අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් සමාජ

ජාතියකට ජාතියක් අහිමිකල ලංකාවේ උප්පැන්න සහතිකය

සජීව විජේවීර

” අපිත් මිනිස්සු, අපේ ඇඟේ දුවන ලේත් රතු පාටයි. ඒත් ආණ්ඩුවෙන් ම අපිව කොන් කරනවා. අපේ උප්පැන්න සහතිකේවත් අපිට හරියට දෙන්නේ නැහැ. අපි ශ්‍රී ලාංකිකයෝ. නමුත් අපි ඇවිත් ඉන්නේ ඉන්දියාවෙන්ලු. අපි අහිගුණ්ඨිකයෝලු. මෙහෙම කියලා අපිව කොන් කරනවා. අපි ජාතියක් ජන්මයක් නැති මිනිස්සු වෙලා. අපේ දරුවන්ව පාසල් පවා යවන්න බැරි වෙලා.”

ඔහු පැහැදිලි නිරවුල් සිංහල භාෂාවෙන් මෙසේ කීවේය. ඔහුත් මාත් අතර කිසිදු වෙනසක් නැත. ඔහුගේ පවුලේ සියලු දෙනා අපූරුවට සිංහල කතා කරයි. තෙළිඟු භාෂාව ද ඔවුන් දනියි. 

තමන් සියලු දෙනා ඉන්දියාවෙන් පැමිණි තෙළිඟු භාෂාව කතා කළ අතීත ජන කොටසකගෙන් පැවත එන බව මේ මිනිස්සු කියති. 

අපට මොවුන් හමුවන්නේ වව්නියාව දිස්ත්‍රික්කයේය. ඒ 9 මාර්ගයේ වව්නියාව නගරයට පෙර හමුවන ඉරට්ටපෙරියකුලම් හන්දියෙන් හැරී ගිය විට ඇති නොච්චිකුලම් නමැති ගම්මානයේ ඔවුහු ජීවත් වෙති. 

ගමේ නිවසක්

”අපේ අත්තා මුත්තා පවා කියා තියෙන්නේ එයාලාගේ මුතුන් මිත්තෝ විජය රජ්ජුරුවන්ගේ කාලේ විතර ඉන්දියාවේ තෙළිඟු රටින් ආවා කියලා. එදා ඉදලා අපේ රට වුණේ ශ්‍රී ලංකාව. එයාලා දිගටම තෙළිඟු භාෂාව කතා කළා. ඒ නිසා අපිටත් තෙළිඟු භාෂාව කතා කරන්න පුළුවන්. “

ගමේ ජනතාව සාමාන්‍ය මිනිසුන් මෙන් ජීවත්වන අයුරු 

ශ්‍රී ලංකාවේ ජීවත්වන තෙළිඟු බස කතා කරන ජනතාව අතීතයේ දී මෙරට කිසිදු ස්ථිර වාසස්ථානයක් නැතිව තැනින් තැනට යමින් ‘අහිතුණ්ඨික’ ජීවිතයක් ගත කළහ. තැන තැන ගොස් ප්‍රදේශයක් තෝරාගෙන එතැන කුඩා කූඩාරම් ගසා මාස කිහිපයක් දිවි ගෙවන ඔවුහු අදටත් ඉන්දියාවේ ‘කුරවර්’ ගෝත්‍රයට බොහෝ සෙයින් සමානකම් දක්වන බව පර්යේෂකයන්ගේ අදහසයි. 

දැන් ඔවුහු ස්ථාන කිහිපයක ස්ථිර නිවාස සාදාගෙන ජීවත් වෙති. 

ඔවුන් දැන් මෙරට ඇති පොදු පුද්ගල නාම භාවිතා කරයි. ඇදුම් ආයිත්තම් ද සාමාන්‍ය ජනතාවගේ ම මෙනි. එදා තිබූ ඔවුන්ගේ ආදායම් මාර්ග අද බොහෝ සෙයින් වෙනස් වී ඇත. නමුත් අපේ රටේ මිනිසුන් සිතන පතන ආකාරය වෙනස් වී නැති නිසා ඔවුන්ට විඳින්නට සිදුව ඇති ගැහැට බොහොමයකි. 

තෙළිඟු ජනතාව එකල ”වාඩි” ලෙස හඳුන්වන කුඩා කූඩාරම් අද මෙහි දක්නට නැත. ඉනි වැට ගස් හෝ මල් පාත්ති දමා වෙන්කරන ලද ඉඩම්වල සෑදූ ස්ථිර නිවාසවල ඔවුහු ජීවත් වෙති. 

අක්කරපත්තුව, කුඩාගම, කාංචනකුලම, කලාවැව, අන්දරබැද්ද සහ මිහින්තලේ වැනි ප්‍රදේශවල ද නොච්චිකුලම ගම්මානය වැනි ම තෙළිඟු බස කතා කරන ජනතාවගේ ගම්මාන පිහිටා ඇත. 

මේ ජනතාව අදින් දශක කිහිපයකට පෙර තැන තැන ගොස් නයි නැටවීම, රිලවුන් නැටවීම, සාස්තර කීම ආදියෙන් ජීවත් වූහ. නමුත් දැන් ඔවුන්ගේ ජීවන වෘත්තිය බොහෝ සෙයින් වෙනස් වී ඇත. 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වසන්ත ෂෙල්ටන් මහතා (39) මෙසේ පැවසුවේය. 

”දැන් අපේ අයගේ රස්සාවල් වෙනස් වෙලා. නයි නැටවීම, රිලවුන් නැටවීම කරන්නේ ම නැති තරම්. අපේ ගමේ නම් ඒ දේවල් කරන වයසක දෙතුන් දෙනෙක් විතරයි ඉන්නේ. අනිත් කිසිම කෙනෙක් ඒවා කරන්නේ නැහැ. ගැහැනු අයනම් තාමත් සෙනඟ ගැවසෙන පැතිවලට ගිහින් සාස්තර කියලා කීයක් හරි හොයාගන්නවා. අපි ඉතින් කුලී වැඩ කරලා පොඩි පොඩි බිස්නස් කරලා වැවේ මාලු අල්ලලා සල්ලි හොයාගන්න මහන්සි වෙනවා. “

සින්න එගටන්නලාගේ රංජිත් මහතා (41) මෙසේ පැවසීය. 

”අපිට ගොඩක් ප්‍රශ්න තියෙනවා. කිසිම රස්සාවක් හොයාගන්න විදියක් නැහැ. අනුරාධපුරේට ගිහින් බඩු ටිකක් ගෙනත් බස්වල විකුණන්න හැදුවොත් බස්වලින් අපිව එලවනවා අහිගුණ්ටිකයෝ කියලා. මම ගාමන්ට් රස්සාවක් කළා. මගේ නම එතැන අය දැනගත්තා. එදා ඉදලා ඉතින් මාව කොන් කළා. සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම එකට ඉන්නවා අපිව කොන් කරනවා. අන්තිමේ ඒ රස්සාව අතහැරලා දැම්මා.”

සාමාන්‍ය මිනිසුන් මෙන් සමාජයට මුහුණ දීමට නොහැකි වීම ඔවුන්ට දැඩි සිත් පීඩාවකි. 

එරන්නාගේ මධුශංක මහතා (23) මේ ගම්මානයේ දී හමු නොවී වෙනත් තැනක දී හමුවූවා නම් පෙනුම අනව ඔහු තෙළිඟු බස කතාකරන ජන වර්ගයකට අයත්යැයි අපට කිසිසේත්ම විශ්වාස කළ නොහැකිය. 

ඔහු තමන් මුහුණ පා ඇති ඛේදනීය තත්ත්වයක් මෙසේ විස්තර කළේය. 

”අපිට මේ ප්‍රශ්න ඇතිවෙන්නේ ඉස්පිරිතාලේ දී ළමයා ලැබෙන තැන ඉදලා. මගේ අම්මාට මා ඉපදුණු වෙලාවේ මගේ ජාතිය ලියන තැනට අහිතුණ්ඩික කියලා දාන්න එපා කියා දොස්තර මහත්තයාට කියලා තියෙනවා. ඒ වෙලාවේ දොස්තර මහත්තයාම බැනලා එළවලා කිව්වලු අහිතුණ්ඩික කියලා දානවා ඇරෙන්න වෙන එකක් දාන්න බැහැ කියලා. ඉතින් මගේ උප්පැන්න සහතිකයේ ජාතිය අහිතුණ්ඩික. දැන් මට දරුවෙක් ඉන්නවා. මගේ නෝනාට ළමයා ලැබුණාම මම ඉල්ලුවා ශ්‍රී ලාංකික කියලා ලියලා දෙන්න කියලා. එ් දුන්නෙත් නැහැ. ලිව්වේ තෙළිඟු කියලා. මට හිතාගන්න බැහැ අපිට මේ විදියට සළකන්නේ ඇයි කියලා. “

අහිතුණ්ඩික කියා ජාතියක් ලෝකයේ කොහේවත් නැත. අහිතුණ්ඩික යනු ගමින් ගමට ගොස් ජීවත් වන ස්ථිර පදිංචියක් නැති ජන කොට්ඨාස හඳුන්වන නාමයකි. ඔවුන්ගේ ජාතිය අහිතුණ්ඩිකයැයි පවසමින් උප්පැන්න සහතික නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙනි. තෙළිඟු යනු භාෂාවකි. ජාතියක් ලෙස පිළිගන්නේ නැත. තෙළිඟු බස කතාකරන ඔවුන්ගේ උප්පැන්න සහතිකයේ ජාතිය තෙළිඟු ලෙස සටහන් කර එය නිකුත් කළේ කෙසේ ද යන්න ගැටලුවකි.

මේ පිළිබඳ රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී.විතානගේ මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීවේය.

රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී.විතාන මහතා

“පැහැදිලිවම අහිතුණ්ඩික කියා ජාතියක් ශ්‍රී ලංකාවේ නැහැ. ඒ වගේ ම තෙළිඟු කියන්නේ භාෂාවක් මිසක් ජාතියක් නොවෙයි. අපේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන උප්පැන්න සහතිකවල මේ වගේ ජාතියක් සඳහන් වනවානම් එය බරපතල වරදක්. මේ වැරදි නිවැරදි කිරීමට තමයි අපි අලුතින් උප්පැන්න සහතික ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව සකස් කිරීම ආරම්භ කළේ. ඉදිරියට මේ වගේ වැරදි සිදුවෙන්න දෙන්නේ නැහැ. ඒ වැරදි ආකාරයේ උප්පැන්න සහතික තිබෙන ජනතාව අපෙන් ඉල්ලා සිටිනවානම් මේ උප්පැන්න සහතිකවල ඇති වැරදි නිවැරදි කරලා දීමට හැකියාව තිබෙනවා. “

ඔවුන් පවසන්නේ මේ උප්පැන්න සහතිකයේ සඳහන්ව ඇති ජාතියේ ප්‍රශ්නය නිසා තමන්ට කිසිදු රැකියාවකට යාමට නොහැකි බවයි. මේ නිසා දැන් සතුන් නැටවීමෙන් ඈත්ව සිටින ඔවුහු වැවේ මාලු ඇල්ලීම සහ බස්වල වෙළෙඳාමට ද යොමුව සිටිති. 

මේ උප්පැන්න සහතිකයේ ජාතිය ලෙස සඳහන්ව ඇත්තේ අහිකුණ්ඩික යන්නයි.
මෙම උප්පැන්න සහතිකයේ ජාතිය ලෙස සඳහන්ව ඇත්තේ තෙළිඟු යනුවෙනි

ෂෙල්ටන් මහතාගේ දරුවන් ඉගෙන ගන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි. ඉතා හොඳින් අධ්‍යාපනය ලබන ඔහුගේ වැඩිමහල් දියණිය මේ වනවිට ලන්ඩන් උසස් පෙළ හදාරන්නේ වව්නියාවේ නොච්චිකුලම ගමේ නිවසේ සිටිමිනි. ඇයගේ එකම බලාපොරොත්තුව වෛද්‍යවරියක වීමයි. දෙමාපියන් ඇය ගැන මහත් බලාපොරොත්තු තබාගෙන සිටියි. 

මේ ගම්මානයේ ජනතාව පිළිබඳ වව්නියාව දකුණ ප්‍රාදේශීය ලේකම් එම්.එස්.ජානක මහතා මෙසේ කීවේය. 

” මේ ජන කොට්ඨාසය අපේ රටේ ජනවර්ග පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී ඉතා වැදගත් පිරිසක්. ඔවුන්ට විවිධ ප්‍රශ්න තිබුණා. අපි ඒ පවුල් දැන් පදිංචිකරලා ස්ථිර නිවාස සාදා ගැනීමට අවශ්‍ය උදව් කළා. ඔවුන්ගේ දරුවන්ට පාසල් යාමේ ගැටලු තිබුණා. ඒවා විසඳාදීමට හැකිවුණා. මේ ජනතාව අපේම මිනිසුන් කියා සළකන්නට මහා සමාජය පුරුදුවිය යුතුයි. තවමත් ඔවුන් සමාජයෙන් කොන් කරන්න අතැම් පිරිස් උත්සාහ ගන්නවා. නමුත් මේ යම් ක්‍රමයකට හැඩගැසුණු ජනතාවක්. ඔවුන්ට තම වැඩිහිටි පරම්පරාවල අනන්‍යතාවක තියාගෙන නූතන සමාජය සමග අනුගත වීමට අවස්ථාව උපරිමයෙන් දිය යුතුයි.”

ඡායාරූප

වසන්ත ෂෙල්ටන් මහතා සින්න එගටන්නලාගේ රංජිත් සහ එරන්නාගේ මධුශංක

එගන්නාලාගේ තරංගනී සහ එරන්නාගේ ලෙච්චමී

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts