සාමය

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හා මුසල්මානුවකුගේ හෘදය සාක්ෂිය

එම්.එස්.එම්.අයුබ්

එම අවාසනාවන්ත දිනය වූ 2019 අප්‍රේල් 21 වැනිදා උදයේ මම මගේ දියණිය සමඟ කොළඹ පුරහල වෙත බස් රථයකින් ගමන් කරමින් සිටියෙමි. බස් රථයේ ගුවන් විදුලිය හිටි අඩියේ එතෙක් වාදනය කරමින් සිටි ගීතය අතරමඟ නතර කොට, විශේෂ ප්‍රවෘත්තියක් විකාශය කරන්නට විය. ඉන් කියවුණේ කොළඹ කොටහේනේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිදු වූ විශාල පිපිරීමකින් විශාල පිරිසක් මියගොස් ඇති බවත් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත්ය.

මට මොහොතකට මගේ සවන් අදහාගත නොහැකි විය. මේ සිහිනයක්දැයි මට මොහොතකට සිතිණි. ඒ කලෙකට ඉහතදී කොතෙකුත් බොම්බ පිපිරීම් හා මිනිස් ඝාතන ගැන අසන්නට ලැබුණද, ගතවූ දස වසරක කාලය තුළ අපට බෝම්බ පිපිරීම් ගැන අසන්නට නොලැබුණු බැවිනි. මා තවදුරටත් වික්ෂිප්තභාවයට පත්වූයේ බස් රථයේ සිටි අනෙක් මඟීන්ගේ ප්‍රතිචාරයෙනි. එම ප්‍රවෘත්තියත් සමඟ බස් රථය කඩි ගුලක් සේ ඇවිස්සී යා යුතු වුවද මඟීහු කිසිවක් සිදුනොවූ කලෙක මෙන් බලා ගත් අත බලාගෙන සිටියහ.

අපි පුරහල බස් නැවතුමේදී බසයෙන් බැස්සෙමු. මිනිස්සු තම තමන්ගේ ගමන් බිමන් ගැන විනා අන් කිසිවක් පිළිබඳව උනන්දු වූ බවක් නොපෙනිණි. මහා මාර්ගය සන්සුන්ය. කිසිදු දෙයක අසාමාන්‍ය බවක් නොපෙනිණි. සිදුවන්නේ කුමක්දැයි පැහැදිලි නොවූයෙන් දියණිය ඇගේ උපකාරක පන්තියට වෙනත් බස් රථයකින් යවා, මම අසල පිහිටි අපගේ පුවත්පත් කාර්යාලය වෙත පිය මැන්නෙමි. එහි කර්තෘ මණ්ඩලයේ සියල්ලෝ රූපවාහිනී යන්ත්‍රය වටා රුස්වී සිටියහ. එතැනට ගිය මට රූපවාහිනියෙන් දකින්නට ලැබුණේ අති බිහිසුණු දර්ශනයකි. මා කොළඹ මධ්‍යම දුරකතන කාර්යාලයේ සිදුවූ බෝම්බ පිපිරීම වැනි බිහිසුණු සිදුවීම් වාර්තා කොට අත්දැකීම් ඇතිව සිටියද, රූපවාහිනී තිරයේ දකින්නට ලැබුණේ ඒ සියල්ලට වඩා අතිශයින් හද කම්පා කරවන දර්ශනයකි. 

දූෂිත පාලකයින් හා අකටයුතුකම්වලින් පිරුණු නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයන් හේතුවෙන් මරණ දඬුවම සම්බන්ධයෙන් මගේ ප්‍රසාදයක් නැති වුවද, “මේ වගේ අපරාධ කරන මිනිසුන්ටත්  මරණ දඬුවම නොදිය යුතුයි කියා සිතනවාද”යි අසල සිටි මරණ දඬුවමට එරෙහි මගේ මිත්‍රයකුගෙන් අසුවෙමි. ඔහු මා දෙස බලා කිසිවක් නොපවසා යන්තමට සිනාසී යළි රූපවාහිනී තිරය වෙතට යොමු විය.

තවත් කිතුනු දේවස්ථාන දෙකකට හා සංචාරක හෝටල් තුනකට එල්ල වූ මෙවැනිම ප්‍රහාරයන් පිළිබඳ වාර්තා ගලා එමින් තිබිණි. ප්‍රහාර එල්ල කරන්නන් පිළිබඳව කර්තෘ මණ්ඩල සාමාජිකයින් වෙතින් විවිධ අනුමානයන් පළ විය. ආණ්ඩුව අපකීර්තියට පත් කොට බලයට පත් වන්නට මාන බලන්නන්, රටේ අවුල් ඇති කොට රටේ කටයුතුවලට ඇඟිලි ගසන්නට මාන බලන විදේශිය බලවේග, කොටි සංවිධානය ආදීන් ඒ අනුමාන අතර වූහ. මේ අතර දිගු වේලාවක් දුරකතනයේ එල්ලී සිටි අපගේ මිත්‍රයෙක් එක් වරම නැඟී සිට, රිසිවරය දුරකතනයේ තබමින්, “අයි එස් තමයි කරල තියෙන්නෙ” යි කියමින් කතෘවරයාගේ කාමරය වෙතට දිව ගියේය. ඔහු ඉන් අදහස් කළේ ඒ වන විට මැද පෙරදිග රටවල මහා භීතියක් පතුරුවමින්, මහා විනාශයක් කරමින් සිටි “ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩ් සිරියා” හෙවත් “අයි එස් අයි එස්” සංවිධානය බව කාහටත් පැහැදිලි විය.

දෙවියන් වඳින්නට දේවස්ථානයට ගිය අහිංසකයින් සිය ගනණක් මරා දැමූ ඝාතකයින් මා අයත් ආගමටම සම්බන්ධ වූවන්යැයි අසන්නට ලැබීම නිසා ඉමහත් ලජ්ජාවක් හා වරදකාරී හැඟීමක් මා සිත වෙලා ගත්තේය. දහවල් වන විට බලධාරීන් ප්‍රහාරකයින් හඳුනා ගත් අතර, කිතුනුවන්ගේ අති පූජනීය වූ දිනෙක, කිතුනුවන්ම ඉලක්ක කොට මෙම ප්‍රහාර එල්ල කොට ඇති බවද ඉතා පැහැදිලි විය. මෙම ම්ලේච්ඡ සාහසිකයින්හට මගේ සිත ශාප කළද මගේ ආගමේම නාමයෙන් මෙම අපරාධය කර ඇති බව දැන ගත් පසු මා අවට සිටින්නන්ගෙන් කී දෙනෙක් මා මේ පාපයෙන් මුදාලන්නට සූදානම්දැයි යන සැකය හේතුවෙන් මා සිත තුළ ඇති දේ කියන්නට පැකි`ථණෙමි. මගේ ප්‍රජාව තුළම මෙතරම් සාහසික පිරිසක් සිට ඇතැයි යන අප්‍රසන්න යථාරථය නොපිළිගැනීමට මගේ සිත දැඩි අරගලයක නිරත විය. එහෙත් එය අසාර්ථක අරගලයක් විය. 

මෙම විනාශය සම්තබන්ධයෙන් මෙරට මුස්ලිම් ජනතාවගේ ප්‍රතිචාරය කුමක්දැයි එම විනාශය සිදු වීමෙන් පසු ගතවූ දින කිහිපය තුළ මම දැඩි විමසිල්ලෙන් බලා සිටියෙමි. මුස්ලිම් පිරිස් විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි, පුවත්පත් හෝ කිසිදු පුද්ගලයකු හෝ ඡායා මාත්‍රයකින් හෝ මෙම අපරාධය සාධාරණීකරණය කරනු දක්නට නොලැබුණු අතර, තමන් ජාතිවාදී ප්‍රහාරවලට ලක්වූ අවස්ථාවලදී තමන් දෙස අනුකම්පාවෙන් බැලූ හා තමනට සහයෝගය පළ කළ ජන කොට්ඨාශයකට එරෙහිව එල්ල කෙරුණු මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය ඔවුන් දැඩි ලෙස හෙළා දකිනු දැකීම සිතට සහනයක් විය.

එහෙත් කිසිවකුට යථාර්ථය නොදකින අන්ධයකු විය නොහැකිය. මගේ ප්‍රජාව අතර සිටි කණ්ඩායමක් මේ රටේ ඉතිහාසයේ දරුණුතම අපරාධයක් කර ඇති බව පිළි ගත යුතුව ඇත. මාද ඇතු`ථ මෙරට මුස්ලිම්වරුන්ගෙන් අති බහුතරය එම යථාර්ථය දුටුවේ තමන්ගේ ආගමේ නාමයෙන්  සාහසික අපරාධ වැලක් සිදුවීමෙන් පසුය. ඒ අනුව මෙම ජන ඝාතක මතවාදය වැළඳ ගත් තවත් සු`ථ පිරිසක් හෝ තවදුරටත් නිදැල්ලේ අප අතර සිටිය යුතුය යන්න පැහැදිලිය. වරදකාරී හැඟීම හා ලජ්ජාවත්, දේශපාලන අරමුණෙන් දියත් වූ ජනමාධ්‍ය ව්‍යාපාරයක් විසින් මුස්ලිම් ජනතාවට එල්ල කරන ලද අපහාස කන්දරාවත් විසින් මුස්ලම් ජනතාව ආත්ම පරීක්ෂාවක් වෙතට තල්ලු කෙරිණි. එය යහපත් තත්ත්වයක් විය. එසේ වුවද මුස්ලිම් විරෝධී ජනමාධ්‍ය ව්‍යපාරය ඉතා ඉක්මනින්ම දරුණු ස්වරූපයක් ගත්තෙන්, ආත්ම පරීක්ෂාව සඳහා වූ එම නැඹුරුව ආත්ම ආරක්ෂාව පිළිබඳ වූ නැඹුරුවක් බවට පත්විය. 

ආයතන කිහිපයක් හා ජනමාධ්‍යවේදීන් සු`ථ පිරිසක් හැර, සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් පළ කෙරෙන සමාජ හා ප්‍රධාන ප්‍රවාහයේ ජනමාධ්‍ය සියල්ල පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයට මුස්ලිම් සියලු දෙනා වගකිව යුතු නැතැයි කියමින්ම, මුස්ලිම් සියලු දෙනා පමණක් නොව ඔවුන්ගේ ආගම සංස්කෘතිය හා ජීවන ක්‍රමයද ම්ලේච්ඡවූද, වෙනස් මත නොඉවසන්නාවූද, අශිෂ්ටවූද හා මු`ථ ලෝකයටම හානිකරවූද ඒවා ලෙස චිත්‍රණය කළේය. අතීතයේ යම් යම් හුදකලා සිදුවීම් සිදු වී තිබුණද, මෙරට මුස්ලිම් ජනතාව වසර දහසකට වැඩි කාලයක් මේ ආගම, සංස්කෘතිය හා ජීවන ක්‍රමය සහිතව මේ රටේ සිංහල හා දෙමළ ජනතාව සමඟ සමඟියෙන් ජීවත් වූහයි යන සත්‍යය දින කිහිපයක් තුළදීම අමතක කරන්නටත් රටට අමතක කරවන්නටත් ඔවුහු සමත් වූහ. 

ජනමාධ්‍ය සාමකාමී ජන කොට්ඨාසයක් කෙතරම් භයානක ලෙස චිත්‍රණය කළේදයත් රට පුරා මුස්ලිම් ජනතාව ඇතැම් පිරිස්වල ප්‍රහාරවලට ලක් වීමේ අනතුරක් මතුවූ අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ මැරවරයින්ගේ ප්‍රහාරවලට ලක්ව ගිනිබත් විය. එහි විශේෂත්වය නම් එම ප්‍රහාරකයින් ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පීඩාවට පත්වූ කිතුනුවන් නොවීමත්, ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වී සති තුනකට පසුව මෙම මැරවර ප්‍රහාර එල්ල වීමත්ය. මෙම මැරවර ප්‍රහාර ජනමාධ්‍යයේ වෛරී ප්‍රචාරයේම ප්‍රතිඵලයක්ය යන්න ඉන් මනාව පැහැදිලි වේ. 

මැරවර ප්‍රහාර පිළිබඳ බිය මුස්ලිම් ජනතාව අතර ආරම්භ වී තිබූ ආත්ම පරීක්ෂාව සඳහා වූ නැඹුරුව වියැකී යන්නටද හේතු විය. සිදු වූයේ කුමක්දැයි තේරුම් ගන්නට ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු ඉස්ලාමීය සාහිත්‍යය පෙරළා බලන්නටත් විවිධ මුස්ලිම් ක්‍රියාකාරිකයින් සමඟ අදහස් හුවමාරු කර ගන්නටත් යොමු වී සිටි මමද මැරවර ප්‍රහාර පිළිබඳ බිය විසින් වෙනතකට යොමු කරනු ලැබුවෙමි.

මේ වන විට අන්තවාදී මතවාදය කොතෙක් දුරට මුස්ලිම් ජන සමාජය තුළට කාවැදී ඇත්දැයි කිසිවතු නොදනී. සියවස් ගනණාවක් මෙරට මුස්ලිම් ජනතාව ඇදහූ ආගම හා අන්තවාදය වෙන් කොට හඳුනා ගන්නට තමන්හට නොහැකි බව බලධාරීන් ඔප්පු කොට ඇත. සියවසකට ආසන්න කාලයක් මෙරට තුළ ක්‍රියාත්මක මද්රසා පාසල් හා කාති අධිකරණ තුළ ඔවුහු එය සොයමින් සිටිති. එම ආයතන කාලයට ගැළපෙන අයුරින් ප්‍රතිසංස්කරණය විය යුතු වුවත් අන්තවාදය හා ඒවා අතර සම්බන්ධයක් ඇති බවට සාක්ෂි නැත.

මුස්ලිම් ජනයා අතර ඇති අන්තවාදය හඳුනා ගෙන එය තුරන් කිරීමේ හැකියාව හා ප්‍රධාන වගකීම ඇත්තේ මෙරට මුස්ලිම් ජනතාවටය. ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමඟ එම ජනතාව තුළ ඇති වූ ලජ්ජාව හා වරදකාරී හැඟීම වෙනතකට හැරෙන්නට ඉඩ නොදී එම හැඟීම් තුළම ඔවුනට තවදුරටත් ජීවත් වන්නට ඉඩ හැරියේ නම් මෙම කටයුත්ත පහසු වන්නට ඉඩ තිබිණැයි මම දැනුදු දැඩිව විශ්වාස කරමි.  

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts