අනාවරණ

ගිනිගත් නෞකාවේ අළුයට සගවන සත්‍ය

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව විනාශවී හමාරය. එහෙත් ඒ විනාශය හුදු නෞකාවක විනාශය ඉක්මවා ගොස් අතිමහත් පාරිසරික විනාශයක් කළ එකක් ලෙස හැදින්වීම වඩාත් සාධාරණ බව මේ ලියුම්කරු විශ්වාස කරයි . මෙම නෞකාව ගිනිගෙන විනාශ වීමෙන් ශ්‍රීලංකාවේ සමුද්‍රීය පාරිසරික හා ජෛව විවිධත්වයට පිරිමසාලිය නොහැකි හානියක් සිදුවූ අතර ධීවර සංචාරක ආදී කර්මාන්තයන්හි බිඳ වැටීම සහ ඇතිවිය හැකි අම්ල වැසි සහ තවත් හේතුකාරනා ගනනාවක් නිසා ජනජීවිතයටද බරපතල හානි සිදුවූ බව පැහැදිළිය. මේසා විනාශයක් සිදුවූ මේ නාවික අනතුර වලකා ගන්නට යම් ක්‍රමයක් වූයේද යන්න මේ මොහොතවනවිට සමාජ මාධ්‍යන්හී සහ ඇතැම් පුවත් හී සාකච්චාවට බඳුන් වෙමින් පවතී . 

එක්ස්ප්‍රස් පර්ල් යනු සිංගප්පූරුව මුල් කොට ක්‍රියාත්මකවන ජාත්‍යන්තර ප්‍රවාහන සමාගමක් වන ”එක්ස්ප්‍රස් ෆීඩර්ස්”  ආයතනය සතු වූ නෞකාවකි. මේ වසරේ සේවයට එක්වූ ඇය චීනයෙන් පිටත්ව ඇත්තේ පසුගිය පෙබෙරවාරියේ බව කියවේ. මේ විනාශයට හේතුවූයේ එහි රැගෙන ආ නයිට්‍රික් අම්ලය සහිත බහාලුමක ඇතිවූ කාන්දුවක් නිසා හටගත් ගින්නකි. නෞකාව අයිති සමාගමේ විධායක සභාපති ටිම් හාර්ට්නෝල් ජාත්‍යන්තරව ප්‍රකට splash243.com වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් කියා ඇත්තේ මෙකී රසායණික කාන්දුව  නෞකාවේ කපිතාන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය නිරීක්ෂණය කරා ඇත්තේ එය ශ්‍රීලංකාවෙන් නාවික සැතපුම් දහස් ගනනක් ඔබ්බෙන් අරාබි මුහුදේ යාත්‍රා කරමින් සිටියදී බවයි. එමතුද නොව එකී කාන්දුව වලකා ලන්නට ඉන්දියාවේ හසීරා සහ කටාර් හී හමාඩ් වරායන් වෙත නෞකාව ඇතුළු කරන්නට කපිතාන් අවසර පැතූවද එකී වරායන්  අදාල අවසරය ලබා නොදුන් බව ටිම් හාර්ට්නෝල් පවසා ඇත.

වරායන් දෙකකින් බාර නොහත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඊළඟට කෙළින්ම පැමිනෙනුයේ කොළඹ වරායටය. ඒ නිකම්ම නොව්.  ගින්නක අවධානමද  රැගෙනය.  මේ ඛේදවාචකය පිළිබඳ පසුගිය 28 වනදා ශ්‍රීලංකා වරාය අධිකාරිය නිවේදනයක් නිකුත් කරන ලද අතර ඉන් කියවෙනුයේ නෞකාව පසුගිය 19 දා රාත්‍රී ශ්‍රීලංකා මුහුදු තීරයට පැමිණ රේඩියෝ පනිවිඩයක් මගින් පසුදින අළුයම කොළඹ වරායට ඇතුළු වීමට බලාපොරොත්තු වන බව දන්වා සිටිමුත් නෞකාව ඇතුළත සිදුවූ රසායනික කාන්දුව පිළිබඳ කිසිත් සඳහන් නොකළ බවය. ඒ අනුව වරයේ නැංගුරම් පොළ සූදානම් වනතුරු නෞකාව වරායට නොදුරු මුහුදේ නැංගුරම්ලා තිබීමට ඊට අවසර ලබාදුන් බව වරාය අධිකාරිය කියයි . කෙසේ වෙතත් පසුදින නෞකාවේ දේශීය නියෝජිතයන් කොළඹ වරායේ ”හාබර් මාස්ටර්” වෙත විද්‍යුත් තැපෑලක් යොමුකරමින් රසායනික කන්දුවක් සහිත බහාළුම් දෙක අළුත්වැඩියා කිරීමට අවසර ඉල්ලා සිටිබව එම නිවේදනයේ කියවේ. ඒ අනුව එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනිගැනීමේ අවධානම සහිත එකක් ලෙස  කොළඹ වාරායේ හාබර් මාස්ටර්වරයා හඳුනාගන්නට ඇති බව පැහැදිළිය . එදින (20) දහවල් වරුවේ නෞකාවෙන් පළමුවරට දුමක් මතුවූ මුත් එහි අවධානම නෞකාව විසින් පාලනයකරගත් බවත්, දෙවෙනි වරට දුමක් මතුවූ අවස්ථාවේ වරායේ ගිනි නිවීම් සේවා නෞකාවට යවා ගින්න මැඩ පැවැත්වූ බවත් වරාය අධිකාරියේ නිවේදනයේ කියවේ. එම අවස්තාවේ හෝ නෞකාවේ අවදානම් සහගත බව  අප වටහා ගත්තේනම් විපතේ බලපෑම මීට වඩා අඩුකරගත හැකිව තිබුනා නොවේද?  වරායන් දෙකක් ඇතුළු කර ගැනීමට ප්‍රතික්ෂේප කළ ගිනිගැනීමේ අවධානම සහිත නෞකාවකට අමතර  ආරක්ෂක විධිවිධනයක් නොමැතිව වරායට ඇතුළු කිරීමට ඉඩ ලැබෙන තෙක් වරාය සමීපයේ රඳවා ගැනීම සැබැවින් අනුවණ ක්‍රියාවක්  ක්‍රියාක් බව අමුතුවෙන් කිව යුතු නොවේ . එහෙත් ලංකාවේ වරාය බළධාරීහූ ඒ අනුවණ ක්‍රියාව කළ බව දැන් ලෝකයම දනී .  

මේ සියල්ල එක පෙළට ගෙන සලකා බලන කළ පැහැදිලි වෙන්නේ 19 දා මධ්‍යම රාත්‍රී කොළඹ වරාය සමීපයේ නැංගුරම් ලෑ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පසුදින දහවල තෙක් ආසන්න වශයෙන් පැය දොළහක් ගිනි ගැනිමේ අවධානම සහිතව වරාය සමීපයේ රැඳී සිටිබවත්, නෞකාවේ දේශීය නියෝජිත ආයතනය විද්‍යුත් තැපෑලකින් දැන්වත් කළ පසුහෝ ඊට යම් ආරක්ෂාවක් සැපයීමට හෝ ශ්‍රිලංකා මුහුදු සීමාවෙන් ඈතට එය රැගෙන යාමට වරාය අධිකාරිය කටයුතු නොකළ බවයි. යම් හෙයකින් මේ විනාශකාරී ගින්න පැය කීහිපයක් පමා වී, නෞකාව වරායට ඇතුළු කළ පසු හට ගත්තේනම් තත්ත්වය කුමකින් කුමක් වේදැයි අපට සිතාගැනීම අසීරු නැත. ගෝලිය වසංගතයකින් බැට කමින් සිටිනා රටක ප්‍රධාන වරායකට මෙවැනි ගිනි බෝම්බයක් ඇතුළු කර ගැනීමට නැංගුරම්පොළ ඉඩ ලැබෙනා තෙක් බලා සිටීම සුළුකොට තැකිය හැකි වරදක් නොවේ.

 නෞකාව අයිති සමාගමේ විධායක සභාපතිවරයා splash243.com වෙබ් අඩවියට පවසා සිටිනුයේ එම වරායන් තම නෞකාව ප්‍රතික්ෂේප කළ බවයි. එපමණක්ද නොව විද්‍යුත් මාධ්‍ය සාකච්චාවකට එක්වූ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය වන දර්ශනී ළහඳපුරද පවසනුයේ මෙම නෞකාව ඉන්දියාව කටාරය විසින් ප්‍රතික්ශේප කළ බවකි. එසේ තිබියදී මීට අදාලව වරාය අධිකාරිය නිකුත්කළ නිවේදනයත්, 28/5/ 2021 දින ජාතික රූපවාහිනියේ ප්‍රවෘති විකාශනයයේ මේ ගන අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවාත් පවසනුයේ නෞකාව ඉන්දියාවේ සහ කාටාර් හී වරායන්ට ඇතුළුවී මෙහෙයුම් කළ බවයි.  ඒ අනුව බලනා කවුරුන් හෝ යමක් සඟවන බවට සැකයක් ඇතිවීම සාධාරණය . අනෙක් වැදගත් කරුණ වනුයේ කිසිම විටෙක නෞකාවේ දේශීය නියෝජිතයා කවුරුන්ද යන්න නිරාවරණය නොවීමය. බොහෝවිට සියළු රහස් සැඟව ඇත්තේ එහි විය හැකිය.
මෙවැනි අනතුරුවලදී නාවික යාත්‍රාවනට පිහිට වීමට සෑමරටක්ම බැඳී සිටිනා අතර ඊට අනුකූලව කටයුතු කරමින් නෞකාව මෙරට සාගර සීමාවෙන් ඔබ්බේ රඳවා කාර්‍ය මණ්ඩලය බේරා ගැනීමටත් අසල්වැසි රාජ්‍යන්ගේ උපකාරගෙන නෞකාව ආරක්ෂා කර ගැනීමට උත්සහකිරීමට අපට හැකියාව තිබූනා නොවේද. ඒ කිසිත් නොතකා මෙවැනි අවධානම් සහගත රසායණික කාන්දුවක් සහිත නෞකාවක් කොළඹ වැනි ජනාකීර්ණ වරායක් තුළට ගැනීමට උත්සහ කිරීමට බරපතල වරදක් නොවන්නේද ? ඊට වගකිවයුත්තෝ කවරහුද. ජනතාවට පිළිතුරු දිය යුත්තේ මේවාට නොවේද ? එහෙත්  අපට සිදුව ඇත්තේ මිලකළ නොහැකි පාරිසරික විනාශයක් කරමින් ගිනිගෙන විනාශවූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමිකරුවන්ගෙන් ලැබෙනා මුදලින් රටේ ඩොලර් අහේණිය පියවන්නට කෙළහලනා දේශපාලනඥයන්ගේ ගොන්පාට් බැලීමටය.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts