සාමය

පල්ලියත් දෙව්මැදුරත් යා කළ සාමයේ පාලම

ගයාන් යද්දෙහිගේ

තිස් වසරක් පුරා පැවැති ත්‍රස්තවාදය විසින් මෙරට ජන සමාජයේ ජීවත්වන සිංහල,දෙමළ හා මුස්ලිම් ජනතාව අතර  සැකය,වෛරය හා අවිශ්වාසය ගොඩ නන්වනු ලැබුවේ මනුෂ්‍යත්වය පසෙකට තල්ලු කරමිනි.මේ නිසාම ජාති හා ආගම් පදනම්කර ගනිමින් මිනිසුන් බෙදා වෙන්කර සලකන්නාවූ සමාජයක් බිහිවිය.එක් ජාතියක් තවත් ජාතියක් දෙස සැකයෙන් හා බියෙන් බලන්නාවූ පසුබිමක් ක්‍රමයෙන් නිර්මාණය වෙත්දී ජාතිය හා ආගම මූලික කරගනිමින් අන්තවාදී අදහස් මත ක්‍රියා කරන සුළු පිරිසක් විසින් එම හැඟීම් පෝෂණය කරන්නට උත්තේජන සැපයීමේ ප්‍රතිපලයක් ලෙස රටේ යම් යම් තැන්වල ජාති හා ආගම්වාදී ගැටුම්ද නිර්මාණය විය.ජාතීන් අතර පැවැති මෙම විරසකය යම් ප්‍රමාණයකට අවම කිරීම පිණිස යුද්ධය නිමවීමෙන් පසු විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වූවත් සැබෑවටම සිදුවූයේ ජාති හා ආගම්වාදී ගින්න නිවී ගොස් අළු යට ගිනි ඉතිරි වීම යැයි පැවසුවහොත් එය නිවැරදිය.කොයි මොහොතක හෝ යළි ගිනි ඇවිලීමට සුළු හෝ සිද්ධියක් ප්‍රමාණවත් විය.මෙයට දෙවසරකට පෙර පාස්කු ප්‍රහාරය එල්ල වූයේ මෙවන් වාතාවරණයක් රටේ තිබියදීය.යම් ප්‍රමාණයකට ජාතීන් අතර අන්‍යයෝන්‍යය විශ්වාසය ගොඩනැගෙමින් තිබුණු මොහොතක එල්ල වූ මෙම ප්‍රහාරයත් සමඟ යළිත් සැකය හා අවිශ්වාසය සමාජය තුළ පැළපදියම් වීමට හේතු විය.

මුස්ලිම් ජාතික අන්තවාදී සුළු පිරිසක් විසින් දියත් කළ පාස්කු ප්‍රහාරය පදනම් කරගනිමින් සමස්ත මුස්ලිම් ප්‍රජාව දෙසම සැකයෙන් හා බියෙන් බලන ස්වරූපයක් රටේ නිර්මාණය විය.සමාජ මාධ්‍ය මගින් ඇවිලෙන ගින්නට පිදුරු දමන ආකාරයේ  ක්‍රියා සිදුවීම නිසා එවකට බලයේ සිට යහ පාලන ආණ්ඩුවට අවස්ථා කිහිපයකදීම සමාජ මධ්‍ය තහනමක් පැනවීමටද සිදුවිය.මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන වලින් භාණ්ඩ මිලට ගැනීම සිංහල ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් දක්වා මෙය වර්ධනය විය.බෙදී වෙන්ව ගිය ජනතාව එක් කිරීමට වඩා දේශපාලනික අවශ්‍යතාව මත තව තවත් ජනතාව බෙදා වෙන්කරන ආකාරයේ ක්‍රියාවන්  සිදුවත්දී ජාතික සමඟිය හා සහජීවනය යළි ගොඩනැන්වීම සඳහා බෞද්ධ,කතෝලික හා ඉස්ලාම් ප්‍රජාව එක්ව අනුරාධපුර නගරයේදී අපූරු වැඩසටහනක් දියත් කරනු ලැබූහ.පාස්කු ප්‍රහාරයට දෙවසරක් සපිරුණු දා අනුරාධපුර ජුම්මා ප්‍රධාන මුස්ලිම් පල්ලියේ විධායක සභාවේ සමාජිකයින් එදින අනුරාධපුර ශාන්ත ජෝෂප් ආසන දෙව්මැදුරට පැමිණි කතෝලික ජනතාව පිළිගනු ලැබුවේ ඔවුන්ට ආහාර වලින් සංග්‍රහයක්ද කරමිනි.

පුනරුදය සභාපති ජයලත් බණ්ඩාර සෙනෙවිරත්න මහතාගේ අදහසකට අනුව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහනට යුද්ධයෙන් විපතට පත් කාන්තාවන්ගේ සංවිධානය,වැව් බැඳි රට කාන්තා පෙරමුණ,අන්තර් ආගමික එකමුතුව නියෝජනය කරන පිරිසකගේ සහය හිමිව තිබිණි.මෙම වැඩපිළිවෙළ සමබන්ධව ජයලත් බණ්ඩාර සෙනෙවිරත්න මහතා මෙසේ ප්‍රකාශ කළේය.අවුරුදු 30 ක යුද්ධයකින් අපි හොඳටම පීඩා වින්දා.අනුරාධපුරේ ජනතාව හැටියට අපි එහි බලපෑම දකුණේ ජනතාවට වඩා වැඩියෙන් අත්වින්දා.මේ යුද්ධය නිසා සාමය,සංහිඳියාව කියන දේවල් වචන වලට විතරක් සීමා වෙලා තිබුණේ.සමාජය තුළ ප්‍රායෝගිකව මේවා දකින්න ලැබුණේ නැහැ.සාමය,සංහිඳියාව කියන්නේ වචන විතරයි.මිනිස්සු විදිහට අපි තමයි ඒ වචන වලට ප්‍රාණය දෙන්න ඕන.ඒකට අපේ ක්‍රියාකාරකම් බලපානවා.සැකය,බිය,වෛරය කියන දේවල් වලට පණ දෙන අය ඕනෑ තරම් ඉන්නවා.පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මේ රටේ මුස්ලිම් ජනතාව ජීවත් වුණේ දැඩි බියකින්.බස් එකක යනකොට මුස්ලිම් කෙනෙක් ළඟ ඉඳගන්න සිංහල මිනිස්සු බය වුණා.මුස්ලිම් කඩ වලින් ආහාර මෙන්ම ඇඳුම් පැළඳුම් ගන්න එක පවා බොහෝ අය ප්‍රතික්ෂේප කළා.මට අවශ්‍යය වුණා මේ දුරස්ථ භාවය නැති කරන්න මොනවා හරි කරන්න.ඒකට හොඳම දවස විදිහට මම දැක්කේ පාස්කු ප්‍රහාරය එල්ල වූ දවස.කතෝලික ජනතාව පාස්කු ඉරිදා දේව මෙහෙය අවසන් කරලා එනකොට මුස්ලිම් ජනතාව සමඟ ඉඳලා ඒ අයව පිළිගන්න වැඩසටහනක් ක්‍රියාත්මක කළොත් අපිට ඉස්ලාම් හා කතෝලික ජනතාව අතර පවතින දුරස් බව පොඩි ප්‍රමාණයකින් හරි අඩු කරන්න උත්තේජනයක් දෙන්න පුළුවන් වෙයි කියලා මම හිතුවා.

ඒ අනුව සෙනෙවිරත්න මහතා  අනුරාධපුර ශාන්ත ජෝශප් ආසන දෙව්මැදුරේ  දීලීප් එරන්ද පූජකතුමන් සමඟ මේ ගැන සාකච්ඡා කළේය.අනතුරුව අනුරාධපුර ජුම්මා මුස්ලිම් පල්ලියේ මොහොමඩ් ගයුම් ප්‍රධාන මවුලවී තුමන් ප්‍රමුඛ කමිටු සමාජිකයින් පිරිසක් සමඟ එක්ව වැඩසටහන දියත් කිරීමට පසුබිම උදාකර ගත්තේය.

පාස්කු ප්‍රහාරය එල්ල වී වසර දෙකක් සපිරුණු දා සියලුම කතෝලික දේවස්ථාන වලට දැඩි පොලිස් රැකවල් යොදලා තිබුණේ.මුලින් මේ වැඩේ කරන්න හිතට ආවත් කවුරු හරි ගලකින් හරි ගහලා කඩාකප්පල්කාරී ක්‍රියාවක් කළොත් අපි කරපු දේවල් අනිත් පැත්තට කැරකෙනවා නේද කියන බිය අපිට ආවා.ඒ නිසා මේක කිසිදු ආකාරයක ප්‍රසිද්ධියක් ලබා නොදී තමයි කළේ.දේව මෙහෙයට සහභාගි වෙලා නිවෙස් බලා යන අයට මුස්ලිම් ජනතාව කිරි වලින් සංග්‍රහ කළා.අපි නොහිතපු විදිහට දෙපිරිස අතර බැඳීම තහවුරු වුණා.දේවස්ථානයේ දිලීප් පූජකතුමන් ඇතුළු සෙසු පූජකතුමන්ලාත් ජුම්මා පල්ලියේ මවුලවී තුමන් ඇතුළු කමිටු සමාජිකයින්ද බොහොම සහෝදරත්වයෙන් ඒ මොහොතේ බැදුණා.අද රට පත්ව තිබෙන තත්ත්වය අනුව මේ වගේ වැඩසටහන් නිතර සංවිධානය කරන්න ඕන.එහෙම වු‍ණොත් තමයි හිත්වල තියෙන කහට දියවී ගොස් සහෝදරත්වයෙන් හැමෝටම එකට බැඳෙන්න පසුබිම සැකසෙන්නේ….සෙනෙවිරත්න මහතා පවසයි.

අනුරාධපුර ජුම්මා මුස්ලිම් පල්ලියේ විධායක කමිටු සාමාජික එම්.බී සාමන් මහතා මෙයට ක්‍රියාකාරීව සම්බන්ධ වූවෙකි.ඔහු මෙසේ අදහස් පළ කළේය.සහරාන්ගේ ප්‍රහාරයෙන් පස්සේ මේ රටේ සමස්ත මුස්ලිම් ජනතාව දෙසම සැකයෙන් තමයි අනෙක් ජනතාව බැලුවේ.මේක කළේ අන්තවාදී සුළු පිරිසක් කියන එක යටපත් කරගෙන සමස්ත මුස්ලිම් ජනතාවට චෝදනා එල්ල කරන්න පටන් ගත්තා.මේ රටේ සිංහල,දෙමළ,මුස්ලිම්,බර්ගර්,මැලේ කියන ජාතීන් ජීවත් වෙනවා.රට ලෝකය හමුවේ ඉදිරියට ගෙනියන්න නම් මුලින් අපේ රටේ ඉන්න සියලු ජාතීන් එකට එකතු වෙන්න ඕන.සමහරුන්ට ඕන වෙලා තියෙනවා මේ සමඟිය කඩා දමන්න.ගොඩක් වෙලාවට ඒවා කරන්නේ දේශපාලනික අරමුණු වෙනුවෙන්.මගේ වාසගම දේශයේ ගුරුන්නාන්සේලාගේ ගෙදර කියලා තියෙන්නේ.ඒක සිංහල නමක්.අපි වෙන්වෙලා මරා ගත්තොත් අපේ දරුවන්ට හොඳ රටක් ඉතුරු වෙයිද? පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සිංහල හා මුස්ලිම් ජනතාව අතර ඇතිවූ දුරස් බව තාමත් ඒ විදිහටම තියෙනවා.මේ දුරස් බව නැති කරන්න නම් අපි දෙගොල්ලොම කැපවීමක් කරන්න ඕන.අපි දෙගොල්ලොම අඩිය අඩිය ඉස්සරහට ආවොත් ඉතා ඉක්මනින් එකතු වෙන්න පුළුවන් කියන එකයි මගේ හැඟීම.පාස්කු ඉරුදින දේව මෙහෙයට සමබන්ධ වූ කතෝලික ජනතාවගේ දුක අපි එදා බෙදා ගත්තා.මේ රටේ ජීවත් වන මිනිස්සු විදිහට අපි එකිනෙකාගේ දුක,සතුට එකට එකතු වෙලා බෙදා ගත්තොත් තමයි ජාති හා ආගම්වාදී මත දරන සුඵ පිරිස ලබන ජයග්‍රහණ පරාජයන් බවට පත් කිරීමට හැකියාව ලැබෙන්නේ.මෙය එක්තරා තැනක කළ කුදු වැඩසටහනක් ලෙස කෙනෙකුට‍ අර්ථ දැක්විය හැකිය. නමුත් ප්‍රධාන දාරාවෙ සියලු පාර්ශව ජාතිවාදය වපුරන සමයක මෙවැනි විකල්ප වැඩසටහන් රටේ සෑම තැනක සිදුවන්නේ නම් එය අනාගත පරපුරේ යහපැවැත්මටට හිතකරය.  

අනුරාධපුර ජුම්මා මුස්ලිම් පල්ලියේ විධායක කමිටු සාමාජික එම්.බී සාමන් මහතා
පුනරුදය සභාපති ජයලත් බණ්ඩාර සෙනෙවිරත්න මහතා

දේව මෙහෙයට සහභාගි වී පැමිණෙන කතෝලික ජනතාව මුස්ලිම් ජනතාව විසින් පිළිගත් අයුරු

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් කතුවරුන්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts