අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

පුල්ලෙ මඩුවට සීමාවු වතු දරුවන්ගේ මුල් ළමාවිය

අරුල් කාර්ක්කි

දරුවෙකුගේ උපතේ සිට වයස අවුරුදු 5 දක්වා කාලය ඉතා වැදගත් කාල සීමාවකි. දරුවාගේ කායික වර්ධනය, චලන සංවර්ධනය, සංජානන සංවර්ධනය, භාෂා සංවර්ධනය සහ දරුවා සහ සමාජය අතර සම්බන්ධතාවයේ සංවර්ධනය මේ කාලය තුළ සිදුවේ. අධ්‍යයනවලින් පෙනී යන්නේ පුද්ගලයෙකුගේ  ජීවිත කාලය තුළ වර්ධනය විය හැකි සංජානන සංවර්ධනයෙන් සියයට 50ක් සංවර්ධනය වන්නේ මෙම කාලය තුළ බවයි. දරුවෙකු තුළ කෝපය, බිය, කැළඹීම සහ පසුබෑම වැනි නිෂේධනාත්මක හැඟීම් වර්ධනය වන්නේ ද මේ කාලය තුළ බව පර්යේකෂකයෝ පවසති. එබැවින් මේවා නිසි ලෙස හඳුනාගෙන දරුවා දිරිමත් කිරීම, සතුටු කිරීම, උනන්දු කිරීම සහ සන්සුන් කිරීම ඉතා වැදගත් වේ.

ශ‍්‍රී ලංකාවේ වතුකරයේ දෙමව්පියෝ ශතවර්ෂයක පමණ සිට වයස මාස 3 සිට අවුරුදු 5 දක්වා දරුවන්  පුල්ලෙ මඩුවේ තබා රැකියාවට යති. එහි සිදුවන්නේ දරුවන්ට ආරක්ෂාව සහ දෙමාපියන් විසින් ලබා දෙන  ආහාර සැපයීම පමණි. පුල්ලෙ මඩුව පවත්වාගෙන යනු ලබන්නේ වතු කළමනාකරණය විසිනි. එක් එක් වතුවලට අයත් පුල්ලෙ මඩුවල දරුවන් තබා යා හැක්කේ ඒ ඒ වතුවල සේවය කරනු ලබන අයට පමණකි.

“මම රැකියාවට පැමිණි මුල් කාලයේ  පුල්ලෙ මඩුවල කිසිදු පහසුකමක් තිබුණෙ නැහැ. කඳුකරයට ගිය මව්වරුන්ගේ දරුවන් නැවත පැමිණ භාර ගන්නා තෙක් මා එම දරුවන් රැකබලාගත්තේ සාමාන්‍ය ගොඩනැගිල්ලකයි. එම ගොඩනැගිල්ල පවා හොඳ තත්වයක තිබුණෙ නැහැ,” ළමා ආරක්ෂණ මධ්‍යස්ථානයක් භාරව සිටින සෙල්වරානි මහත්මිය පවසයි.

මෙම ප‍්‍රකාශයට පිටුපසින් ඇත්තේ වතුකර පෙර පාසල් වල අඳුරු ඉතිහාසයයි. විශේෂයෙන්ම ආරම්භයේදී  පුල්ලෙ මඩුවල මූලික පහසුකම් පවා නොතිබුණි. උදේ වරුවේදී එය ළමුන් සිටින කාමරය වූ අතර සවස් වරුවේදි එය තේ දළු කිරන ස්ථානය විය. සිදුවූ එකම දෙය නම් පරණ සාරිවලින් තැනූ තොටිල්ලේ නිදාගත් දරුවන් අවදි වූ විට කිරි හා ආහාර ලබා දීම සහ නැවත නිදි කරවීමයි. මූලික වශයෙන් සිදුකෙරුණේ දරුවා ආරක්ෂා කිරිම පමණි.  එහි සේවය කළ කාන්තාව ‘ආයා’ නමින් හැඳින්විණි.

වතු කළමනාකරණය විසින් මෙම ආයාවරුන් සඳහා වැටුප් ගෙවන ලදී. ඊට අමතරව ඔවුන්ට වැඩිදුර පුහුණුවක් හෝ මූලික පහසුකම් ලබා දී නැත. එම තත්වය මේ වනතුරුත් බොහෝ    ප්‍රදේශවල පවතින අතර වතුකරයේ ජනතාව දුබල ප්‍රජාවක් ලෙස තවමත් පවතින්නේ මේ නිසාය. ඊළඟ පරම්පරාවේ දරුවන්ගේත් ජීවිතවල  වැදගත්ම කාල පරිච්ඡේදය මෙලෙස නිකරුනේ නාස්ති කර දමන්නේ ඇයි?

ශ‍්‍රී ලංකාව අධ්‍යාපන දර්ශක අනුව දකුණු ආසියානු කලාපයේ අන් කිසිදු රටකට වඩා ඉදිරියෙන්ම සිටින රටකි. අද වන විට  ශ‍්‍රී ලංකාවේ පවතින සාක්ෂරතාවයේ හා පොදු අධ්‍යාපනයේ දියුණුවට පදනම් වුයේ ශ‍්‍රී ලංකාව නිදහස ලබා ගත් පසු බලයට පත් වූ රජයන් විසින් හඳුන්වා දුන් අධ්‍යාපන ප්‍රතිපති සහ අධ්‍යාපන  ප්‍රතිසංස්කරණයි. මෙම තත්වය තුළ එක් ප්‍රජාවක් පමණක් එයින් කොන්වන්නේ ඇයි?

ශ‍්‍රී ලංකාවේ 1997 අංක 1 දරණ පනතට අනුව වයස අවුරුදු 5 සිට 14 දක්වා ළමුන් සඳහා අධ්‍යාපනය අනිවාර්ය කර ඇත. වර්තමානයේ එහි උපරිම වයස 16 දක්වා වැඩි කර ඇත. එසේම, ශ‍්‍රී ලංකාවේ අනිවාර්ය අධ්‍යාපන අවස්ථාවල ප්‍රධානම අංගයක් වන්නේ ඔවුන්ට ප‍්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා තමන්ගේ මව් භාෂාවෙන් අධ්‍යාපනය ලබා ගැනීමට හැකිවීමයි. වතුකරයේ ජනතාව මෙම අවස්ථාවන් ලබා ගැනීමෙන් වැළකී සිටීමට හේතුව කුමක්ද? වතුකරයේ ඇති පාසල්වල අධ්‍යාපනය ලබන බොහෝ දරුවන් පාසැල හැර යන බව කියති. මෙයට හේතුව දරිද්‍රතාවයට වඩා දරුවන්ට අධ්‍යාපනය කෙරෙහි ඇති උනන්දුව අඩු වීමයි. මෙලෙස අධ්‍යාපනය ලැබීමට ඇති උනන්දුව අඩුවීමට හේතුවක් වන්නේ  අවුරුදු 1 සිට 5 දක්වා වූ ඉතා වැදගත් කාල පරිච්ඡේදය තුළ එම දරුවන්ට මඟ පෙන්වනු ලැබූ ආකාරයයි. ආරම්භයේ දී අත්තිවාරමක් නොමැතිව ඔබට ගොඩනැගිල්ලක් සාදා ගත හැක්කේ කෙසේද?

අද වන විට පෙර පාසල් අධ්‍යාපනය නගරය කේන්ද්‍රීයj ජාත්‍යන්තර ප්‍රමිතින් දක්වා වර්ධනය වී තිබේ. එහෙත් සැමට සමව  ලැබිය යුතු යැයි සැලකෙන අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වතුකරයේ පෙර පාසල් අධ්‍යාපනය මේ දක්වා කිසිදු  ප්‍රගතියක් නොමැත.

දේශීය ආර්ථිකයට සහ පාලන ක්‍රමය සඳහා වතුකරයේ ජනතාව පූර්ණ දායකත්වයක් ලබා දෙති. නමුත් ඔවුන්ගේ මූලික අවශ්‍යතා වන සෞඛ්‍ය, නිවාස ඉදිකිරිම් හා පෙර පාසල් අධ්‍යාපනය ලබා දීම වතු සමාගම්වල වගකීම වේ.

වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ ළමා ආරක්ෂණ හා සංවර්ධනය සම්බන්ධ මධ්‍යස්ථාන ග්‍රාමීය හා නාගරික මට්ටමින් ක්‍රියාත්මක වෙමින් පවතී. මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන පෙර පාසල්, මොන්ටිසෝරි, දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආදී වශයෙන් හැඳින්වේ. එහෙත්, සිය අත්දැකීම් අප සමඟ බෙදාගත් සෙල්වරානි පවසන්නේ අතීතයේ සිට අද වනතුරුත් වතුකරයේ ළමුන් රැකබලාගන්නා තැන් හඳුන්වන්නේ පුල්ලෙ මඩුව ලෙස බවයි. රාජ්‍ය නොවන සංවිධානවල අනුග‍්‍රහයෙන් සහ සමහර දේශපාලනඥයන්ගේ අධීක්ෂණය යටතේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන නමින්  ස්ථාන කිහිපයක් මේ වන විට විවෘත කර ඇතී නමුත් වතුකරයේ ජනතාව තවමත් එම ස්ථාන දකින්නේ පුල්ලෙ මඩු ලෙසටමය. ඊට හේතුව පුල්ලෙ මඩු හා මෙම මධ්‍යස්ථා අතරන විශාල වෙනස්කමක් දකින්නට නොමැති වීම යැයි ඇය පෙන්වා දෙයි.

1997 රජයේ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවලින් පසු රජය මුල් ළමාවිය වැඩසටහන් හා සම්බන්ධ ප‍්‍රධාන ක‍්‍රියාකාරකම් පුළුල් කරන ලදී. එම කාලය තුළම, වැවිලි මානව සම්පත් සංවර්ධන අරමුදල හරහා වතුකරයේ  පෙර පාසල්වල සුළු යටිතල පහසුකම් සංවර්ධනය සිදු විය. එහෙත් වතු කළමනාකරණය මේ සඳහා වගකීම භාර ගත යුතු විය. රැකබලා ගන්නන්ගේ පුහුණුව, උපදේශනය හා ඒ සඳහා අවශ්‍ය වන භාණ්ඩ වැනි මූලික පහසුකම් ඔවුන් කිසි විටෙකත් වැඩි දියුණු කර නොමැත.

“ඉස්සර කාලෙ රැකවරණ මධ්‍යස්ථානයට ළමයින් ගෙන එන්නේ නම්, මව්පියන් විසින් දරුවාට අවශ්‍ය ඇඳ ඇතිරිලි  සහ තොටිල්ලද රැගෙන ආ යුතුයි. එසේ නොවුවහොත් අපි ළමයින් එහි තිබෙන ගෝනිවල නිදි කරවනවා,” යැයි සෙල්වරානි ඇයගේ පැරණි  අත්දැකීම් බෙදා ගත්තාය.

සෙල්වරානි පවසන පරිදි දරුවන්ගේ දෙමව්පියන් විසින්ම දරුවන්ගේ සියලූ අවශ්‍යතා සපුරා ඇත. එබැවින් දරුවන්ට ප‍්‍රමාණවත් ශාරීරික හා මානසික රැකවරණය සහ සෞඛ්‍යාරක්ෂාව ලබා ගැනීමට නොහැකි වූ බව ඇය පවසයි.

ඇයගේ සේවා කාලය අතරතුර මව්වරුන් නිතිපතා තම දරුවන්ට ගෙනෙන ආහාර පිලිබඳ  විමසූ විට ඇය පවසන්නේ ඒවා හුදෙක් තිරිඟු පිටි වලින් සාදන ලද රොටී  සහ බත් බවයි. මේවා සෞඛ්‍ය සම්පන්න ආහාර නොවේ. මෙම ආහාර මඟින්  දරුවන්ට අවශ්‍ය පෝෂණය කිසිසේත්ම නොලැබෙන බව නැවත නැවතත් එම දරුවන්ගේ මව්වරුන්ට පැවසුවද, දෙමාපියන්ගේ ආර්ථික තත්ත්වය තවමත් දරුවන්ගේ පෝෂණයට බාධාවක් වී ඇති බව ඇය පවසයි.

පෙර පාසල්වල සෞඛ්‍යාරක්ෂාව, පෝෂණය, පිරිසිදු පානීය ජලය, සනීපාරක්ෂාව හා ළමා සංවර්ධනය ආදිය ගැන වතු කළමනාකරණය තැකීමක් නොකරයි. රජය ඒ සම්බන්ධ මූලික වශයෙන් වගකිව යුතුය. එබැවින් වතුකරය පමණක් රජය විසින් නොසලකා හැරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය යුතුය.

මෙම දරුවන්ගේ දුක්ඛිත තත්වය පිලිබඳ දැනගත් පෞද්ගලික පුණ්‍යායතන කිහිපයක් උපකාර කරන්නට ඉදිරිපත් විය. “ඒ හරහා මේ වන විට අපට ගෘහ භාණ්ඩ හා අවශ්‍යව තිබු දේ කිහිපයක් ගන්නට හැකිවුණා,” යැයි සෙල්වරාණි පැවසුවාය.

කෙසේ වෙතත් වැවිලි මානව සංවර්ධන අරමුදලේ හිටපු අධ්‍යක්ෂ වී. පුතිරසිකාමනී පැවසුවේ සාපේක්ෂව වතු ළමා සංවර්ධන මධ්‍යස්ථාන මේ වන විට සංවර්ධනය වෙමින් පවතින බවයි. “පසුගිය යහපාලන කාලය තුළ ලෝක බැංකු ණය ආධාරයෙන් ළමා සංවර්ධන මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීමේ ක‍්‍රියාකාරකම් සහ ළමා සංවර්ධන මධ්‍යස්ථාන නිලධාරීන් සඳහා පුහුණු කිරීම් ලබා දුන්නා. එය අඛණ්ඩව සිදුවෙනවා තවමත් දැකිය හැකියි. වතුකරයේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන සම්බන්ධයෙන් රජය පූර්ණ වගකීම භාර ගත්තොත් මෙම ක්ෂේත‍්‍රයේ සේවය කරන අයගේ රැකියා අහිමි විය හැකියි. එම සංවර්ධන මධ්‍යස්ථානවල නිලධාරීන් ලෙස බහුතර ජාතිය නියෝජනය කරන අය  පත් කිරීමට ඉඩ ඇති බව ඔහු පවසයි.

මේවා අධීක්ෂණය කරන විට පෙනී යන්නේ පෙර පාසල් සම්බන්ධ ප‍්‍රතිපත්ති එක් පසෙකින් තිබියදී වතුකරයේ ගැටලු ඊට හාත්පසින්ම වෙනස් බවයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ ඇති  154 වගන්තිය මඟින් පෙර පාසල් කළමනාකරණය කිරීම සඳහා පළාත් සභාවලට අවශ්‍ය බලතල ලබා දී ඇත. වතු කම්කරු ජනතාව බහුතරයක් ජිවත් වන මධ්‍යම හා ඌව පළාත්වල පවා, වතු  පෙර පාසල් වැඩි දියුණු කිරීම සඳහා මේ වන තෙක් සැලකිය යුතු ප‍්‍රයත්නයක් දරා නොමැත. පළාත් සභාවට එම අරමුදල් මගින් ව්‍යපෘති සංවිධානය කර ඒ සඳහා අවශ්‍ය ප‍්‍රමිතීන් සකස් කර රැකබලා ගන්නන් සඳහා පුහුණුව ලබා දිය හැකිය. එහෙත් මේවා කළ නොහැක්කක් බවට පත්ව ඇත්තේ කඳුකරයේ දේශපාලනයේ ගැටලු නිසාය.

සෙල්වරානි මේ වන පෙර පාසල් ඩිප්ලෝමාධාරිනියකි. ලෝක බැංකුවේ අරමුදල් හරහා ජාතික අධ්‍යාපන ආයතනය විසින් පිරිනමන ලද පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ඩිප්ලෝමාවක් ඇය ලබා ගෙන ඇත. නමුත් දැන් ඇය මුහුණ දී සිටින්නේ වෙනත් ආකාරයේ ගැටලූවකටය. එනම්, ඇගේ දැනුම හා කුසලතා  ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සහ මගපෙන්වීමක් ඇය සේවය කරන පෙර පාසලට නොමැතී වීමයි. ඉගැන්වීමේ උපකරණ හෝ විධිමත් විෂය නිර්දේශ ආකෘතියක් ද එහි නොමැත.

  මේවා සමාගම් යටතේ තබාගැනීමට හේතුවක් තිබේ. එනම් මෙම ජනතාවගේ සමාජ සුභසාධනය සඳහා තමන් දායක වන බව ජාත්‍යන්තර ප්‍රජාවට සහ රාජ්‍යයට පෙන්වීමට මෙය අවස්ථාවක් කර ගනිමින් එමඟින් ඔවුන් හට යම් ප්‍රතිලාභයක් භුක්ති විඳිය හැකි වීමයි.

මුල්‍ය සම්පත් සමානව බෙදා හැරීම සහ ඵලදායී ලෙස භාවිතා කිරීම තුළින් මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය සඳහා කරනු ලබන සේවාවන් පිළිබඳ ව්‍යාපෘති රජය විසින් ක‍්‍රියාත්මක කළ යුතුය.

  ප්‍රජාවක් පොහොසත් කළ හැක්කේ මෙවැනි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කල විට පමණි. අනාගත පරම්පරා වෙනුවෙන් හෝ එසේ නොකර සිටීමෙන් සිදුවන්නේ දැනටමත් දුබලව සිටින ප්‍රජාව තව තවත් දුබල කරවීමයි.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts