සාමය

තල් කවන්ධ අතරින් නැවත දකින නන්දිකඩාල්

කපිල කුමාර කාලිංග

ක්‍රිස්තු පූර්ව 10 වන සියවසේ දි පර්සියාවේ විසු ෆිර්දෝසි නමැති මහා කවියා විසින් ලියන ලද ‘ෂහ්න මේහ් ‘ (  Shahana meh)  වර්තමාන‌යේ පවා ඒරට (නූතන ඉරානය) ජාතික වීර කාව්‍යය ලෙස සැළකේ. පිටු 1500කින් පමණ සමන්විත මෙය තනි පුද්ගලයෙකු විසින් ලියා ඇති, දීර්ඝතම කාව්‍යය ලෙස ද ඇගැයේ.

‘ෂහ්න මේහ් ’ , රජවරුන් පිළිබඳ කාව්‍යයක් (Book of Kings) විය. ලොව කවර කලෙක, කවර දෙසක වුව, රජවරුන් ගැන ගතක් ලියැවුණ හොත් එහි, අනිවාර්ය ලක්ෂණයක් වන්නේ යුද්ධය හා වෙනත් මිනිස් ඝාතකයන් ය. සතුරු මර්දනයන් ය.

ෆිර්දෝසිගේ කාව්‍යයන්, වීරයන් දෙදෙනෙකි. ඒ, ෂෝරබ් හා රස්ටම් නැමැති පිය-පුතුන් ය. එකිනෙකා නොහඳුනන ඔවුන් අතර සිදුවන ගැටුමකදි, පියා-අතින් පුතා මිය යයි. පර්සියානු මිථ්‍යා කතාවක් ඇසුරින් ලියැවුණ ද, මෙය ලෝක සාහිත්‍යයේ එන ඉතා ‘අලංකාරවත්’ අවස්ථාවක් සලස සැළකේ.

ලෝක ප්‍රකට ග්‍රීක නාටකයක් වන, සොෆොක්ලීස් ගේ ‘ඊඩිපස්’ හිද, පුතා අතින් පියා මරුමුවට පත්වෙයිි. [එයද එකිනෙකා නොහැඳින සිදුවන්නකි.] එකිනෙකා දැන දැනම, පිය පුතුන් ගැටුණු හෝ යුද වැඳුණු අවස්ථා ලෝක ඉතිහාසයෙහි හි සාහිත්‍යයෙහි බොහෝය. අපගේ ‘මහා වංශය’ ද ඊට එක් නිදසුනකි. සිංහබාහු කතාව හා සීගිරි කාශ්‍යප චරිත මෙහිදි අපගේ මතකයට නැගේ.

ඉතිහාසඥයා සහ ඉතිහාසය ඇසුරු කර ගත් නිර්මාණකරුවා, යුද්ධය දුටුවේ වෙනස් දෘෂ්ටි කෝණයන්ගෙනි. ඉතිහාසය කතාකාරයා (ඓතිහාසික ප්‍රබන්ධකරුවා) හෝ කවියා, හෝ නාට්‍යකරුවා , ඉතිහාසඥයාට මඟ හැරෙන හෝ ඔහු විසින් සිතා මතා ම මඟ හරිනු ලබන. අහුමුළු වෙත ද, සිය පරිකල්පන ආලෝක ධාරාව යොමු කරයි. මේ නිසා , යුද සමයයන්හි කෙරෙන සාහිත්‍යයික හා කලා නිර්මාණ, සමකාලීන සමාජයෙහි , සැබෑ මිනිසුන්ගේ හෘද සාක්ෂිය ලෙස ද සැළකිව හැකිය.   

කවියාගේ ඇතැම් සිතුවිලි සහ සමූහාචාරිය. එහෙත්, තවත් විටෙක ඔහු, ඒකචාරිය. කිසියම් සිද්ධියක් කල් ඉකුත්වීමට පෙරම, කවියක් තුළ තැන්පත් වෙයි. එසේම එය හුදු  වාර්තාකරණයක් නොව , කවි කල්පනාවක් ලෙස ඉදිරිපත් වන්නකි.

ලෝකයේ එදා සිට අද දක්වාම පැවැති යුද්ධයන් ගැන කවි ලියැවී තිබේ. කවීන් අතරද විවිධ මතවාද පැවතුණෙන්, යුද්ධයට පක්ෂව ලියු කවීහු ද වූහ. එහෙත් වැඩි වශයෙන් දක්නට ඇත්තේ,  යුද විරෝධි හෝ යුද්ධයේ නිෂ්ඵල භාවය හුවා දැක්වෙන කාව්‍යයන් ය.

ශ්‍රී ලංකාවේ ද, තිස් අවුරුදු යුද සමය තුළ ඒ පිළිඳව නො ලියු කවියෙකු නැති තරම්ය. යුද භූමියෙන් ඇසුණු පුවත් ඇසුරු කර ගත් නිර්මාණ හා පශ්චාත් යුද නිර්මාණ වශයෙන් ඒ කවි ප්‍රධාන දෙකොටසකට බෙදිය හැකිය. “යුද කවි” ලිවිමේදී, නව පරපුරේ, තරුණ කවීන් පෙරමුණේ සිටීම විශේෂත්වයක් වන්නේ, ඔවුන් ජාතිවාදී ප්‍රවාහයෙන් මිදී මානවවාදී ගුණයෙන් පිරිපුන් බවක් දැක්වීම නිසාය. මෙම ලිපියේ දි  මගේ අවධානය යොමු වන්නේ, එබඳු කාව්‍ය නිර්මාණ කිහිපයක් වෙතය.

2019 දි, ප්‍රකාශයට පත් මලිඳු කාවින්ද කුමාරසිංහ තරුණ කවියාගේ “ගිහින් එන්නම් නාමලී” නමැති කව් එකතුවේ එන එක් තනි කවියකට නිමිත්ත, ඔහු මෙසේ දක්වයි.

තමළිනී ජෙයක්කුමාරන් , එල්.ටී.ටී.ඊ සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ හිටපු නායිකාවය. ඇය, තම චරිතාපදානය දෙමළ බසින් ලියු අතර, සාමිනාදන් විමල් විසින් “අසිපතක සෙවන යට” මැයින් එය සිංහලට නඟන ලදි. කලක සිට පිළීකා රෝගයෙන් පීඩා විඳිමින් සිටි ඇය, 2016 දි මිය ගියායය.

සිංහල ඇසින් බලන කල, තමළිනි යනු අනුකම්පා නො කළ යුතු, සතුරු නායිකාවකි. එහෙත් කුමාරසිංහ කවියා, ඇයට මලක් තබා, සිය මිනිසත් ගුණය පෑමට මැළි නොවන්නේ, මෙසේය,

සිංහලේ වාගෙමයි ඒ පාට දෙමළිනි

උණ්ඩයක් ඇවික් ළැම පළා කිරි ඉහිරුණි

ජීවාතේ ළා දල්ල මත පින්න පිපිරුණි

වන මලක් කඩා, බිම තබා යමි තමළිනී

කපිල. එම්. ගමගේ කවියා 2016 දි පළ කළ “තෙරියුම් කෝකිලා ” පද්‍ය සංග්‍රහයෙහි, පසු සටහනේ මෙසේ දැක්වෙයි.

“දශක 3ක් පුරා, ශ්‍රී ලාංකේය සමාජය ඉතා අවාසනාවන්ත මානව ඛේදවාචකයකට මුහුණ දුන්නේ අපේ ජීවිත ද එහි ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා තබා ගනිමිනි. දැන් යුද්ධයක් නැත. පොදු සමාජය උදම් අනන්නේ හා සිතන්නේ එලෙසිනි. එහෙත්, යුද්ධය විසින් අත්පත් කර දුන් මානව විනාශය තවමත් අප අතර ඇත. එය යුද්ධය තරමටම දරුණු ඛේදයකි. නන්දිකඩාල් කලපුවෙන් අවසන් වූවා යැයි සිතන යුද්ධය මානව සමාජයට ඉතිරි කළ ශේෂය කුමක්ද?  “තෙරියුම් කෝකිලා” ඒ ශේෂ පත්‍රය කවි ඇසකින් නිර්මාණය කිරීමක් ලෙස ගැනීම වඩාත් සාධාරණය. ”

කපිල.එම්.ගමගේ කවියාගේ “පරමේශ්වරන් යාපනේ යයි” නමැති කවෙන් කියැවෙන්නේ, යුද්ධයෙන් පසු, තමන් විසු නිවස බලන්නට නැවත යාපනේ යුවළක් පිළිබඳවය. එහි මෙසේද සඳහන් වෙයි.

“ ඉතිරි වී ඇති බිත්ති අත ගා

මිසිස් පරමේශ්වරන් හැඬුවා 

කවමදාවත් හඬන්නේ නැති

පරා අත්ලෙන් දැස පිසුවා.

   මහ පොළොව කාගෙත් නොවන බව 

කියුවත් එය එහෙම නෑ

බිමක් එක්කල බැඳෙන නෑකම 

මෙන්න මෙහෙමයි කියනු බෑ.

මතකයන් හරි බරයි සුවඳයි

අතට මිටකට ගන්න බෑමයි

ඇඟිලි අතරින් ගිළිහි වැටුණේ 

ලේ බිංදු විතරක් නෙවෙයි.”

ගමගේ කවියාගේ, කාව්‍ය සංග්‍රහයේ එන “යුවරජු සෙවීම” කව් පෙළද, අගනා නිර්මාණයකි.

මෙහිදි, වැඩිමල් සොහොයුරියක, යුද්ධයේ දි තමාට අහිමි වූ සොහොයුරා, මතකයට නඟමින් දුක් වෙයි.

“පහන් දල්වන්නට ඉඩක් නැති

තෙල්  අකැප සමයේ 

අකුරු බොඳවුණු සටහනක් ළඟ

අපිට, අපිවයි මිය ගියේ 

ඩයිනමෝවට බලය කැන්දන 

කරකවා සයිකලේ රෝදය

මල්ලියේ නුඹ එළිය දුන් හැටි 

පාඩමකි මතකයෙන් නොමැකෙන

අක්කෙ උඹවත් ගොඩ යමන් 

අම්ම අප්පව ගොඩ ගනින්

කපන කොටවන මරන කාලෙක 

ජීවිතයට ම පෙම් බඳින් 

උදාහිරු කලියෙන්  කූද්දා 

ගෙන්දගම් සුවඳට යටින් 

ආඩියා ළිදේ වතුර ඇද්දා 

මිරිස් මල් පූදන සිතින්”

මේ කව අවසන් වන්නේ සෙහොයුරිය තම ජීවිතය දිනා සිටින නමුත් සොහොයුරා අහිමිවීම ගැන පවසන ශෝකාලාපයකිනි.

මල්ලියේ නුඹ කොයි ගියේ

අදත් මං හොයනව මෙහේ

දිනු දිවියක රැජින වූ මට

 යුව රජුය මේ නැතිවුණේ.

යුද්ධයට මෙන්ම භීෂණ සමයටද මැදි වූ දකුණේ තරුණ තරුණියනට ද , මෙබඳු අත්දැකීම් ඇති බව, මෙහි දී මතකයට නැඟේ.

2015 දි, “එහෙටත් වහිනවැති”  නමින් කව් එකතුවක් පළ කළ, සඳුන් ප්‍රියංකර විතානගේ , “දෙමළ දුක” මැයැති කවියේදි , සමකාලීන කවි මිතුරනට සියුම් උපහාසයක් එල්ල කරයි. යුද්ධය පවතින කාලයේ, මුනිවත රැකියවුන් , ඉන් පසුව ලියන ශෝකාලාප අතරට එක්වීමට ඔහු කැමති නැති බව පවසන්නේ මෙසේය,

ෂෙල් මල් වෙඩි ලෙසින

හිස් මත පතිත වූ දින

මෞන වුත දැරූ උන් 

දැන් දුකවි ලියමින්

නො ලිමි කවි එදිනද 

දුක නැත එයට මට 

රණ ගොස නැඟූ කවිනතර

නො ලියා සිටීම ද කවියකි.

විකුණා දෙමළ දුක 

නොලියමි දැනුදු මම් කව්.

එහෙත්, තම දුක්බර හැඟීම් පුපුරා යන දිනක් එන බවත් , එදිනට මහ හඬින් වැළපෙන බවත් කවියා පවසයි.

උතුරේ යුද්ධයට ගිය, දකුණේ තරුණ සෙබළුන්. මිය යාමෙන් පසු, මුද්‍රා තබන ලද හෝ අඩක් ආවරණය කෙරුණු, මිනී පෙට්ටි තුළින් ආපසු නිවෙස් වෙත ඒම, ඉතා ශෝක ජනක සිද්ධියක් විය. සඳුන් ප්‍රියංකර, “යුද සෙළුව” නමැති කව, උපදින්නේ එතුළිනි.

කිසියම් උත්ප්‍රාසාත්මක බවත්ද තම කවියට මුසු කරයි. 

වුවන පමණක් පෙනෙන පරිදි

ඉඩක් තබමින්, නොයෙක් වැරදි 

වසා ඇත දෙණ දුටුව විටදි

වසා ලන්නට නොහැකි වු

යුද්ධයේ කැත සෙළුව දුටුවෙමි.

උතුරේ, මෙන්ම දකුණේ ද ඇතැම් කවීන් යුද සමයේ, ඒ වටා කළ නිර්මාණ ඉතා ආවේගාත්මක විය. කවියක තිබිය යුතු, සංයමය ඒවා තුළ දක්නට නොවීය.

සිය මිතුරු කවියන් විසින් “රැඩිකල් හිස් වැස්මකින්” සැරසු, මංජුල වෙඩිවර්ධන කවියාගේ “මම ලිඟුමාල වෙමි”  මැයැති කව ද, ඊට එක් නිදසුනකි. වෙඩිවර්ධන තම කවියට නිමිති කර ගන්නේ 1996 දි, පොලිසියේ දස දෙනෙකු විසින්, දුෂණය කොට මරා දමනු ලැබු තිදරු මවක පිළිඳව, අති අමානුෂික සිද්ධියයි. ඉන් කම්පාවට පත්වන කවියා, ඔහුගේ ද ඇතුළුව, මඟ දිගට හමුවන සියලු සිංහලයින්ගේ ලිඟු කපා , හුයකින් අමුණා, සමනළ ගිරි හිසේ එල්ලිය යුතු යැයි පවසයි.

“අත ගසා ගෙන හළලත 

වෙසක් සඳ වැළපෙයි

ජනේලයෙන් හොටු පෙරෙයි

ළඟ පාත ගෙදරක

තෙ මඟුල පිණිස නිමැවූ

නෙළුම් මල් සත

තව ම පරවී නැත…”

යනාදි වශයෙන්, තම කම්පිත හද විදහා දැක්වීම අරඹන මංජුල, එක්වරම කුපිතව, “මැරයෙකු” සේ ඝෝෂා කරන්නට පටන් ගනී. කරුණා ,සීතල හදැත්තෙකුට නොමනා, මාවතකට දිව යන්නට වෙයි. අඟුල්මල් දමනයට තවත් අඟුල්මලෙකුම නො ගැලපෙන බව අමතක කරයි.

මෙය කාව්‍ය විචාරාත්මක ලිපියක් නොවන බැවින්, වෙඩිවර්ධනගේ කවිය ගැන දිගු කතිකාවකින් වළකින නමුදු, “මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි” නැමැති ඔහුගේ කාව්‍ය සංග්‍රහය හා එහි ඇතුළත් “මම ලිඟු මාල වෙමි” කවිය, දකුණේ සිංහල කවීන්, යුද පසුතලයක හිඳ දැක්වු ප්‍රතිචාර පිළිබඳ, වැදගත් නිදර්ශනාත්මක අවස්ථාවක් ලෙස දකිමි.

යුද නිමාවෙන් පසු , දකුණේ වැසියෝ, “පරාජිතයන්ගේ භූමිය” නැරඹීම සඳහා, වැලනොකැඩී යැමට පටන් ගත්හ. සුනන්ද කරුණාරත්න කවියාගේ , “කන්‍ය දියවරට එළැඹ” නමැති කව් එකතුවෙහි ඇතුළත්, “වෙල්ලමුල්ලි වයික්කාලෙ” මැයැති කව ද, එබඳු ගමනක් පිළිබඳ අත්දැකීමක් තේමා කර ගනී. 

යුද්ධයෙන් විනාශයට පත් භූමිය පිළිබඳ වදන් චිත්‍රයක් මවන සුනන්නද, “තල් කවන්ධ” නැමැති යෙදුමින් , සමස්ත පරිසරය හා විනාශය සංකේත රූපයක් තුළට හසු කර ගනී.

“… දස දහසක් උල්කා වට

කලෙක් පරිද්දෙනි මේ බිම

තැන තැන පැනෙන නටබුන්

සුනාමිය සිහි ගන්වන

බිඳුන බිතුය ඒ

පෙර කල පියැසි ඉසි ලූ”

කෙසේ වෙතත්, කරටි කැඩුණු තල් ගස් යට, ජිවිතය යළි හිස ඔසවන්නට පටන් ගෙන ඇත. කළු කෙට්ටු කොළුවෙක්, බිම් බෝම්බ සාවිය අසල, උදලු කෙටියකින්, වානේ පොළොව කොටමින් සිටිනු කවියා අපට දක්වයි.

සාමය, ගිනිගත් පොළව නිවාලන මහා වර්ෂාවකි. එහෙත්, සුනන්ද කවියා දුටු, තල් කවන්ධයන්ට යළි පණ දීමට ඊට නොහැක. සියලු දෙය පෙළි මුල සිටම රෝපණය කළ යුතුය. අර කුඩා කොලුවා යළි බිම් සකසන්නේ, ඒ සඳහා විය හැකිය. සැබැවින් ම, එක් පරපුරකට අයත් වූ විනාශය, තවත් පරපුරකට හිටි නොවිය යුතුම ය.

අනුරාධා නිල්මිණි කිවිදියගේ “රිදුම් පිරි පිරිමැඳුම්” කාව්‍ය සංග්‍රහයෙහි එන “නන්දිකඩාල් පසුකොට ” කවිය ද නිමිති කර ගන්නේ, උතුරේ සංචාරයක යෙදෙන තරුණයෙකු,  පසුව සිය මිතුරෙකුට කරන “රූප විස්තරයකි.” “ඔය මචං අර මිදි වත්ත, ප්‍රභාගේ සුපිරි ගොවිපළ” යනු වෙන් ඇරැඹෙන එය අවසන් කෙරෙන්නේ මෙසේය,

“ මේ මචං අන්තිම එක 

නන්දි කඩාල් කලපුව

“මීඩියාවල” කොල්ලෝ

උකුලේ මඩේ එරී එරී

අපේ නිදහස අරන් දුන් තැන

එතැනින් පස්සේ බස් එක 

ගියා තව කොහෙ කොහේද තැන් වල

මට මතක නෑ , ඒ වුණත්

අපරාදේ බං සිරාවටමයි

උඹට මිස් වුණේ ට්‍රිප් එක”

අනුරාධා කිවිඳිය පවසන අයුරින්ම, ඒ බසය දුන්පසු කොහෙ කෙහේද ගියේය. එහෙත්, උත්පාසාත්මක බවකින් යුත් ඇගේ කවේ යටි පෙළෙහි සැඟැවුණු කිසියම් ඔවදනක්, උපදෙසක් බඳු , අරුතක් දැකිය හැකිය.ඒ බසය නැවත ‘මිස්’ කර ගත යුතු නුත. උතුරේත්, දකුණේත් මිතුරන් , එම බසයෙහි  නැඟ, එය, මිනිසත් බවේ, මාවතට හරවා ගත යුතුය.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් කතුවරුන්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts