අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සාමය

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය

සී ජේ අමරතුංග

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මේ ලියන මොහොත වන විටත් සිටින්නේ අත් අඩංගුවේ ය. නැතහොත් රැඳවුම් භාරයේ ය. ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇතැයි කිවහොත් එය වැරදි ය. රටේ බොහෝ දෙනා  සිතා  සිටින්නේ ඒ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇතැයි කියා ය. එසේ වුව ද, තතු දත් නීතිඥවරුන්ට අනුව එය වැරදි  අදහසකි.

පොලිසිය යම් අපරාධයකට සැකකරුවකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරයි. එම තැනැත්තා අත් අඩංගුවට ගත්තේ කුමන වරදකට, ඒ සඳහා ඔහු සැක කිරීමට හේතු කවරේ ද යන්න පොලිසිය අධිකරණයට දැනුම් දිය යුතු ය. එම තැනැත්තා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස  අධිකරණයෙන් ඉල්ලා සිටීමට පොලිසියට හැකි ය. ඒ සඳහා නීතිමය පදනම පෙන්වා දීම නිත්පති දෙපාර්තමේන්තුවේ කාර්යභාරයකි. සැකකරුවා  වෙනුවෙන් කරුණු දැක්වීමට ද, නීතිඥවරයකුට අවස්ථාව ලැබෙයි. සියලු කරුණු සලක බලා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීම හෝ නොකිරීම අධිකරණයේ තීරණය මත සිදුවෙයි. ඒ අනුව එය අධිකරණ ක්‍රියාවලියකි.

රිෂාඩ් බදියුදීන් යනු මෙරට මහජනයා විසින් තොරා පත්කර ගනු ලැබූ මන්ත්‍රීවරයෙකි. ඔහු හිටපු ඇමතිවරයකු ද වෙයි. ඔහුගේ ඇතැම් කටයුතු විරෝධතාවයන්ට හේතු වූ බව ද පැහැදිලි කාරණයකි. එය කුමන කෝණයකින් බැලුව ද, ඒ සියල්ල මේ රටේ ජනවාර්ගික ගැටුම් සම්බන්ධ කරුණු ය.. ඒ නිසා ම, ඒ ගැන කටයුතු කිරීම ද ඉතා පරිස්සමින් සහ වගකීමෙන් යුතුව කළ යුත්තකි. එසේ වුව ද, මෙම මන්ත්‍රීවරයා අද රඳවාගෙන ඇත්තේ ඉහත කී ආකාරයේ අධිකරණ ක්‍රියාවලියකින් තොරව ය. ඒ සඳහා භාවිත කොට ඇත්තේ විශේෂිත තත්ත්වයන් යටතේ පමණක් භාවිත කිරීමට යයි කියා කලෙකට පෙර හඳුන්වා දෙනු ලැබූ ත්‍රස්තවාදය  වැළක්වීමේ පනත යන බිහිසුණු නීතිය ය. එය දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ බලවත් විරෝධයට ලක් වූ පනතකි.

මෙම නීතිය අනුව පුද්ගලයකු රඳවා තබා ගැනීම අධිකරණ ක්‍රියාවලියකින් තොරව සිදු කළ හැකි ය. එහි සඳහන් වන්නේ යම් තැනැත්තකු ත්‍රස්තවාදයට සම්බන්ධ බව ආරක්ෂක ඇමතිවරයා සිතන්නේ නම්, රැඳවුම් නියෝගයක් මගින් කෙනෙකු රඳවා තබාගත හැකි බව යි. එයට කිසිදු කරුණු දැක්වීමක් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ ආරක්ෂක ඇමතිගේ නියෝගයක් පමණකි. පළමුව මාස තුනකට රඳවා ගත හැකි අතර එය වරින් වර මාස 18 ක් දක්වා දීර්ඝ කළ හැකි ය.

මෙබඳු රඳවා ගැනීමක් සලකනු ලබන්නේ අධිකරණ ක්‍රියාවක් ලෙස නොව, පරිපාලන රඳවා ගැනීමක් වශයෙනි.

මේ වනවිට මහජන ආරක්ෂාවේ වගකීම දරන ඇමතිවරයා සරත් වීරසේකර මහතා ය. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ත්‍රස්තවාදයට සම්බන්ධ බව ඇමතිවරයා සිතයි. ඇත්තට ම නොසිතුවත් දේශපාලන හේතු නිසා එසේ කියනවා ද විය හැකි ය. කෙසේ වෙතත්, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත මගින් ඇමතිවරයාට ලබා දී ඇති බලය අනුව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා රඳවාගෙන සිටියි. එසේ රඳවාගෙන සිටින්නේ, නඩු නැතිව ය . උසාවි යන්නේ නැතිව ය.

මෙම ප්‍රශ්නයේ තව බිහිසුණු අනතුරක් පෙනී ගියේ පසුගිය දා පාර්ලිමේන්තුවේ පැවති විවාදයේ දී ය. විපක්ෂය ප්‍රශ්න කළේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට  පාර්ලිමේන්තුවට සහභාගී වීමට ඉඩ නොදීම ගැන ය. 

සරත් වීරසේකර ඇමතිවරයා කිවේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින නිසා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීමට ඉඩ දිය නොහැකි බව යි. බරපතළ මත ගැටුම ඇති වුයේ එවිට ය.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත් අඩන්ගුවර ගෙන රඳවා තබා ගැනීමෙන් පසු පාර්ලිමේන්තුව පසුගිය 4 දා සහ 5දා  රැස් වී ය. විපක්ෂය කථානායකතුමාගෙන් ඉල්ලා තිබුණේ මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව සලසා දෙන ලෙස යි. එසේ වුව ද, දින දෙකේ දී ම, මන්ත්‍රීවරයාට පර්ලිමෙතුවට පැමිණීමට ඉඩ සලසා දී නොතිබිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යනු ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන නියෝජිතයින් පිරිසකි. ඔවුන්ට එම කටයුතු බාධාවකින් තොරව කිරීම සඳහා යම් අයිතීන් ප්‍රමාණයක් ලබා දී තිබේ. ඒවාට කියන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද යනුවෙනි. පාර්ලිමේන්තුවේ රැස්වීමකට සහභාගී වීමේ අයිතිය මන්ත්‍රීවරයකු සතු ප්‍රධාන වරප්‍රසාදයකි. කිසිවකු එයට අවහිර කරන්නේ නම් එය වරප්‍රසාද පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදකි.

පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නය ආරම්භ කළේ සරත් වීරසේකර ඇමතිවරයා විසිනි. කතානායකතුමාගෙන් ඉල්ලීමක් කරමින් ඇමතිවරයා කීවේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන ඇති බැවින් ඔහුට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ  නොදෙන ලෙස යි. පර්ලිමෙන්තුවට ඔහු සහභාගී වීම පරීක්ෂණවලට මෙන් ම, මහජන ආරක්ෂාවට ද, තර්ජනයක් ය යන්න ඇමතිවරයාගේ ස්ථාවරය වී ය.

මෙහි දී නැගී සිටි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විමසුවේ බදියුදීන් ඇමතිවරයාට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ නොදීම ගැන ආණ්ඩුව පැත්තෙන් වරින් වර කතා තුනක් කියා ඇති බව යි. පලමුවනිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කී කතාව යි. එනම්, මන්ත්‍රීවරයා ගෙන ඒමේ ඉල්ලීම වේත්‍රධාරී විසින් නොව කතානායකතුමා විසින් කළ යුතු බව යි. දෙවැනි කතාව කියැවී ඇත්තේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේ දී ය. ඒ කොවිඩ් තත්ත්වය නිසා යම් ප්‍රමාදයක් වන බවට ය.

දැන් තෙවැනි කතාව සරත් වීරසේකර ඇමතිවරයාගෙනි. ඒ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා ඇති නිසා සහභාගී වීමට ඉඩ නොදෙන ලෙස යි. කිරිඇල්ල මහතා ප්‍රශ්න කළේ ඇත්ත කතාව කුමක්ද කියා ය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ම, මන්ත්‍රීරීවරයාගේ වරප්‍රසාද ගැන කතා කළේ ය. ඒ අතර, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී  නීතිඥ එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා නීතිමය තත්ත්වය පැහැදිලි කළේ ය. ඔහු කීවේ බදියුදීන් මන්ත්‍රීවරයා රඳවා ඇත්තේ පරිපාලන රඳවා ගැනීමක් වශයෙන් මිස අධිකරණමය රඳවා ගැනීමක් ලෙස නොවන බවයි. එමෙන් ම, අධිකරණමය රඳවා ගැනීමක දී පවා පාර්ලිමේන්තුවට සහභාගී වීමට ඉඩ දීම සම්ප්‍රදාය බව කී ඇමතිවරයා ඊට වෙනස් තත්ත්වයක් ඇතිවන්නේ අපරාධ චෝදනාවකට වරදකරු වී සිරගත් වුවහොත් පමණක් බව ද පෙන්වා දුන්නේ ය.

ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ද කියා සිටියේ ඇමතිගේ පරිපාලන ක්‍රියාවකින් මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කළ නොහැකි බව යි. 

ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් දෙන බවට කතානායක තුමා පොරොන්දු වීම නිසා එම ප්‍රශ්නය ගැන එම විවාදය අවසන් විය.

කෙසේ වෙතත්, මෙම සිදුවීමේ අවධානයට යොමු වියයුතු වැදගත් ම කරණය නම්, ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ ඇති බියකරු ස්වරූපය යි. එමගින් කෙනෙකු සාක්ෂි නොමැතිව සිරගත කළ හැකි බව මෙයින් යලිත් තහවුරු වී ඇත. සිරගත කොට නැතහොත් රඳවා තබාගෙන ඇත්තේ සාමාන්‍ය පුද්ගලයකු නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. 

රජයට එරෙහි ඕනෑ ම පුද්ගලයකුට මෙම ඉරණම අත්කර දීමේ හැකියාව ඇත්තේ ඒ සඳහා කිසිදු සාක්ෂියක් හෝ පදනමක් හෝ ඉදිරිපත් කිරීමට අවශ්‍යතාවයක් නොමැති හෙයිනි. ආරක්ෂක ඇමතිවරයාගේ සැකය එයට ප්‍රමාණවත් ය.

අනෙක් අතට, සාමාන්‍ය නීතියේ දී කිසිසේත් නොසලකන කරුණු ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ වැරදි බවට පත් කොට තිබේ. ත්‍රස්තවාදියකු ගැන තොරතුරු දැන සිටීම සහ  එම තොරතුරු පොලිසියකට දැනුම් නොදීම පනත යටතේ වසර පහක සිර දඬුවමක් හිමිවිය හැකි වරදකි. කෙනෙකුගේ නවාතැනක ත්‍රස්තවාදියකු දිනක් නවාතැන්  ගෙන තිබුනොත්, එය සිදුවුයේ කුමන තත්ත්වයක් යටතේ වුවත්, සැලකෙන්නේ ත්‍රස්තවාදියකුට රැකවරණ දීමක් වශයෙනි. දඬුවම වසර විස්සක් දක්වා වූ සිර දඬුවමකි.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට එල්ල කොට ඇත්තේ ද එබඳු චෝදනාවකි. නැතහොත් සැකයකි. ඔහුව අත් අඩංගුවට ගෙන රඳවා ගැනීමට එම සැකය ප්‍රමාණවත් ය.

ඔහුට පාස්කු ප්‍රහාරය ගැන නොයෙක් චෝදනා එල්ල කළ ඇතැම් දේශපාලඥයන් ඒ පිලිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව ඉදිරියේ සාක්ෂි දීමට පවා ඉදිරිපත් නොවූ බව ප්‍රසිද්ධ කාරණයකි. 

කෙසේ වෙතත්, මෙය අවසානයේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පිලිබඳ ප්‍රශ්නයක් නොවේ. අප කාගේත් නිදහස සීමා කළ හැකි බිහිසුණු නීතියක් පිලිබඳ ප්‍රශ්නයකි.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් කතුවරුන්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts