ආර්ථික සමාජ

නැගෙනහිර ප්‍රදේශයෙන් මාළු මිලදී ගැනීමට ජනතාව පසුබටවෙයි

වී. සක්තිවෙල්

ධීවරයන් ඔවුන්ගේ ජීවිකාවෘත්තීන් සඳහා සටන් වදිමින් සිටී. 

“අවුරුදු 20කට වැඩි කාලයක් තිස්සේ, මම කළුතවලෛ හි මුහුදුආහාර ව්‍යාපාරයේ නියැලී සිටිනවා. ලංකාවේ බටහිර මුහුදේ නැවක් ගිනිබත් වුනාට පස්සේ, මැරුණ මුහුදු ජීවින් ගොඩබිමට ගසාගෙන එන හින්දා වර්තමානයේ මාළු මිලදීගන්න, මිනිස්සු මගේ ළඟට එන්නේ නෑ. මගේ ව්‍යාපාරය මාළු මිලදීගැනීම සහ විකිණීම යි. මගේ ව්‍යාපාරයෙන් ලැබෙන ආදායමෙන්, මගේ පවුලට හැමදාම සහාය ලබාදුන්නා. කපපු මාළු සමඟ පාරිභෝගිකයන් එනකම් මම ආශාවෙන් බලාගෙන හිටියට, ඔවුන් එන පාටක් තිබුණේ නෑ. අපේ ගෙදර ලිප පත්තුවෙන්නේ, මම වෙළදාමක් කළොත් විතරයි.”

මෙම මාළු පරිභෝජනයට ගතහැකි ද, නොහැකි ද යන්න රජය විසින් ජනතාවට දැනුම්දිය යුතු යි. මෙම අවිනිශ්චිත වාතාවරණය අඛණ්ඩව පැවතියොත්, මුහුදු මාළු විකුණන අපි වගේ කුඩා මාළු වෙළෙඳුන්ගේ දෛවය කෙසේ වෙයි ද? මුහුදු මාළු විකුණන තංගවඩිවේලු ඔහුගේ ඛේදාන්තය පිළිබඳ පැවසී ය. 

මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන කර්මාන්ත වනුයේ, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය සහ සත්ත්ව පාලනය යි. දහසකට වැඩි ජනතාවක් ලංකාවේ දෙවන විශාලතම කළපුව වන මඩකලපුව කලපුවේ, බෙංගාල බොක්ක ප්‍රදේශයේ සහ අනෙකුත් මාළු තටාකවල මාළු ඇල්ලීමෙන් තම ජීවිකාව ගෙව යි. 

බටහිර මුහුදු සීමාව තුළ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගින්නට හසුවීමත් සමඟ ලංකාවේ බොහෝ පැතිවලින් මියගිය මුහුදු ජීවීන් ගොඩබිමට ගසාගෙන පැමිණ ඇති අයුරු ඇසින් දුටු සාක්ෂි පවතින බව ධීවරයන් පවස යි. මහජනතාවට ඒ පිළිබඳ සැකයක් ඇති වී තිබේ. මුහුදු ආහාර ගැනීමෙන් වැළකීමට හේතු වී ඇත්තේ එය යි. මුහුදු මාළු අලෙවිකරන තන්ගවේලි වැනි කුඩා මත්ස්‍ය වෙළෙන්දන්ගේ ජීවිකවෘත්තීන් කෙරෙහි මෙම කාලය සම්පූර්ණයෙන්ම බලපෑමට ලක්ව ඇත. 

මුහුදු කැස්බෑ මළකඳන් ගොඩබිමට ගසාගෙන ඒමෙන් ජනතාවගේ මනස තුළ අවුල් සහගත බවක් පැනනැගී ඇත. ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් මළ කැස්බෑ සිරුරු පර්යේෂණ සඳහා ගෙනගිය ද, ඔවුන්ගේ සොයාගැනීම් පිළිබඳ ප්‍රතිඵල මේ වනතෙක් හෙළිදරව් කර නොමැත. මෙම නිලධාරීන්, මියගිය කැස්බෑ පර්යේෂණ සම්බන්ධව පැහැදිලි සහ ගැළපෙන විස්තරයක් සිදු කරන්නේ නම්, ජනතාව ද එය තේරුම් ගනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, මුහුදු ජීවීන් විකිණීමේ අපේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම බලපෑමට ලක්ව ඇත. අපේ එකම ජීවිකාවෘත්තිය වන්නේ මාළු වෙළඳාම පමණයි යනුවෙන් ධීවරයන් ශෝකය පළකළහ. 

මෑතක දී ධීවර අමාත්‍යවරයා මාධ්‍යට මියගිය කැස්බෑවන් පිළිබඳ පැවසූ අදහස් සාවද්‍ය බව පැහැදිලි වන අතර, පළකළ පින්තූර ද වෙනත් තැන්වල ඒවා යි. නමුත්, මැරුණු කැස්බෑවන් සහ ඩොල්පින්, කළුතවලෛ, ඔන්දච්චිමඩම්, කරන්කුලම්, පන්දිරුප්පු සහ අපේ ප්‍රදේශයේ බටහිර වෙරළට ගොඩගසා තිබුණි. මේ තත්ත්වය තුළ, ධීවර අමාත්‍යාංශය ජනතාවට සුදුසු විස්තර කිරීමක් සැපයිය යුතු බව වසර 9ක් තිස්සේ මුහුදු මාළු අලෙවිකරන කේ. තමිල්පුතල්වන් පවසයි. 

මම වසර කිහිපයක් තිස්සේ මාළු ව්‍යාපාරයේ නියැලෙන අතර ජනතාව හදිසියේම මුහුදුආහාර පරිභෝජනය නවතා ඇත. ජනතාවට මුහුදුආහාර භාවිතයට ගත හැකි ද, නොහැකි ද යන්න පිළිබඳව මෙතෙක්  වගකිවයුතු අධිකාරිත්වයන් විසින් ප්‍රකාශ කර නොමැත. එමනිසා, අපේ කර්මාන්තය තව තවත් අවදානම් මට්ටමකට පත්වන බව තවත් ව්‍යාපාරිකයෙකු වන ඒ. ජයසීලන් පවසයි. 

මෑතකාලයේ අපේ මුහුදු සීමාවේ මාළු අහුවෙන ප්‍රමාණය බොහෝසෙයින් අඩු වී ඇත. මේ තත්ත්වය තුළ, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගින්නට හසුවීමෙන් පසු, අපේ දැල්වලට හසුවන මාළු කුඩා ප්‍රමාණය හෝ මිලදීගැනීමට ජනතාව බියවෙති. එහි ප්‍රතිඵලයක් ලෙස, අපේ කලවන්චිකුඩි ප්‍රදේශයේ පමණක් වත්මන වන විට ධීවර පවුල් 250කට වැඩි පිරිසකගේ ජීවිකාවෘත්තිය අහිමි වී ඇත. මෙසේ බලපෑමට ලක්ව ඇති ධීවරයන්ට රජය විසින් ආධාර සපයන බව මාධ්‍ය හරහා ප්‍රචාරණය කරනු දකින්නට සහ අසන්නට ලැබුණි. කලවන්චිකුඩි ධීවර සංගමයේ ලේකම් එම්. ප්‍රදීස්පරන්, බලපෑමට ලක්ව ඇති මෙම පවුල් දක්වා ද එම ආධාර ලබාදීම පුළුල් කරන ලෙසට රජය වෙත ඉල්ලීමක් සිදුකර ඇත. 

මේ වන විට ධීවරයන්, ඔවුන්ගේ බෝට්ටු සහ ඔරු වෙරළේ නැංගුරම් දමා ඇති අතර ඔවුන්ගේ මාළු ලෑලිවලට සිදු වී ඇත්තේ කුමක් ද යන්න අපහට නිරීක්ෂණය කළහැක. 

මම වසර 25කට වැඩි කාලයක් මුළුල්ලේ වෙරළේ සිට ධීවර කටයුතුවල යෙදීසිටිමි. කලින්, අපේ ව්‍යාපාරය ඉතා හොඳින් සිදුවිය. දකුණු ප්‍රදේශයේ නැව මුහුදුබත්වීමත් සමඟ එහි විපාක අපි වත්මනේ විඳින අතර මුහුදු ජීවීන් වෙරළට ගොඩගැසීම අප තවත් භීතියට පත්කරන්නට හේතු වී ඇත. මේ තත්ත්වය තුළ, ජනතාව සහ අනෙකුත් වෙළෙඳුන් මාළු මිලදීගැනීමට අපවෙත පැමිණෙන්නේ නැත. එමනිසා, පර්යේෂණයට මැදිහත්ව ඇති අධිකාරීත්වය විසින් අපහට මුහුදු මාළු ආහාරයට ගත හැකි ද, නොහැකි ද යන ප්‍රතිඵලය අනාවරණය කළයුතු බව මාළුබෑමේ නිරතව සිටින ඊ. ප්‍රශාන්තන් පවසයි. ඔහු තවදුරටත් පවසන්නේ, මේ පිළිබඳ ස්ථිර තීරණයක් ලබාදිය යුතු බව යි.

 

මට දැන් අවුරුදු 60ක් වන අතරම, ධීවර කර්මාන්තයේ අවුරුදු 40ක් තිස්සේ නියැලී සිටි. මගේ අත්දැකීම අනුව, අතීතයේ කෙදිනකවත් සමුද්‍රීය ජීවිත මරණයට පත්ව නැත. අපේ පවුල්වල අය මාළු ඇල්ලීමට නොයන ලෙස පවසයි. මුහුදු මාළු පරභෝජනය කළ හැකි ද, නොහැකි ද යන්න පිළිබඳව රජය විසින් කිසිවක් නොපවසන්නේ මන්ද යන්න මම දන්නේ නෑ යනුවෙන් කළුතවලෛ ධීවරයන්ගේ සහයෝගී සමිතියේ සභාපති සෙල්ලයියා රාමලිංගම් පවසයි. 

වත්මනේ රට වසතැබීමේ වාතාවරණය, මුහුදු ජීවීන් මියයාම සහ එක්ස්ප්‍රස් පර්ල් නැවේ ආපදාව ආදිය නිසා එළියට පැමිණිය නොහැකි සහ ව්‍යාපාරය කළ නොහැකි කණ්ඩායමක් බවට ධීවරයන් පත්ව ඇත. බොහෝ මිනිසුන් එනම්, බෝට්ටුවලින් මාළු ඇල්ලීමට යන පිරිස, ඔවුන්ගේ සහායට යන පිරිස, මාළු පටවන සහ ගොඩබාන පිරිස, තොග වෙළෙඳුන්, දේශීය සිල්ලර වෙළෙඳුන්, රියදුරන්, දැල් වියන්නන්, දැල් අදින්නන් ආදී සියළුදෙනා වත්මන් තත්ත්වය හමුවේ බලපෑමට ලක්ව ඇත. 

නැගෙනහිර පළාත යනු, දුරපිහිටි ප්‍රදේශයන්ට සහ විදේශයන්ට මුහුදු මාළු අපනයනය කරන ප්‍රදේශයකි. නමුත්, වර්තමානයේ ජනතාව මුහුදු මාළු මිලදීගැනීමට සහ පරිභෝජනයට බියක් දක්වන අතර ධීවරයන් ද එම ක්ෂේත්‍රයේ නියැලීම අවම වී ඇත. මෙය දේශීය ආර්ථිකයට එනම් ජාතික ආර්ථිකයට ද බලපා ඇති බව මඩකලපුව ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ බුහාරි මොහොමඩ් පැවසී ය. 

මෙසේ, මුහුදේ මාළුබෑමට යන, මාළු මිලදීගන්නා සහ අලෙවිකරන පිරිස් මේ තත්ත්වය පිළිබඳ ඔවුන්ගේ අදහස් පළකළහ. බොහෝකලක් තිස්සේ මුහුදුආහාර මිලදීගන්නා පිරිස පවසන්නේ, “අපි මුහුදුආහාර පරිභෝජනයට ගත්තා, ඒ වගේම දැන් මුහුදු ජීවීන් මැරෙන හින්දා අපි ඒවා මිලදීගන්න එක නවත්තලා තියෙන්නේ. මේ දවස්වල, මුහුදුආහාර පරිභෝජනයට ගන්න අපි බය යි.”

අපි ජනතාවට සහ ධීවරයන්ට, මුහුදේ මාළුබෑමට නොයන ලෙසට හෝ මුහුදුආහාර නොගන්නා ලෙසට කිසිඳු දැන්වීමක් මේ වනතෙක් පළකර නොමැත. රට වසාදමා තිබූ කාලයේ දී පවා, අපි ධීවර ක්ෂේත්‍රයට කිසිඳු සීමාවක් පැනවූයේ නැත. අපි ඔවුන්ට මාළුබෑමට සහ මාළු වෙළඳාමට අවසර ලබා දී තිබුණි. මම උදෑසන 8 සිට රාත්‍රී 10 තෙක් කාර්යාලයේ රාජකාරියේ නියැලෙමින් ධීවරයන් සමඟ ඍජු සබඳතා පැවැත්වී ය. අපේ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මාළු ඇල්ලීමේ සහ මාළු ආහාරයට ගැනීමේ කිසිඳු ගැටළුවක් නොමැති බව යි. මඩකලපුවේ හෝ ලංකාවේ කිසිඳු ප්‍රදේශයක මුහුදුආහාර පරිභෝජනයට නොගන්නා ලෙස සඳහන් කිසිඳු දැන්වීමක් අපේ දෙපාර්තමේන්තුව මඟින් පළකර නොමැත. අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තුව මඟින් කිසිඳු සීමාකිරීමක් සිදුකර නොමැති නමුත්, ජනතාව ඔවුන් විසින්ම මාළු මිලදීගැනීම ප්‍රතික්ෂේප කර ඇත. එසේම, මාළු ඇල්ලීමේ කටයුතුවල නියැලී සිටින ධීවරයන්ට කිසිඳු සීමාකිරීමක් පනවා නොමැති අතර ඔවුන්ට ඔවුන්ගේ ව්‍යාපාරය නිදහසේ සිදුකරගෙන යාමට හැකිවී ය. අපි කිසිලෙසකත් ජනතාවට මුහුදුආහාර නොගන්නා ලෙසට උපදෙස් ලබා දී නොමැති බව මඩකලපුව දිස්ත්‍රික්කයේ, ධීවර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රුක්ෂාන් කෘස් පැවසී ය. 

කොවිඩ් 19 තත්ත්වය, ධීවර කර්මාන්තය සඳහා ප්‍රබල බලපෑමක් සිදුකර ඇත. මේ තත්ත්වය තුළ, එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගිනිගැනීම සහ එයින් සිදු වූ වායු විමෝචනය විශාල පාරිසරික දූෂණයක් සිදුකිරීමට හේතු වූ අතර මෙයින් සමුද්‍රීය සම්පත්වලට දැඩි බලපෑමක් සිදුවී ය. එහි ප්‍රතිඵලයක් ලෙස මාළු ඇල්ලීම සහ මුහුදුආහාර පරිභෝජනය පහළ මට්ටමකට බැස ඇත. කොවිඩ් 19 සහ නැව ගිනිබත්වීම යන දෙකම හේතුවෙන්, ධීවරයන්ගේ ජීවිතවලට සහ ආර්ථිකයට බරපතල බලපෑමක් සිදුකර ඇත. 

මඩකලපුවේ ආර්ථිකය තුළ, කෘෂිකර්මාන්තයට පසු ප්‍රධාන භූමිකාවක් දරන්නේ ධීවර කර්මාන්තය යි. එය දැන් ඉතා පැහැදිලි වී ඇත්තේ, එම දායකත්වය විශාල ලෙස හීන වී ඇති නිසාවෙනි. වර්තමානයේ, එය වෙනත් පළාතකට යොමු කරවීම කළහැක්කක් නොවේ. මෙය වඩාත් අහිතකර බලපෑම් ඇතිවීමට මගපෑදිය හැක. විශේෂඥ මතයන්ට අනුව, මෙයින් අත්මිදීමට නම් ජනතාව අතර දැනුවත් බව වර්ධනය කිරීම අවශ්‍ය වේ. 

ධීවර කර්මාන්තයේ සමෘද්ධිය මත පදනම්ව ඇති ජනතාවගේ ජීවිත යථාවත් කිරීම සඳහා, වගකිවයුතු අධිකාරිත්වයන් මඟින් මුහුදුආහාර භාවිතයට ගැනීම හා සම්බන්ධ ගැටළු පිළිබඳ වහා දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ග ගතයුතු ය. සමුද්‍රීය ජීවීන්ගේ මියයාම්වලට හේතු අනාවරණය කර ජනතාවගේ සැක-සංකා දුරැලීමට අධිකාරිත්වයන් කටයුතු කරනු ඇතිබව සියල්ලන්ගේ අපේක්ෂාව යි.               

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts