ආර්ථික සමාජ

ජනතාව ලියාපදිංචි නොවන්නේ ඇයි  

හේරත් මුදියන්සේලාගේ ආසිරි 

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය යනු රජයේ පරිපාලන ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය අංගයක් වන අතර ජනතා අයිතිවාසිකම්, පරිපාලන සේවා, සහ ආධාර මාර්ග ලැබීමට එය මූලික සුදුසු කමක් මෙන්ම මුලික පියවරකි.ඩිජිටල් තාක්ෂනය සමග සියල්ල මුහුවෙමින් පවතින මෙවන් අවධියක  ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල ජනතාව මෙවැනි ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලීන්ට සක්‍රියව සහභාගි නොවන බව දැකගත හැක. ඊට බලපාන සමාජීය, ආර්ථික, හා සංස්කෘතික හේතු විමසා බැලිම කාලින අවශ්‍යතාවයකි.

ලියාපදිංචි ක්‍රියාවලියට බලපා තිබෙන  ප්‍රධාන හේතු අතර අඩු අධ්‍යාපනික මට්ටමද ඉදිරි පෙළ හේතුවක් ලෙස පවතියි. ජනතාවට රජයේ ලියාපදිංචි ක්‍රියාවලියන්ගේ වැදගත්කම පිළිබඳ මූලික දැනුම නොමැතිවීම මත, විශේෂයෙන්ම ග්‍රාමීය හා දූපත් ප්‍රදේශවල අඩු අධ්‍යාපනික පහසුකම් නිසා ද මෙවැනි තත්ත්වයන් උද්ගත විය හැකිය. තවද ග්‍රාමීය පැල්පත්වාසීන් ද මෙවැනි අධ්‍යාපන හා අවම සාක්ෂරතාව මත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියට සක්‍රීය ලෙස දායක නොවේ. ඔවුන් තම දරුවන්ගේ උපතේ දී ඔවුන්ට උප්පැන්න සහතිකයක් හෝ විවාහයේදී වලංගු විවාහ සහතිකයක් ලබා ගැනීමට උත්සුක නොවන අවස්ථාවන් පවතී. 

එසේම, නව තාක්ෂණික ක්‍රියාවලියන්ට හුරු නොවීමද වැදගත් හේතුවක් ලෙස පෙන්වාදිය හැකිය. දැන් බොහෝ රජයේ ලියාපදිංචි ක්‍රියාවලියන් මාර්ගගත ක්‍රමය හරහා සිදු වන බැවින් එම තාක්ෂණික දැනුම නොමැති අය මෙවන් සේවාවන්ට සම්බන්ධ වීමෙන් වැළකෙති.

අතීතයේදී රජයේ ලියාපදිංචි ක්‍රියාවලියන් හරහා සිදු වූ දූෂණ සහ අසාර්ථක භාවයන්ද ජනතාවගේ විශ්වාසය හීන කිරිමට සමත් තවත් හේතුවකි. ඇතැම් ආධාර ක්‍රමරේඛා හෝ ව්‍යාපෘති සදහා ලියාපදිංචි වුවද, එහි ප්‍රතිලාභ නොලැබීම ජනතාවගේ  බලවත් විවේචනයට ලක්ව ඇත.

අවස්ථා කිහිපයකදී, ව්‍යාජ ලියාපදිංචි ව්‍යාපෘති හරහා ජනතාවගේ පුද්ගලික තොරතුරු ලබාගෙන තිබිමද තත්ත්වය වඩාත් සංකිර්ණ කිරිමට බලපා ඇත . මේ ආකාරයේ අත්දැකීම් ජනතාව තුල බියක් හා සැකයක් ඇති කර තිබේ.

අතීත අත්දැකීම්  රජයේ ආයතන හා රාජ්‍ය සේවකයන් පිළිබඳ ජනතාව අතර විශ්වසනීයත්වය පළුදුවිමට බලපා ඇති බව මේ පිළිබද නිරික්ෂනයේදි අනාවරණයවේ. . ලියාපදිංචි වීමෙන් තම පුද්ගලික දත්ත, අනන්‍යතාවන් බාහිර පාර්ශවයන් අයතා ලෙස භාවිතා කළ හැකි බවට ඇති සැකයද ඊට බලපා තිබේ. පරිපාලන පද්ධතියේ දූෂණය, රාජ්‍ය සේවකයන්ගේ සතුටු දායක නොවන සේවා සැපයිම , හා ප්‍රතිලාභ නොලැබීම යනාදියද ජනතාවගේ විශ්වාසය බිද වැටිමට හේතු වේ. විශේෂයෙන්, මැතිවරණ කාලසීමාවලදී පමණක් මෙවන් ලියාපදිංචි ක්‍රියාවලියන් වේගවත් වීමත් සමඟ ජනතාවට එය කෙරෙහි නොපසන්  අදහසක් ඇති වේ.

විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාව අතර, “සන්සුන් ජීවිතයක්” පවත්වා ගැනීමට නම්  රාජ්‍ය මැදිහත්විමෙන් කෙරෙන කටයුතුවලින් හැකිතාක් වෙන්ව සිටීම වඩා වාසි සහගත යැයි ඔවුහු පුර්ව උපකල්පනයක සිට කටයුතු කරන බව පෙනේ. ඔවුන් රාජ්‍යයේ මැදිහත් වීමකට තිබෙන බියට වඩා ඉහත තත්ත්වය කෙරෙහි සැලකිල්ල යොමුකර ඇත

ආර්ථික සීමා ද ජනතාව ලියාපදිංචි වීමෙන් වැළකීමේ වැදගත් හේතුවක් වේ. රාජ්‍ය ආයතනවලට පැමිණීමට ඇති ගමන් වියදම්, කාලය හා දෛනික ආදායම අහිමි වීම පවා මෙයට බලපායි. දිනපතා ස්වකිය කාර්‍යන්ගේ නිරත වන සේවකයන්ට හා ගොවියන්ට රාජ්‍ය කාර්යාලවල දිගු පෝලිම්වල ඉඳීම අසීරු අවාසිදායක අත්දැකීමක් වේ.

කාලය හා ප්‍රවාහන පහසුකම් හිඟය ද ඊට බලපා ඇත. . රජයේ ආයතන සති අන්තයේ  වසා තැබීමද වැඩ කරන ජනතාවට තවත් අභියෝගයකි.

ජනතාව ලියාපදිංචි වීමට මූලිකව ඔවුන්ට නිවැරදි තොරතුරු ලැබිය යුතුය. නමුත් රජය විසින් මේ සේවාවන් පිළිබඳ නිසි දැනුවත් කිරීමක් සිදු නොකෙරීම නිසා ජනතාව එය පිළිබඳව දැනුවත් නොවන අවස්ථා බොහෝමයක් ඇත.

ඇතැම් විට, රජයේ නිළධාරීන්ගේ යහපත් නොවන ප්‍රතිචාර, ආයතනවල ඇති ආකෘතික දැන්වීම් වල සංකීර්ණ භාෂා භාවිතය ද ජනතාව මෙම ක්‍රියාවලියෙන් බැහැරව තැබිමට බලපා ඇත.

මෙම සමාජීය, ආර්ථික හා මානසික හේතු හා සාධක හඳුනා ගැනීම තුළින්, රජය හා ඊට අනුබද්ධ ආයතනවලට මේ සදහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සදහා යොමුවිය හැකිය.

ජනතාවට ප්‍රජා දැනුවත් කිරීම වැඩි කිරීම: ග්‍රාමීය හා නාගරික ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීම සදහා සන්නිවේදන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය.

ප්‍රවාහන පහසුකම් සහ වැඩසටහන් ව්‍යාප්ත කිරීම: ජනතාවට ලියාපදිංචි වීම පහසු කරවීමට ග්‍රාමීය මට්ටමේ සේවා මධ්‍යස්ථාන (ජංගම සේවා) සකස් කළ යුතුය.

නවීන තාක්ෂණික උපකරණ සහ පුහුණු වැඩසටහන්: මාර්ගගත ක්‍රියාවලියන් සදහා පුහුණු වැඩසටහන් පවත්වන අතර, ඔවුන්ගේ තාක්ෂණික දැනුම වැඩි දියුණු කළ හැක.

විශ්වාසය ගොඩනැගීම: රාජ්‍ය ආයතන හා සේවකයන්ගේ විශ්වාසය ජනතාව අතර  ගොඩනැගීම අත්‍යවශ්‍ය වේ.අවසානයේ, ජනතාවට පුරවැසි අයිතිවාසිකම් සහ ආධාර ලබා ගැනීමට ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය වුවද, එයට අවශ්‍ය පසුබැසීමේ හේතු වටහාගෙන ප්‍රයෝජනවත් විසඳුම් ක්‍රියාත්මක කිරීම සාර්ථක සමාජ පරිපාලනයක් නිර්මාණය කිරීම සදහා අවස්ථාව උදාකරනු ඇත.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts