සාමය

පළාත් සභා කොවිඩ් වසංගතය සහ ජනතාව

සී ජේ අමරතුංග

කොවිඩ් 19 වසංගතයට රට මුහුණ දී දැන් වසරකට වැඩි කලක් ගෙවී ගොස් ඇත. මේ ලියන මොහොත වන විට රට තිබෙන්නේ ඉතා බැරෑරුම් අර්බුදකාරී අවස්ථාවක ය. රට වසා තබමින්, සංචරණ සීමා ක්‍රියාත්මක කරන්නට සිදු වී තිබේ. ඒ අතර ජන ජීවිතය බොහෝ දුරට නැවතිලා ය. එදිනෙදා ජීවනෝපාය කරගත් අයට එම කටයුතු කර ගන්නට බැරි ය. ආදායම් මාර්ග ඇහිරිලා ය.

අනෙක් අතට මහජනයාට අත්‍යවශ්‍ය ආහාර සහ වෙනත් අවශ්‍යතා සපයා ගැනීම ද ප්‍රශ්නයක් වී තිබේ. රජය නොයෙකුත් සැලසුම් ගැන කීව ද ඒවා බිම් මට්ටමේ සාර්ථකව ක්‍රියාත්මක වන්නේ නැත. පහසුකම් සැලසීම උත්සාහයන්හි කිසිදු විධිමත් බවක් නැත. ඒවා ක්‍රියාත්මක වන්නේ තැන තැන්වල ය. සියල්ලෙහි දක්නට තිබෙන්නේ අයාලේ යන තත්ත්වයකි. රටේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වන ත්ත්ත්වය එය යි.

අඩු තරමින් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ක්‍රියාවලිය පවා බිඳ වැටී ඇති බව කිවහොත් අතිශයෝක්තියක් නොවනු ඇත. ආණ්ඩුව ජනමාධ්‍ය ඔස්සේ කියන දේ බිම් මට්ටමේ සිදුවන්නේ නැත. කොවිඩ් රෝගීන් ප්‍රතිකාර සඳහා රැගෙන යාම පවා විධිමත්ව සිදු නොවේ ඒ බව තහවුරු කරමින් මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිතුමා මාධ්‍යයට ප්‍රකාශ කළේ රෝගීන් රැගෙන යාමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නොකියන ලෙස සහ එය කිරීමේ හැකියාවක් ඔවුන්ට නැති බව යි.

කොවිඩ් රෝගීන් රැගෙන යාමට පෞද්ගලික හෝ පොදු ප්‍රවාහන සේවා යොදාගැනීම ද , අනතුරුදායක ය. එය කළ යුතු වන්නේ කිසියම් ගිලන් රථ සේවයක් මගිනි. මුල දී ගිලන් රථ සේවා එම කටයුත්ත හොඳින් ඉටු කළ ද, පසු කාලයේ එවැන්නක සේවය ලබාගැනීම ද ප්‍රශ්නයක් වී ය. ඇතැම් ගිලන් රථ සේවා කීවේ රෝගීන් රැගෙන ගිය විට රෝහල්වලින් භාර නොගන්න බව කි. එය සිදුවිය නොහැකි බව රජය කීව ද, බිම් මට්ටමේ තත්ත්වය එය යි.

නිවෙස්වල නිරෝධායනය වන ආසාදිතයින්ට සහ ආශ්‍රිතයින්ට අවශ්‍ය අහාර මල්ලක් නිවෙසට ම සැපයීමේ සැලැස්මක් මුලින් ක්‍රියාත්මක වුව ද, මේ වනවිට එය සිදුවන්නේ නැත. එසේත් නැතහොත් සිදු වන්නේ අවිධිමත් ආකාරයෙනි . ඒ බවට සාක්ෂි ඕනෑ තරම් ඇත.

එන්නත් කිරීමේ කටයුතුවල ද මෙම අවුල ප්‍රදර්ශනය වී ය. විධිමත් සැලැස්මක් නැති තැන ඇතැම් දේශපාලනඥයෝ රජ කළ හ. ඇතැම් තැනක, රජයේ නිලධාරීන්ට නියෝග දෙන්නට ගොස් ප්‍රශ්න ඇතිකර ගත් හ.

මේ සියල්ල දකින සහ විඳින මහජනයා කියන්නේ කොවිඩ් වසංගතයට මුහුණ දීමේ සමස්ත ක්‍රියාවලිය ම අවුල් ජාලයක් බවට පත්ව ඇති බව යි. රජය සහ ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයන් කුමක් කීව ද යථාර්ථය ද එය යි.

මෙයින් ප්‍රධාන ප්‍රශ්නයක් ප්‍රදර්ශනය වෙයි. එනම්, මෙම වැඩ පිළිවෙළට ප්‍රාදේශීය මට්ටමින් නායකත්වය දිය හැකි සහ එම අධිකාරී බලය සහිත දේශපාලන නායකත්වයක් නොමැති වීම යි. 

ඇතැම් දේශපාලනඥයින් මෙම වැඩ පිළිවෙලට පිවිස ඇත්තේ ඒ සඳහා අධිකාරී බලයක් හෝ වගකීමක් හෝ නැතිව ය. ඔවුන් මේ තුළ  කරන්නේ තමන්ගේ ප්‍රචාරක ව්‍යාපාර සහ තම අනුගාමිකාවන්ට සැලකීමේ වැඩ සටහන් ක්‍රියාවට නැගීම පමණකි. ඒවා වැඩ අවුල් කරන ක්‍රියා වනවා  මිස, වැඩ වඩා සංවිධිත කිරීම හෝ කාර්යක්ෂම කිරීම හෝ එමගින් සිදුවන්නේ නැත.

ගම් මට්ටමේ ක්‍රියා සංවිධානාත්මකව කිරීමේ යාන්ත්‍රණයක් ලෙස පළාත් සභාවල වැදගත්කම කැපී පෙනෙන්නේ මෙම අර්බුදය තුළ ය. ඇතැම් ප්‍රදේශවල මහජනයා දැන් මේ ගැන කතා කරන්නට පටන් ගෙන ඇත. ඔවුන් කියන්නේ අහවල් දේශපාලඥයා සිටියා නම් තමන්ට මෙම ඉරණම අත් නොවන බව යි. බොහෝ විට ඔවුන් කියන්නේ පළාත් සභාවල හිටපු මහා ඇමතිවරු හෝ බලවතුන් හෝ ගැන ය.

ඒ ඇතැම් බලවතුන් අද ද සිටිති. යම් යම් වැඩ  සටහන් ද කරති. එසේ වුව ද, ඔවුන් දැන් සිටින්නේ විධිමත් අධිකාරී බලයක් නොමැතිව ය.

පළාත් සභා ක්‍රමය මේ රටේ ආරම්භ වන්නේ ගැටුම්කාරී වාතාවරණයක් තුළ ය. එය උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ ජනයාගේ ඉල්ලීම්වල ප්‍රතිඵල වශයෙනි. එනම්, ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලෙස ය.

එය 1987 දී බිහිවන්නේ ඉන්දු – ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් වශයෙනි. ඒ නිසා ම ආරම්භයේ සිට ම එයට විරුද්ධත්වයක් තිබිණි.  1988 -89 කැරැල්ලේ ප්‍රධාන සටන් පාටයක් වුයේ ද පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම යි.

කෙසේ වෙතත්, කල් යාමේ දී මෙම ක්‍රමය අපගේ දේශපාලන ව්‍යුහයේ වැදගත් කොටසක් බවට පත්වුයේ එයින් කළ හැකි කාර්යභාරය මහජනයා මෙන් ම බොහෝ දේශපාලඥයන් ද හඳුනාගත් හෙයිනි.

රජරට බර්ටි දිසානායක වැනි ප්‍රබල දේශපාලනඥයින් කැබිනට ඇමති තනතුරු අතහැර පළාත් සභාවට ගියේ එයින් මහජනයාට වඩා සමීපව විශාල වැඩ කොටසක් කළ හැකි නිසා ය. අදත් බොහෝ දේශපාලඥයින් පළාත සභා ඉල්ලන්නේ සහ  ඒවාට පත් වන්නට හදන්නේ එයින් විශාල වරප්‍රසාද ලැබෙන නිසා නොවේ. එහි වැඩ කිරීමෙන් ජනතාව අතර හොඳ පදනමක් ගොඩ නගා ගත හැකි හෙයිනි.

පළාත සභාවලින් කළ වැඩ, නොකළ වැඩ, සහ කරන්නට නොදුන් වැඩ ගැන බොහෝ දේ කතා කළ හැකි ය. එසේ වුව ද, මෙය එයට අවස්ථාව නොවේ. මෙයින් අප සලකා  බලන්නේ මේ මොහාතේ පළාත් සභා ක්‍රියාත්මක වුයේ නම් කොවිඩ් වසංගතයට මුහුණ දීමට එය කොතරම් පිටි වහලක් වන්නේ ද යන කරණය යි.

මේ වනවිට පළාත් සභා ක්‍රියාත්මක නැත. එයට මතුපිට හේතුව නම් පළාත් සභා මැතිවරණය නව  ක්‍රමයකට පැවැත්වීමට තීරණය කිරීම සහ එහි දී ඇති වූ අවුල යි. එසේ වුව ද, එයට දේශපාලන බල අරගලය සම්බන්ධ වෙනත් හේතු ද ඇත. පළාත් සභා අහෝසි කිරීමට තවමත් දැරෙන උත්සාහය ද, එක හේතුවකි.

කෙසේ වෙතත්, මින් සිදු වී තිබෙන්නේ කොවිඩ් 19 වසංගතයට පළාත් මට්ටමින් සහ ගම්  මට්ටමින් ක්‍රියාත්මක විය හැකිව තිබු වැදගත් යාන්ත්‍රණයක් අක්‍රිය වී පැවතීම යි.මෙම සිවිල් පරිපාලන යාන්ත්‍රනයේ බිදවැටිම හේතුවෙන් සිවිල් කටයුතු සදහා අදාල නොවන පාර්ශව සම්බන්ධ කරගැනීමට ද ආණ්ඩුවට සිදුව ඇත.

සමහරු කියන්නේ පළාත් සභාව නැතත් එම කටයුතු ආණ්ඩුකාරයාට  කළ හැකි බව සහ දැනට කරන බව යි. එසේ වුව ද, ආණ්ඩුකාරවරයාට හැකි වී තිබෙන්නේ පළාත සභාවේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යන්නට පමණකි. වැඩ සඳහා දේශපාලන නායකත්වයක් දීමට ඔහුට හෝ ඇයට හෝ හැකියාව නැත. මෙම කොවිඩ් අර්බුදයේ දී ඒ බව වඩාත් තහවුරු වෙමින් පවතියි.

පළාත් සභාවට පළාතේ රාජ්‍ය යාන්ත්‍රනය මෙහෙයවා ගැනීමේ නිල බලය මෙන් ම හැකියාව ද ඇත. දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය ආයතන නිලධාරීන්, සහ සමස්තයක් ලෙස රාජ්‍ය යාන්ත්‍රනය මෙම හදිසි අවස්ථාවේ දී, මෙහෙයවා ගැනීමේ හැකියාව පළාත් මහා ඇමති සහ පළාත්  සභාව සතුව පැවතිනි. එමෙන් ම, බිම් මට්ටමින් කළ යුතු දේ  ගැන අවබෝධයක් ද ඔවුන් සතු ය. 

අනෙක් ඉතාම වැදගත් දේ නම් පළාතේ ජනයා සමග ඇති කිට්ටු සම්බන්ධය යි. ජනතාවගේ ප්‍රශ්න වහාම සංනිවේදනය වන්නේ ඔවුන්ට ය. ජනයාගේ ජීවනෝපාය, ඔවුන්ගේ ප්‍රශ්න, මෙන් ම, ඒවාට විසඳුම් දෙන ආකාරය ගැන ද දැනුමක් ඔවුන් සතු ය.

මේ සියලු කරුණු සැලකිල්ලට ගැනීමේ දී පෙනී යන්නේ, කොවිඩ් වසංගතයට මුහුණ දෙන මේ මොහොතේ මෙරට පළාත් සභා ක්‍රමය අකර්මන්‍යව තිබීමෙන් අපට මුහුණ දීමට සිදුව තිබෙන අවාසනාවන්ත තත්ත්වය යි.

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ සිට ජීවනෝපාය බිඳවැටුණු ජනයාට සහ පීඩාවට පත් ජනයාට සහන සැලසීම දක්වා බොහෝ දේ, පරිපාලනම වශයෙන් වඩා විධිමත්ව සහ කාර්යක්ෂමව ඉටුකිරීමේ හැකියාව පළාත් සභා ක්‍රියාත්මකව තිබුනේ නම් ලැබෙන බව පැහැදිලි කාරණයකි.දේශපාලනමය වශයෙන් අලෙවි කළහැකි සටන් පාඨවලට වඩා අර්බුධ කළමණාකරනයේදි වඩාත් වැදගත් වන්නේ පහල තලයට බලය විමධ්‍යගත වු ආයතන ව්‍යුහයක් බව මේ දුෂ්කර මොහොත අපට අවධාරණය කර සිටි.

එබැවින් මින් ඉදිරියටත් මෙම ක්‍රමය වඩා ශක්තිමත් කොට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය අත්දැකීමෙන්වත් තේරුම් ගත යුතුව ඇත.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් කතුවරුන්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts