අනාවරණ

තමන්ගේ වේදනාව යළි යළිත් දකින මිනිසුන්ම නසින් යළිත් ඇද වැටෙනවා

මෙලනි මානෙල් පෙරේරා

පුද්ගල වේදනාව ජනමාධ්‍ය හරහා අලෙවියෙන් හෝ ප්‍රසිද්ධියට පත්කිරීමෙන් සිදු වන්නේ ඛේදවාචකයට මුහුණදුන් මිනිසුන්ගේ වේදනාව තීව්‍ර කිරීමත්, පෞද්ගලිකත්වයට හානි පැමිණවීමත් පමණකි. ඒ බව ජනමාධ්‍ය ධාරා හසුරුවන බහුතරයක් දෙනා නොදන්නා දෙයක් ව ඇතැයි සිතෙන්නේ පාස්කු ඉරිදා ඛේදවාචකයට මුහුණදුන් මිනිසුන්ගේ කඳුළු, අද දවසේත් බොහෝ ජනමාධ්‍ය හරහා සිල්ලරට අලෙවි වනු දැකීමෙනි.

හේමාස් ආයතන සමූහයේ මනෝ චිකිත්සකවරයකු ලෙස කටයුතු කරන ආචාර්ය රවින්ද්‍ර රණසිංහ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රජා මූලික හිංසනය වැලැක්වීම සඳහා වන වැඩසටහනෙහි සම්පත් දායකයෙකි. ශී‍්‍ර ලංකාවේ රංග චිකිත්සන පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ලෙස ද, ශී‍්‍ර ලංකා යුද හමුදාවේ ‘සෙනෙහස‘ විශේෂ අධ්‍යාපන පාසලෙහි රංග චිකිත්සන උපදේශකවරයා ලෙස ද ඔහු කටයුතු කරයි. පාස්කු ඉරු දින බෝම්බ ප‍්‍රහාරයෙන් මානසික කම්පනයට පත් දරුවන් සහ වැඩිහිටියන් සඳහා ඔහු ස්වකීය විශේෂඥ චිකිත්සන සහාය ලබා දෙමින් සිටියි.

පාස්කු ඉරිදා සංහාරයෙන් පීඩාවට පත් ජනතාවගේ නොහොත් වින්දිතයන් ගේ ”කඳුළු කතා” ජනමාධ්‍ය හෝ සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමෙන් මේ වින්දිතයන්ට සිදු වන බලපෑම ඔබ දකින්නේ කෙලෙසින් ද?

මේ කඳුළු කථා නැතිනම් ඔවුන්ගේ දුක, වේදනාව මෙසේ ප‍්‍රචාරය කිරීම හරහා ඒවාට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලැබෙනවා. මින් සිදුවන්නේ කෙනෙකුට වේදනාව අත්විඳින්නට තිබෙන පෞද්ගලිකත්වය උල්ලංඝණය වීමක්. පුද්ගලයාගේ අනුදැනුමකින් තොරව පුද්ගලයාගේ වේදනාව මේ පිරිස් මාධ්‍ය හරහා අලෙවි කරනවා. මෙහිදි සිදුවන බැරෑරුම් ම දේ තමයි මේ අලෙවිය තුළ වින්දිතයාට තිබෙන අනන්‍යතාවට, නැතිනම් ඒ වේදනාව සම්බන්ධයෙන් තමන් තුළ වන අයිතියට ගරු කිරීමක් නොලැබිම. මේ ප‍්‍රචාරය පුද්ගල අයිතිය උල්ලංඝණය කිරීමක්. කෙනෙකුට තමන්ට අවශ්‍ය ආකාරයට ඒ වේදනාව අත්දකින්නට තිබෙන අයිතිය පිළිගැනීමකින් තොරව හුදෙක් ප‍්‍රචාරණයට, ප‍්‍රසිද්ධියට පත්කිරීම හේතුවෙන් සිදුවන්නේ පවත්නා ආචාරධාර්මික තත්ත්වය උල්ලංඝණය කිරීමක්.

පුද්ගලයෙකුගේ අනන්‍යතාව ආරක්‍ෂා කරන්නේ කෙලෙසද?, පුද්ගලයෙකුට අනන්‍ය වූ වේදනාව ආරක්‍ෂා කරන්නේ කෙලෙසද?, ඒ පුද්ගල වේදනාව අලෙවියට ලක් නොකර සමාජ අවධානයට යොමු කරන්නේ කෙසේ ද යන ආචාරධාර්මික පද්ධතියට අනුගතවීම මෙවන් සිදුවීම් වාර්තාකරණයේදි අත්‍යවශ්‍ය වෙනවා. ජනමාධ්‍යවේදයේ වැදගත් ම දෙයක් තමයි, කොහොමද සමාජ වගකීමකින් යුතුව වාර්තාකරණයේ යෙදෙන්නේ යන්න. සමාජ වගකීම, පිළිගැනීම සහ පීඩාවට පත්වු පුද්ගලයාට වටිනාකමක් ලබාදීම සමඟ වාර්තාකරණයේ යෙදීමයි පිළිගත් මූලධර්ම ලෙස සැලකෙන්නේ. මේ පුද්ගල වේදනාවන් අලෙවි කිරීම වහා නතර කළ යුතුයි. මේ වේදනාව පදනම් කර ගත් කතා ජනමාධ්‍ය හරහා ඉදිරිපත් කිරීමේ දී හා ප‍්‍රචාරණයේ දී ආචාරධර්ම පද්ධතියක් තුළ පිහිටා කටයුතු කිරීම අත්‍යවශ්‍යයි.

තමන් විඳි වේදනාව, දුක ජනමාධ්‍ය හරහා නැවත නැවතත් ප‍්‍රචාරය කිරීම, මේ සිදුවීම්වල වින්දිතයින් තුළ ජනිත කරන්නේ කුමන ආකාර වූ කායික හෝ මානසික බලපෑම් ද?

තමන්ගේ වේදනාව යළි යළිත් ඇසෙන විට, දකින්නට සිදුවන විටත්, අන් අයගේ ද වේදනා යළි යළිත් අසන්නට දකින්නට ලැබෙනවිටත් ඔවුන් ද්විත්ව වින්දිතකරණයකට (Secondary Victimization) ලක්වෙනවා. තව කෙනෙකුගේ වේදනවා දැක ඔහු හෝ ඇය තවත් වේදනාවකට පත්වීම සිදුවෙනවා. බෝම්බ ප‍්‍රහාරයෙන් ඇතිවුණු කම්පනය ඒ පුද්ගලයින්ට දරාගන්න නොහැකි වන්නේ ඒ කම්පනය පසුපස ගැබ්වුණු සිදුවීම් මාලාවක් පවතින නිසයි. ඇතැමුන්ට තමන්ගේ කිට්ටුවන්තයින්, ඥාතීන් අහිමි වීම, තවත් අයට තමන්ගේ ම ශරීරාංග පවා අහිමි වීම ඇතුළු බොහෝ සිදුවීම් මේ කම්පනය පසුපස පවතිනවා. මේ අතරේ තමන්ගේ වේදනාව නැවත වරක් දැකීම සහ අන් අයගේ වේදනා, කඳුළු කථා රූපවාහිනිය හෝ වෙනත් සමාජ මාධ්‍යක් තුළින් නැවත නැවත දකීම, ඇසීම හේතුවෙන් මේ වින්දිතයින් ප‍්‍රති කම්පනයකට (Re-traumatized) ලක්වීමට හේතුවක් වෙනවා. ජනමාධ්‍ය මෙවැනි ව්‍යසනකාරි අවස්ථා වාර්තා කිරීමේදි ආචාරධර්ම පද්ධතියක් තුළ පිහිටා කටයුතු කිරීම හා වාර්තාකරණයෙහි යෙදීම අත්‍යවශ්‍ය බව මා අවධාරණය කරනවා.

මේ පීඩනයෙන්, වේදනාවෙන් පෙළෙන වින්දතයින් මුදා ගැනීමේ දී, ඔවුන්ගේ සිත් සුවපත් කිරීමේ ක‍්‍රියාවලිය ඉතා වැදගත් බවයි ඔබගේ අදහස්වලින් තහවුරු වන්නේ. ඒ කාර්යය සිදු කළ හැකි විශේෂිත පුද්ගල කොට්ඨාසයක් පිළිබඳ සඳහන් කළ හැකි ද? නොඑසේනම් එය සමස්ත සමාජයේ ම වගකීමක් ලෙස ඔබ දකිනවා ද?

පාස්කු ඉරිදා බෝම්බ පුපුරා යන්නේ දේවස්ථාන තුළ. මේක විශේෂ සිදුවීමක්. අපි දන්නවා මීට පෙරත් වසර 30ක කාලසීමාව තුළ මෙවැනිම දරුණු ගණයේ ව්‍යසනවලදී ද්‍රවිඩ ජනතාවගේ දේවස්ථාන විනාශ වුණා. ඒ වගේම පුද්ගල ජීවිත විනාශ වුණා. මේ සිදුවීම ලංකා භූගෝලය තුළ කතෝලික ජනතාවට මේ ලෙස බලපෑවේ ප‍්‍රථම වතාවට. දේවස්ථාන තුනක සිදුවුණු මේ බෝම්බ පිපිරිමට ගොදුරු වුණු අයට ප‍්‍රතිකර්ම කරන්නට පෙර සැලකිල්ලට ගත යුත්තේ ප්‍රහාරය නිසා මේ අයට මොකද වුණේ කියලා. දේවස්ථානයේ මිනිසුන් සිටියේ දෙවියන් සමඟ බැදීමක් ඇතිකරගෙන, අධ්‍යාත්මීක බද්ධවීමක් ඇතිකරගෙන. මේ බද්ධවීම තමයි බෝම්බය පුපුරා යාමත් එක්ක දෙදරා යන්නෙ. මෙතනදී තමන්ගේ දෙවියන් පිළිබඳ තිබුණු විශ්වාසය, තමන්ගේ අධ්‍යාත්මීක ශක්තිය තුළ තිබුණු විශ්වාසය දෙදරා යාමෙන් ජීවත්වීමේ අර්ථය නැතිනම් ජීවිතයට තවදුරටත් අර්ථයක් තිබෙනවාද කියන ප‍්‍රශ්නය මේ පුද්ගලයින් තුළ ජනිත වුණා.  දෙවියන් තවදුරටත් අප ආරක්‍ෂා කරයිද? කියන ප‍්‍රශ්නය ඒ මිනිසුන් තුළ පැන නැඟුණා.

මේ තත්ත්වය වහාම ආමන්ත‍්‍රණය කළ හැකි කොට්ඨාසය තමයි කතෝලික පැවිදි සොයුරියන් සහ පුජකතුමන්ලා.   මේ පිරිස බෝම්බ පිපිරීමත් සමඟ ම විශාල මෙහෙවරක් කළා,  තවදුරටත් සිදුකරමින් සිටිනවා. වෙනත් ආගමීක පූජකවරුන්ද උත්සාහ කළා මනෝ උපදේශනයේ යෙදන්න, පුද්ගලයන් සමඟ කථාකරන්න. ඒ කාර්යය සාර්ථක කාර්යයක් නොවුණේ මේ සිදුවිමේ සන්දර්භය කතෝලික පරිසරයක පිහිටීම නිසයි. ඒ නිසා මූලිකව ම කතෝලික පූජක පක්‍ෂය සිදු කළ ඒ මැදිහත්කම නිසා බෝම්බයට මුහුණු දුන් මේ ජනතාවට අත්විඳින්න සිදුවුණු කම්පනයෙන් ගොඩඑන්න තිබෙන හැකියාව වැඩි වුණා.

ඔවුන්ගේ මැදිහත්වීම වින්දිතයන් තුළ දෙවියන් පිළිබඳ තිබු විශ්වාසය යළි තහවුරු කරන්නට හේතු වුණා. එය මේ පිරිස තුළ ජීවිතය පිළිබඳ අර්ථය යළි තහවුරු කළා. ඉන්පසු ඔවුන්ට අවශ්‍ය කළේ විශේෂඥ සහාය හා මනෝ චිකිත්සන සහාය. ඒ සඳහා කතෝලික මනෝ උපදේශකයන් , මනෝ චිකිත්සකයන් සහ කලා චිකිත්සකයන් යන විශේෂඥ පාර්ශව සහාය වුණා. අද වන විට මේ විශේෂඥ සහාය නිසා වින්දිතයින් සෑහෙන පමණ දෙනා තමන්ගේ ඒ කම්පනයෙන් මිදිලා අමාරුම කාල පරිච්ඡේදය පසුකර හමාරයි. තමන්ගේ කම්පනය සංකීර්ණ විධියට විඳිමින් සිටින තවත් සුළු පිරිසක් ද මේ අතර සිටිනවා. ඔවුනුත් මේ ඉම ඉක්මනින් පසුකර ඊළඟ පියවර වෙත ගමන් කරනු ඇති බව අපගේ විශ්වාසයයි.

රූපවාහිනිය ඔස්සේ හෝ වෙනත් දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ මේ වේදනා, දුක් නැවත නැවතත් නරඹන වත්මන් සමාජ මනසට ඇති කරන බලපෑම ඔබ පැහැදිලි කරන්නේ කෙලෙසින් ද?

විද්‍යුත් මාධ්‍ය වගේම මුද්‍රිත මාධ්‍යය ඔස්සේ ප‍්‍රචාරණය කරන  මේ වේදනා, දුක් නැරඹීම, ඇසීම හා දැකීම කොතරම් දුරට ලංකාවේ බෝම්බයට ගොදුරු නොවූ පොදු සාමාන්‍ය ජනතාවට කවරාකාරයේ බලපෑමක් කරනවාද යන්නත් අප මෙහිදී මනා සැලකිල්ලට ලක් කළ යුතුයි.   මේ සිද්ධියේ තොරතුරු නැරඹීම, කියවීම, ඇසීම හා දැකීම නිසා පොදු සමාජය විශාල වශයෙන් මානසීක ගැටීම්වලට, භීතියට, ත‍්‍රාසයට, තැතිගැන්මට පත්වෙනවා. එවන් තත්ත්වයනට පත් වූ  පුද්ගලයන් සිටිනවා. නොසන්සුන් බවට පත්වුණු පුද්ගලයන් සිටිනවා. නින්ද නොයන, ආහාර ගැනීමේ නොහැකියාව ඇතිවුණු, අන් අය විශ්වාස කරන්නට බැරි තත්ත්වයට පත්වූ පුද්ගලයින් සිටිනවා. අනියමින් හෝ නියමාකාරයෙන් සිදු කෙරෙන මේ ප්‍රදාරණ කටයුතු හේතුවෙන් අවසානයේදි මේ හැම කෙනෙක්ම මාධ්‍යයේ ගොදුරු බවට, වින්දිතයින් බවට පත්වෙනවා.

මීගමුව කලාපයට අයත් නොවන පාසල් දරුවන් පවා තමන්ගේ පන්ති කාමරය තුළ ඉගෙනුම් කටයුතු පවත්වාගෙන යන්නට වුවමනා අවධානයක් නැති තත්ත්වයකට පත්වුණා. සමහර පාසල් දරුවන් අතර වාර්ගික ගැටුම් පවා ඇතිවුණා, විශේෂයෙන් මුස්ලිම් දරුවන් සහ සිංහල දරුවන් අතර ගැටුම් ඇතිවුණා. එවැනි තත්ත්වයන්ට අපි මැදිහත්වීම් පවා සිදුකළා.   මේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හැසිරවීමේදි වගවිභාගයකින් තොරව සිදු කළ  තොරතුරු ප්‍රචාරණය හේතුවෙන් කටකතාවලට තටු ලැබුණා. හුදෙක් කට කථා මාධ්‍ය හරහා පුවත් බවට  පත්වීම තුළ මිනිසුන් වින්දිතයින් බවට පත්වන්නට පුළුවන්. ලැබෙන තොරතුරු කොතෙක් දුරට පුරවැසියා දැනගත යුතු ද, ඔවුනට එම තොරතුරුවලින් වටිනාකමක් තිබෙනවා ද, නැතහොත් ඒවා රහසිගතව තබා ගැනීම සිදු කළ යුතුද නැද්ද යන්න මනාව විමසීමට ලක් කළ යුත්තක්. එය රාජ්‍ය හෝ මාධ්‍ය ආයතන සතු වගකීමක්. සෑම තොරතුරකින්ම පුරවැසියාට අවශ්‍යතාවක් නැහැ, ඒ හැම තොරතුරක් ම පුරවැසියාගේ ජීවිත ශක්තිමත් කරන්නෙත් නැහැ. තොරතුරු හුවමාරුව, ප‍්‍රචාරණය පිළිබඳව සැලකිළිමත්වීම වැදගත් වන්නේ එනිසායි. මාධ්‍ය වර්තමානයේදි මිනිස් මොළය හැසිරවීමේ නූතන අවිය නැත්නම් මෙවලම බවට පත්වී තිබෙනවා. ඕනැම ජන කණ්ඩායමක් තුළ පවතින මතවාදය මෙහෙයවීම ජනමාධ්‍ය භාරගෙන තිබෙනවා. ඇතැම්විට එය හොඳටත් තවත් විටෙක නරකටත් සිදු වෙනවා. වත්මන් ක‍්‍රියාදාමය තුළ ජනමාධ්‍යයේ හැසිරවීම, ප‍්‍රශ්න කිරීම සිදුකළ යුතු ව ඇත්තේ එනිසායි.

This article was originally published on the catamaran.com

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts