සාමය

ගංදියට සියල්ල යටවෙද්දි ඉතිරි වු ආගමික සහජිවනය

නිමල් අබේසිංහ

ස්වාභාවික ව්‍යසනයන් අබිමුව මිනිසත්කමින් පිරිපුන් හදවත් ඇත්තෝ එකතුවන්නේ නිරායාසයෙනි. ඒ එකමුතුවට ජාති, වර්ණ ඈ කිසිදු භේදයක් නොපවතී. ඒ අපූරු මනුසත් දහම අනවබෝධ කරගත්තවුන් තවමත් අප රටෙහි කොතරම් සිටිත්ද? අනෙක් අතට සොබා දහමේ ව්‍යසනයන් ජාති, ආගම් ආදී භේදයන් නොසලකමින් කාටත් එකම අයුරින් සලකමින් සිටින මොහොතක අතිත කතාවක් දෙසට අවධානය යොමු කරමු. මන්ද අතීතය අපට කියා දෙන පාඩම් අනාගතයට වටිනා බැවිනි.

වර්ෂ 2015 මැයි මාසයේ මැද භාගයේ ඇතිවූ මහා ගංවතුර ලංකාවේ කිසිවෙකුටත් අමතක නොවන සිදුවීමකි. මේ මහා ගංවතුරින් කොළඹ දිස්ත්‍රික්කයේ වඩාත් ම බලපෑමට ලක්වූවෝ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත ආදී වූ කැලණි ගඟේ දැලේ විසූවන්ය. දින ගණනාවක් පුරා ගංවතුරට කොටුවූ පිරිස් ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන් නොමැතිව දැඩි අපහසුතාවකට පත්ව සිටියහ. ගංවතුරේ ස්වභාවය අනුව ආධාර ලබා දෙන්නන් පවා අපහසුතාවට පත්වූ අතර ඇතැම් ස්ථාන කරා යෑමට නාවික හමුදාව පවා පසුබට වූයේය. මෙවැනි අපහසුකම් බාධාවන් පවතිද්දී අපේ කතා නායකයන් දෙදෙන පෙරමුණ ගත්තේ කලින් කතිකා කරගත් පරිදි සැලසුම්සහගතව නොවේ.

කතාවේ ප්‍රධාන චරිතය කොළඹ මෝදර පදිංචිකරුවෙකු වන පී.ඩබ්ලිව්.ඒ.ඩී. ජූඩ් රංජිත්ය. එවකට 52 වියේ පසුවූ රංජිත් වෘත්තියෙන් කොළඹ නගර සභාවේ තොට ළඟ මාර්ග නඩත්තු ඒකකයේ කම්කරුවෙකි.

“එදා 18 වැනිදා (2016.05.18) මම උදේ වැඩට ගියා. මගේ නංගිගෙ දුව පදිංචි වෙලා ඉන්නේ වැල්ලම්පිටියේ, පොල්වත්තේ වෙන්වත්ත කියන ගමේ. එයා මට කෝල් එකක් දීල කීව කැලණි ගඟේ වතුර මට්ටම එන්න එන්න ම වැඩි වෙනවා. මාමා බෝට්ටුවක් අරගෙන එන්න. අපි බලන් ඉන්නවා කියලා.”

මම එවේලෙම අපේ ඉංජිනේරු තුමියට කීවා “මැඩම් මට කරදරයක් ඉක්මනට යන්න ඕනෙ කියල.” එයා ටෙක්නිකල් ඔෆිසර්ට කියල මට යන්න කීවා.

ඊට පස්සේ මම පෑලියගොඩට ගිහින් ලොරියකුත් අරගෙන මෝදර වැල්ලට ආවා. මගෙ යාළුවෙක් ඉන්නව ප්‍රදීප් කියල. එයාට ෆෝන් එකෙන් කතා කරන්න හැදුවත් බැරිවුණා. ඒත් මම එයාගෙ බෝට්ටුව ලොරියට පටවා ගත්තා. බෙනඩික් කියන යාළුවගෙන් බෝට්ටු එන්ජිමයි, තෙල් ටැංකියයි ඉල්ල ගත්තා. රාජා කියන යාළුවගෙන් සේෆ්ටි ජැකට් දෙකකුත්  ඉල්ලා ගත්තා. ඊට පස්සෙ ගියේ කෙළින්ම ඔරුගොඩවත්ත පාලමෙන් පල්ලෙහාටයි.

ඔරුගොඩවත්ත පාලම අසල සිට වාහනයක් යා නොහැකි මට්ටමට ගංවතුර අල්ලා තිබිණ. වෙලාව දහවල් 11.45ට තරම් වී තිබුණේය.  ජූඩ් ලොරියේ තිබූ බෝට්ටුව වතුරට බා ගත්තේය. ඒ ඔහු කැඳවාගෙන ගිය මිතුරා වන මාකස් හා එතනට පැමිණි අෂ්රෆ් නම් තරුණයාගේ සහායෙනි. බෝට්ටුවේ ඇන්ජිම සවිකරගෙන බෝට්ටුව ක්‍රියාත්මක කළ විට අෂ්රොෆ් නම් තරුණයාද ස්වේච්ඡාවෙන්ම බෝට්ටුවට ගොඩවී මගපෙන්වන්නට ඉදිරිපත් වූයේය.

“අපි ඉස්සරලාම ගියේ නංගිගෙ දුවගෙ ගෙදරට. දුවයි, එයාගෙ ළමයි තුන්දෙනයි, බෑණයි, අහල පහල ගෙවල්වල හිටපු පොඩි ළමයි ටිකකුයි ඔක්කොම 10ක් විතර බෝට්ටුවට නංවාගෙන වැල්ලම්පිටිය පොලිසිය ළඟට ගෙනත් බැස්සුවා. ඉන්පසුව නැවතත් දියඹට පැමිණි ජූඩ් ඇතුළු පිරිස මග එනවිට ගංවතුරට කොටුවී සිටි තවත් දරුවන් පිරිසක් වැල්ලම්පිටිය පොලිසිය අසලට ගෙනත් ඇරලුවේය. ඒ සඳහා ගමන් වාර පහක් පමණ ඔවුන් ගොස් තිබිණ. හතරවන ගමන් වාරයේදී සිරස මාධ්‍ය ආයතනයේ මාධ්‍යකරුවන් පිරිසක් ද ඔහුගේ බෝට්ටුට ගොඩ වැදිණ. ඔහු ඔවුන්ට ද සිය කාර්ය කරගැනීමට සිය බෝට්ටුවෙන් ඉඩ සලසා දුන්නේය. මෙලෙස එදින රාත්‍රී 7.30 වන තෙක් ගංවතුරෙන් කොටුවූවන් මුදාගැනීමට කටයුතු කළේය. ඉන්පසු බෝට්ටුවේ ඇන්ජිම සහ තෙල් ටැංකිය වැල්ලම්පිටිය පොලිසියේ තබා දෙමටගොඩට පැමිණ මෝදර නිවෙසට ගියේය.

එදින දවස පුරාම අෂ්රොෆ් නම් නාඳුනන තරුණයා ද ජූඩ් සමග හරි හරියට ගංවතුරට කොටුවූවන් බේරා ගැනීමේ මෙහෙයුමට එකතු විය. එදින ගංවතුරෙන් කොටුවූවන් බේරා ගැනීමට වෙනත් කිසිදු බෝට්ටුවක් නොපැමිණි බවද ජූඩ් අවධාරණය කරයි.

“පහුවදා උදෙත් ඒ කියන්නේ 19 වැනිදාත් මම උදෙන්ම වැල්ලම්පිටියට ගිහින් බෝට්ටුව අරගෙන කට්ටිය බේර ගන්න ගියා. එදින නම් තවත් බෝට්ටුකරුවන් පැමිණ සිටි අතර ඔවුන් ගංවතුරට කොටුවූ පිරිස් රැගෙන විත් ඇත්තේ මුදලටය. විශේෂත්වය වන්නේ ජූඩ් කිසිවකුගෙන් හෝ තඹ සතේක තරම්වත් කිසිවක් නොගෙන සිය උදාර කාර්යය කිරීමය.

එක වෙලාවක අපි ඩොක්ටර් කෙනෙක්ගෙ ළමයෙක් ගත්තා. පොඩි ළමයෙක් උඩ තට්ටුවේ ඉඳන් කූඩයක තියල තමා ලණුවකින් බෑවේ. අෂ්රොෆ් හොඳ කොල්ලා. එයා වතුරටත් බැහැලා මේ අයව බේරා ගන්න මහන්සි වුණා. ඔය අතරතුරේ ගංවතුරෙන් කොටුවූවන්ට කෑම බෙදන්න අවශ්‍යයැයි කියූ පුද්ගලයෙකුද බෝට්ටුවට නැංගේය. ජූඩ් ඔහුට ද ඉඩ දුන්නේය. මේ පුද්ගලයා කවුරුන්දැයි ජූඩ් අදටත් නොදනී.

නාවුක හමුදා බෝට්ටු ද එදින පැමිණ තිබූමුත් ඔවුන් ගංවතුරෙන් කොටුව තිබූ ඇතැම් ස්ථානවලට ගොස් නැත.

ජූඩ් ඒ ගැන කීවේ මෙහෙමය. “නේවි එකෙන් අමාරු තැන්වලට ගියේ නෑ. ඇතැම් පාරවල් පළල අඩි 6ක් විතර. බෝට්ටු හරවන්න බෑ. තාප්පවල හැප්පෙනවා. ඒත් මම ඒ තැන්වලට ගියා.  දක්ෂ ධීවරයකු වූ ඔහු දෙවනි දින බෝට්ටුවට නැංගේ දිග කඹයක් ද රැගෙනය.

“මම අරන් ගිය දිග කඹේ හයිය ඇති කණුවක බැඳලා බෝට්ටුව පස්සට අරන් ගියා. එහෙම කළේ එන්ජින් එක නවත්තලා. එතකොට ආපසු එන්න බෝට්ටුව හරවන්න ඕනේ නෑ. එහෙම ගිහිල්ලත් ගෙවල්වල තාප්ප තුනක් විතර මගෙ අතින් කැඩුණා. ඒත් මම කළේ අනිත් අය නොකළ ඒ අයට කරන්න බැරි අමාරු වැඩක්.

මේ දවස් දෙකේදීම මම කාගෙන්වත් සිගරට් එකක්වත් බීවේ නෑ. එහෙම කළා නම් මගේ හිතට හරි මදි.” ජූඩ් දීප්තිමත් දෑසින් යුතුව තෘප්තිමත්ව කියයි.

මොහොමඩ් බිර්සාම් හුසේන් මොහොමඩ් තුන්වන පටුමග වෙන්වත්ත වැල්ලම්පිටිය පදිංචිකරුවෙකි. ඔහු ගංවතුර පැමිණි 18 වැනිදා කඩවත මාකොළ  පදිංචි ඔහුගේ මවගේ නිවසේ බිරිඳ හා දරුවන් නවතා 18 දින නැවත වැල්ලම්පිටියට යාමට ඔරුගොඩවත්තට ආ විට ජූඩ් දැක ඔහුට උදව් කරන්නට සිතුවේ දෙවරක් නොසිතාය. ගංවතුර නිසා ජූඩ්ට පාරවල් සොයා ගත නොහැකි බැවින් අෂ්රෆ් මාර්ගය පෙන්වන්නට එකතු වූයේය.

“මම යන ගමන් ජූඩ් අයිය එක්ක කතා කළා. මල්ලි තෙල් ඉවර වෙනකල්ම කට්ටිය අරන් යමු” කියලයි. ජූඩ් අයියා මට කිව්වේ අෂ්රොෆ්  ඒ මොහොත සිහිපත් කළේය. “ඊට පස්සේ මම කීව මගෙ ළඟ නම් දැන් සල්ලි නෑ. ඒත් ඔයා වැඩේ කරගෙන යන්න කියලා ඒ වෙලාවෙ ජූඩ් අයිය කීවේ මල්ලි උඹ බහින්න එපා. උඹ ඉන්න එක මට ලොකු හයියක් කියලයි.

ඉතින් උඹ ඉන්නව නේ? ජූඩ් අයිය එහෙම කියපුවාහම මගේ සිතට ආවේ පුදුම සතුටක්. කිසිදා ඔවුනොවුන් මුණ නොගැසී ඉතාම කෙටි කාලයකදී අහඹුවෙන් හමුවුවත් මේ කතෝලිකයාගේත් මුසල්මානුවාගේත් හදවත් එකට යා වූයේය. මිනිසත්කමේ අරුමය වන්නේ එයය. මේ ව්‍යසනය ඉදිරියේ ඔවුන්ට ජාති ආගම් භේදයක් නැත. ඉදිරියට එන්නේ මනුසත්භාවය හැර අන් කිසිවක් නොවේ. 

අපි දෙන්නා එකතැනකදී උඩ තට්ටුවක කොටුවෙලා හිටපු පවුලක් බේරා ගත්තා. පොඩි දරුවාට සති තුනයි. කූඩෙක තියලයි පහළට බෑවේ.

ඊට පස්සෙ ගෑනු තුන්දෙනෙක්. අන්තිම ගෑනු කෙනා ශරීරයෙන් බරපතළ කෙනෙක්. එයාවත් ගන්න බෝට්ටුවේ හිටගෙන කකුල් දෙකෙන් අල්ල ගත්තා. එයා උඩ තට්ටුවේ එල්ලීගෙන හිටියේ. අත් දෙක අතහරින්න කීවට අතහැරියේ නෑ. එතකොටම බෝට්ටුව පැද්දිලා ගියා. මම වතුරට වැටුණා. ගෑනු කෙනා එහෙමම එල්ලීගෙන හිටියා. ආයෙ මම වතුරෙ ඉඳගෙනම ගෑනු කෙනාගෙ කකුල් දෙක මගෙ ඔළුව උඩ තියාගෙන බොහොම අමාරුවෙන් තමා බෝට්ටුවට ගත්තෙ.

අනෙක තමයි නේවි එකවත් නොගිය තැන්වලට ජූඩ් අයිය බෝට්ටුව අරන් ගිහින් කට්ටිය අරන් ආවා. මෙවන් අවස්ථාවලදී කාන්තා අඟපසඟ අතගෑවීම සාමාන්‍ය දෙයක් වුවත් අෆ්රොෆ් එහිදීද මනා සංයමයෙන් යුතුව එය සිදු කළ බව ජූඩ් පැවසුවේ අෂ්රොෆ් කෙරෙහි ඇති කරගත් දැඩි භක්තියකිනි.

ඇවිළෙන ගින්නට පිදුරු දමන්නෝ ද පැට්‍රල් දමන්නෝ ද සිටින මුත් සිය දිවි නොතකා ගින්න නිවන්නට වෙහෙසෙන්නෝ ද මේ සමාජය තුළ සිටින බව මේ කතාවත සාක්ෂි දරයි. ජාතිවාදී, ආගම්වාදී, වර්ණවාදී දේශපාලන පක්ෂවාදී නොමිනිසුන් අතර මෙවන් චරිත දිදුලන්නේ එහෙයිනි.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් කතුවරුන්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts