේ” යැයි සරදම් කළේය. සල්වා ඇඳුම නිසා තරුණියකට මුස්ලිම් හෝ මැලේ වීමට ගත වන්නේ, ඉතා සුළු මොහොතකි. බුර්කාවට, එලිසබෙත් මහ රැජිණ වුව, මිනිත්තු කීපයක දී මුස්ලිම් කළ හැකිය.

සම්මාන ලාභි ලේඛකයෙකු හා නාට්‍යකරුවෙකු වන අයිවන් අල්විස්, මෑතකදී ඔහුගේ ජිවිතයේ මතක සටහන් එක්කොට, ග්‍රන්ථයක් කළේය. මට එහි අත්පිටපත කියැවීමට ලැබුණි. එහි එන තරමක් හාස්‍ය ජනක එහෙත් ගැඹුරු යටිපෙළක් සහිත සිද්ධියක්, මෙසේය,

ශ්‍රී ලංකාවේ, වතුකරයේ දමිළ ජනයාගේ ජීවිතය පිළිබදව තොරතුරු සොයා බැලීම අරමුණු කර ගත්, ජාත්‍යන්තර ජනමාධ්‍යවේදි කණ්ඩායමක් මෙහි පැමිණි අවස්ථාවක, අයිවන්ටද ඔවුන්ට සහය වීමට සිදුවුණි.

උඩරට වතුකරයට යාමට පෙර, මහනුවර බහිරව කන්දේ පිහිටි සත්‍යෝදය මධ්‍යස්ථානයේ දි එහි අධිපති පෝල් කැස්පර්ස් පියතුමා හා විදෙස් මාධ්‍යවේදි කණ්ඩායම අතර සාකච්ඡාවක් පැවැත්වුණි. අයිවන් අල්විස් සහ, ප්‍රවීණ සංගීතඥයෙකු වූ හේග් කරුණාරත්න ද ඊට සහභාගී වූහ.

වතුකරයේ ජනතාව සමඟ සමීපව වැඩ කළ කැස්පර්ස් පියතුමා, තම අත්දැකීම් ආශ්‍රයෙන්, පැයක පමණ දේශනයක් පැවැත් වු පසු, ප්‍රශ්න ඇසීමේ වාරය ඇරැඹිණි.

එහි, විදේශීය මාධ්‍යවේදියෙකු ඇසුවේ, වතුකරයේ දෙමළ ජනතාව හා සිංහල ජනතාව හඳුනා ගැනීමේ දී බාහිර පෙනුමේ, කිසියම් වෙනසක් ඇද්ද යනුවෙනි.

කැස්පර්ස් පියතුමා , එකවරම අයිවන් දෙසට හැරී, ඔහුට අසුනින් නැගිටින ‍ලෙස කීවේය. “ඔය ඉන්නේ සිංහලයෙක්, හොඳට බලා ගන්න.”

ඉන්පසු, හේග් කරුණාරත්න දෙසට හැරුණු පියතුමා, ඔහුද නැගිටුවාලුවේය. “මෙයාට තියෙන්නේ දෙමළ පෙනුම.”

හේග් උඩ බිම බැලූවේය. අයිවන් හා හේග් දෙදෙනාම සිංගලයෝය. එකම උසය, එකම පාටය හැඳ සිටියේ ද එකම ආකාරයටය.

අයිවන් සිනාව මැඞගෙන බිම බලා සිටියදී මාධ්‍යවේදියෝ, එක පිට එක ඡායාරූප ගන්නට, පටන් ගත්හ.

අයිවන් සහ හේග්, සිංහල-දෙමළ ‘මොඩලයන්’ දෙකක් බවට පත් කිරීමට, කැස්පර්ස් පියතුමාට ගත වූයේ අසුරු සැණකි.

තවත් රසවත් සිදුවීම් දෙකක් මගේ මතකයට නැඟෙයි. වතුකරයේ කම්කරු ජනතාව පිළිබඳ වාර්තා චිත්‍රපටයක් නිපදවීම මට පැවරුණු අවස්ථාවක රූප ගත කිරීමක් සඳහා, මාතලේ දිසුත්‍රික්කයේ තේ වත්තක්ද තෝරා ගතිමි. අර්ධ-වෘත්තාන්තයක් ලෙසින්, ම විසින් ලියන ලද, එම තිර නාටකය, අධ්‍යක්ෂණය කළේ ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුය. අපේ පහසුව සඳහා, එහි ප්‍රධාන චරිතය වූ දෙමළ කම්කරුවා ලෙස, ප්‍රවීණ රංගධර එච්.ඒ.පෙරේරා යොදා ගතිමු.

වේෂ නිරූපණ ශිල්පියා වූයේ , බුද්ධි ගලප්පත්තිය. වතු කම්කරුවෙකු ලෙස හැඳ පැළඳ, සොම්බරයක් ද බැඳගත් පසු, එච්.ඒ හා අනෙක් කම්කරුවන් අතර කිසිදු වෙනසක් නොවීය.

තේ වත්තේ පාසලේ ද දර්ශනයක් රූප ගත කිරීමට තිබුණි. එහි සිටින එකම ගුරුවරයා, පැමිණේන්නේ, මාතලේ නගරයේ සිට එන බස් රථයෙනි. මෑතකදී පැමිණියෙකු බැවින්, ඔහු, වතු කම්කරුවන් හොඳින් දැන හැඳින සිටියේ නැත. එහෙයින්, මුල සිටම ඔහු, එච්.ඒ වත්තේ කම්කරුවෙකැයි වරදවා ගත්තේය. එච් .ඒ ට යම් තරමට දෙමළ බස කතා තළ හැකි වුවත්, ඔහු “දෙමළ සර්” හා කතාවට නොගොස්, පසෙකට වී සිටියේය.

කෙසේ හෝ, එදින දහවල් ආහාරය පිළියෙල වී තිබුණේ, වතු පාලකවරයාගේ නිවසෙහිය. ගුරුවරයාට ද ඒ සඳහා ඇරයුම් ලැබුණි.

කෑමට පෙර, පොඩි අඩියක් ද ගැසු අපි, වතුපාලක සමඟ, කෑම මේසයට හිඳගත්තෙමු. එච්.ඒ. ද , ඔහු හා හරි හරියට හිඳ සිංහලෙන් කතා කරනු දුටු, ගුරුවරයාට කරුණු පැහැදිලි වුණි.

දෙවෙනි සිදුවීම මට ම සිදු වු අකරතැබ්බයකි.

පිටපත් රචකයෙකු හා බාහිර නිෂ්පාදකවරයෙකු වශයෙන්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට, නිතර යන එන කාලයේ, මට එහි බොහෝ මිතුරන් විය. ඒ අතර, වාදක මණ්ඩලයේ ශිල්පීහුද වූහ. සුප්‍රකට මැන්ඩලීන වාදන ශිල්පියෙකු වන, ඇන්තනි සුරේන්ද්‍රයන් ද, එකල වාදක මණ්ලයෙහි සේවය කළේය. ඔහු හා මා අතර එදා සිට අද දක්වාම පවතින්නේ ඉතා සුහද මිත්‍රත්වයකි.

එක් දිනක්, ගුවන් විදුලිය ඉදිරි පස විමසීම් කවුන්ටරය අසල අප දෙදෙන, කතා බහක යෙදී සිටියදී, සරමකින් හා කමිසයකින් සැරසී, මැදිවියේ පුද්ගලයෙක්, අප වෙත පැමිණියේය. ඔහු සුරේන්ද්‍රත් මා දෙසත් මාරුවෙන් මාරුවට බලා කවුටරයෙන් ලබා ගෙන තිබූ අවමංගල දැන්වීම් ලියන පත්‍රිකාවක් , ම දෙසට දිගු කළේය. “මහත්තයා , මට මේක දෙමළෙන් පුරවල දෙනවද.”  සුරේන්ද්‍ර, කොළඹ උපන් දමිළ ජාතිකයෙකි. එහෙත් අර පුද්ගලයාට අප දෙදෙනාගෙන් දමිළයා ලෙස පෙනුණේ, මහනුවර උපන් සිංහල මා ය.

සුරේන්ද්‍ර, සිනාව මැඩගෙන, අර පුද්ගලයාගේ අවශ්‍යතාවය ඉටු කර දුන්නේය. තවමත් අපි දෙදෙන මුණ ගැසුණු විට, මේ සිද්ධිය සිහිපත් කරමින් සිනාසෙන්නේමු.

මුළු ලොවම පුරාම විසිර සිටින්නේ එකම මිනිස් පවුලකි. ඔවුනට වලංගු වන්නේ එකම එක හැඳුනුම් පතකි.

ඒ, මිනිස්කමයි.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts