සමාජ

කොවිඩ්-19 වගේම අසත්‍ය පුවතත් ගෝලීය වසංගතයක්

ශාලික විමලසේන

මේ අසත්‍ය පුවත් Dis-information (අසත්‍ය තොරතුරු), Mis-information (වැරදි තොරතුරු), Mal-information (යම් තොරතුරක් සත්‍ය වුවත්, එය පළකිරීමෙන් සමාජයට, පුද්ගලයන්ට හානියක් වන තොරතුරු) ලෙස හඳුනාගත හැකිය. විශේෂයෙන්ම කොවිඩ් 19 වැනි වසංගත තත්ත්වයකදී මේ අතරින් තුන්වැනි කරුණ, සත්‍ය වුවත් එය පළකිරීමෙන් සිදුවන යහපත හෝ හානිය ගැන පුළුල්ව සලකාබැලීම තීරණාත්මක කටයුත්තකි. එවැනි තත්ත්වයක් හමුවේ අසත්‍ය පුවත් අභියෝගය ජයගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වයේ කැඳවුම්කරු මෙන්ම විකල්ප වෙබ්අඩවියේ සංස්කාරක සම්පත් සමරකෝන් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකි, මේ.

ලංකාවෙ සමාජ මාධ්‍ය භාවිතා කරන අතිශය බහුතරයක් අසත්‍ය පුවත්, එහෙම නැත්නම් ෆේක් නිව්ස් පිළිගන්නවා සහ තමන්ගෙ මතවාද එක්ක ඒවා ඉස්සරහට අරගෙන යනවා. අතිශය බහුතරයක් එහෙම කටයුතු කරද්දි, සත්‍ය පුවත් සමාජගත කිරීමේ අභියෝගයක් තියෙනවා. මේ අභියෝගය ජයගන්නෙ කොහොමද ?

පැහැදිලිවම අභියෝගයක් තියෙනවා. ඒත් ඒ අභියෝගය ජයගන්න පුළුවන්. ඒකට කාරණා කිහිපයක් සම්පූර්ණ වෙන්න ඕනෙ. එකක් තමයි, ව්‍යාජ පුවත් කියන්නෙ මොනවද කියන එක හරියට හඳුනාගන්න ඕනෙ. සමාජ මාධ්‍ය විතරක් නෙමෙයි, ලංකාවෙ සම්ප්‍රදායික මාධ්‍ය තුළත්, ඒ කියන්නෙ පත්තර, ගුවන්විදුලි, රූපවාහිනි තුළ භාවිත කරන ව්‍යාජ පුවත් පිළිබඳව මුලින්ම අර්ථනිරූපණයක් තියෙන්න ඕනෙ. දෙවැනි එක තමයි, අර්ථ නිරූපණයක් වගේම අපිට දැනුම් පද්ධතියක්, එහෙම නැත්නම් සාක්ෂරතාවක් තියෙන්න ඕනෙ, මේවා මොනවද කියලා හඳුනාගන්න. ඒක ලොකු අභියෝගයක්. ලෝකය පුරාම අපි මේ වෙලාවෙ අත්දකින දේ තමයි, ව්‍යාජ පුවත්, වෛරී ප්‍රකාශ හඳුනාගැනීමේ කිසියම් ගැටලුවක් තියෙනවා කියන එක. ඒක නිසා අනිවාර්යෙන්ම මේ පිළිබඳ පරිචයක්, බුද්ධියක් විශේෂයෙන් සංවර්ධනය වෙන්න ඕනෙ. තුන්වැනි කාරණය තමයි, විශේෂ තත්ත්වයක් තුළ මේ වගේ පුවත් සංසරණය වෙන්නෙ කොහොමද කියන එක. ලංකාවෙ විවිධ ප්‍රජාවන් ඉලක්ක කරගෙන අසත්‍ය පුවත් පැතිරීම කොවිඩ් 19 වසංගත තත්ත්වයට පෙර සිටම අපි දැක්කා. ඒත් තවම අපි ඒක හරියට අඳුරගෙන, ඒක පාලනයට පියවරක් අරගෙන තියෙනවද. එහෙම එකක් නෑ. ඒකත් බරපතළ තත්ත්වයක්. ඔබේ ප්‍රශ්නෙට ආවොත් ඒ අභියෝගය ජයගන්න අපිට සමාජ මාධ්‍ය ඇතුළේ කරන්න පුළුවන් වැඩ කොටසක් තියෙනවා. ඒ වගේම මහා සමාජය ඇතුළෙ මේකෙන් සිද්ධ වෙන හානිය ගැන පුළුල් කතිකාවක් ඇතිවෙන්න ඕනෙ.

පහුගිය මාසයක කාලය තුළ, සමාජ මාධ්‍යවල අසත්‍ය පුවත් පළකිරීමේ චෝදනාවට 17 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. කෙනෙකුට තර්ක කරන්න පුළුවන්, අපි මුලින් කතා කරපු අභියෝගය ජයගන්න ආණ්ඩුව පැත්තෙන් උපරිමයෙන් වැඩ කරනවා කියලා. බහුතරය ඒ වගේ මතයක ඉන්න බවක් පේන්න තියෙනවා. මොකක්ද ඔබේ අදහස … ?

කොවිඩ් 19 ලංකාවෙ ආණ්ඩුවට විතරක් ආපු ප්‍රශ්නයක් නෙමෙයි, ඒක ගෝලීය වසංගත තත්ත්වයක්. මේ තත්ත්වය තුළ ලෝකෙ පුරාම අසත්‍ය පුවත් වේගයෙන් පැතිරෙනවා. කවුරු හරි විශ්වාස කරනව නම්, මේ පුවත් පළකරන කෙනෙක්ව අත්අඩංගුවට අරන් මේ තත්ත්වය පාලනය කරන්න පුළුවන් කියලා, ඒ තරම් මුළාවක් තවත් නෑ. සමාජ මාධ්‍යවලදි විශේෂයෙන්ම මේක තාවකාලික විසඳුමක්. ලෝකය පුරාම පැතිරී යන ව්‍යාජ පුවත් අතිශයින්ම භයානකයි. ඒක පාලනය විය යුතුයි. ඉන්දියාව, නේපාලය, ලංකාව වගේ රටවල ආණ්ඩු විශ්වාස කරන්නෙ අත්අඩංගුවට ගත්තම ඔක්කොම හරි වගේ අදහසක්. කළ යුත්තේ ඒක නෙමෙයි. දා හත් දෙනෙක් අත්අඩංගුවට ගැනීම බලන්න, ඒකෙන් කිහිපදෙනෙක් හැරුණම අපි හරියටම දන්නෙ නෑ, මොනවද ඔවුන්ට තියෙන චෝදනා, මොනවද ඔවුන් කළේ කියලා. අපි උපකල්පනය කළොත් මේ ඔක්කොම අත්අඩංගුවට අරන් තියෙන්නෙ ව්‍යාජ පුවත් නිසා කියලා, එතැනදි ප්‍රශ්නයක් මතුවෙනවා, කවුද මේ ව්‍යාජ පුවත් කියන එක අර්ථ නිරූපණය කරන්නෙ. පොලිසියද, නීතිපති දෙපාර්තමේන්තුවද, අධිකරණයද, ජනමාධ්‍ය අමාත්‍යංශයද කියන එක.
අනෙක් පැත්තෙන් ආණ්ඩුව උත්සාහ කරනවා, මේ වසංගතය හොඳට මර්දනය කරන කොට බොරු ප්‍රවෘත්ති දානවා කියලා මතයක් හදන්න. ඒත් ඒ බොරු ප්‍රවෘත්තිය මොකක්ද, මොකක්ද ඒකෙ අන්තර්ගතය, කවුද ඒක දැම්මෙ, කවද්ද ඒක දැම්මෙ, කොතැනද ඒක දැම්මෙ, මේ කාරණා හරියට එළිකරන්නෙ නෑ. අපේ ජනමාධ්‍යවේදීනුත් මාධ්‍ය සාකච්ඡාවලදි අහන්නෙ නෑ, මේ ප්‍රශ්න ගැන. ඒක කනගාටුවට කරුණක් වගේම භයානක කරුණක්. ඒකෙන් මේක තවත් සංකීර්ණ කරනවා. ඇත්තක් එළියට එන්නෙ නෑ.
ඇත්තටම මේ ව්‍යාජ පුවත් කියන එක ලෝක මට්ටමේදි ව්‍යාධියක්. තාක්ෂණය එක්ක ආපු එකක්, තරුණයො කරන වැඩක් වගේ මේක සම්පූර්ණයෙන් හිතන්න බෑ. ඒ වගේ තත්ත්වයනුත් යම් තරමක් තියෙනවා. ඒත් මේකට දේශපාලනය, ආර්ථිකය ගලවන්න බැරි තරම් බද්ධ වෙලා තියෙනවා. ඒක එළියට එන්නෙ නෑ. ඒක තියෙන්නෙ යට තලයෙ.

ඒ කියන්නෙ මෙතැන තියෙන්නෙ පරිගණක සාක්ෂරතාව පිළිබඳ ගැටලුවක් විතරක් නෙමෙයි. ඒක බලය කේන්ද්‍ර කරගත් ක්‍රියාවලියක් කියන එකද?

උදාහරණයක් මං කියන්නම්. ලංකාවෙ යුද්ධයේ අවසානයත් එක්ක විදුලි පුටුවක් ගැන පුළුල් සාකච්ඡාවක් කරළියට ආවා. මේක තමයි, මං හිතන විදිහට අපේ රටේ මුල්ම ව්‍යාජ පුවත. දේශපාලනික ෆේක් නිව්ස් එක. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයව ජාත්‍යන්තර යුද අධිකරණයකට ගෙනියනවා, එහෙ තියෙනවා විදුලි පුටුවුක්, ඒකෙ වාඩි කරවනවා කියලනෙ මේ පුවත හැදුවෙ. ජාත්‍යන්තර යුද අධිකරණයේ කිසිදු ආකාරයක ජීවිත හානි කිරීමක් කරන්නෙ නෑ. විදුලි පුටු කතාවම අසත්‍යයක්. ඒත් කවුද ඒක හරියට ප්‍රශ්න කළේ. අද වෙනකොටත් ඒ ව්‍යාජ පුවත පිළිගන්න අය ඉන්නවා. එතකොට බලයත් එක්ක මේක ගැටගැහිලා තියෙනවා. අනෙක් පැත්තෙන් ගත්තම පරිගණකය හෝ ජංගම දුරකතනයෙන් අන්තර්ජාලය භාවිත කරන අය විතරද, මේ ව්‍යාජ පුවත් පළකරන්නෙ. ලංකාවෙ සම්ප්‍රදායික ජනමාධ්‍ය කොච්චර බොරු කියනවද? ඒගොල්ලො අත්අඩංගුවට ගන්නවද? දේශපාලන පක්ෂ නායකයො කොච්චර බොරු කියනවද? කවුරුත් අත්අඩංගුවට ගත්තද? ඒකයි මං කියන්නෙ මේක බරපතළ ව්‍යාකූල තත්ත්වයක් කියලා.

සාම්ප්‍රදායික ජනමාධ්‍යත් මේ වැඩේ කළත්, ඒ ගැන නොසලකා සමාජ මාධ්‍ය තමයි අපේ ප්‍රධාන සතුරා කියන එක සමාජය තුළ උපක්‍රමශීලීව පැළ කරපු මතයක් වෙලා. අසත්‍ය පුවත් මේකෙ ලොකු කොටසක්. එතකොට ආණ්ඩුවට සිද්ධවෙනවා, මේවට මොනවහරි කරන්න. ඒ මැදිහත්වීම නේද ආණ්ඩුව කරන බවක් පෙන්වන්නෙ …?

ඔව්. ඒත් ආණ්ඩුව ඒ මැදිහත්වීම කරන්නෙ කොහොමද. මහනුවර, දිගන, අම්පාර ප්‍රචණ්ඩ ක්‍රියා වෙලාවෙ මොකද කළේ. අප්‍රේල් විසි එක ප්‍රහාරයෙන් පස්සෙ මොකද කළේ. සමාජ මාධ්‍ය වහලා දැම්මා. ඒ වෙලාවෙ උත්තර හෙව්වෙ එහෙම. දැන් උත්තර හොයන්නෙ කොහොමද, අත්අඩංගුවට අරගෙන. මේවා ගැන කතාවක් හෝ එළියට එන්නෙ ඛේදනීය තත්ත්වයක් ඇති වුණාම විතරයි. 2014 ජූනි මාසෙ අලුත්ගම, දර්ගා නගරයෙ මුස්ලිම්වරුන්ට එරෙහිව සිදු වුණු හිංසනය මතකද? ඒක පටන්ගත්තෙ ව්‍යාජ පුවත්වලින්. එතැන ඉඳලා කොවිඩ් 19 දක්වා මේ ව්‍යාජ පුවත් එකදිගට ක්‍රියාත්මකයි. මේක දේශපාලනය, ආර්ථිකය සම්බන්ධ වූ ව්‍යාධිමය තත්ත්වයක්. ආණ්ඩුව මේකට මැදිහත් වෙන්නෙ තමන්ට වාසි තැනින්. ඒක නිසා මේක තවත් ඔඩුදුවනවා.

ව්‍යාජ පුවත් කෙසේ වෙතත්, වෛරී ප්‍රකාශවලට එරෙහිව අයිසීසීපීආර් වගේ ලංකාවෙ ක්‍රියාත්මක කරන්න පුළුවන් නීති රැසක් තියෙනවා. මේ දේශපාලන ක්‍රියාවලියට විරුද්ධ පිරිස්වලට, මේ නීති භාවිත කරලා සමාජයේ මතයක් හදන්න බැරි ඇයි, එහෙම කළොත් ව්‍යාජ පුවත් ඔඩුදුවන එක තරමක් පාලනය කරන්න බැරිවෙයිද?

ලංකාවෙ ෆේක් නිව්ස් කියන්නෙ ස්ටයිල් එකක්. කීර්තිනාමය සඳහා ඒ වගේ වැඩ කරනවා. උදාහරණයක් විදිහට තමන්ගෙ වීඩියෝ එකක් ෆේස්බුක් එකේ හිට් කරගන්න ඕනෙ නම්, ඒකට ෆේක් මොඩ්ල් එකේ හෙඩ්ලයින් එකක් දානවා. කුතුහලය නිසා බහුතරය ඒක බලනවා. ඒකයි මං කියන්නෙ අන්තර්ජාලය මූලික කරගත්තු ෆේස්බුක් වගේ වේදිකාවලදි සාක්ෂරතාව ඉතා වැදගත් කියලා. අපේ ඩිජිටල් සාක්ෂරතාව කොතැනද තියෙන්නෙ. ඒක නිසාම අපිට බැරි වෙලා තියෙනවා, සමාජයක් විදිහට මේකට එරෙහිව ෆයිට් කරන්න. ඒක නිසාම තමයි, මේ වෙනකොට ගෝලීය වශයෙන් පර්යේෂණ සිදු වෙන්නෙ මේක ඇතුළෙ වගකීමෙන් වැඩ කරන තැනට සමාජය පොලඹවන්නෙ කොහොමද කියන එක සම්බන්ධයෙන්.
ඊළඟ කාරණය අසත්‍ය පුවත්වලට එරෙහිව කටයුතු කරන්න පුළුවන් නීති ලංකාවෙ නැතත්, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත වගේ මානව හිමිකම් ආරක්ෂා කරන්න යොදාගන්න පුළුවන් නීති තියෙනවා. ෆේස්බුක්වලත් මාර්ගෝපදේශ තියෙනවා. ඒ මාර්ගෝපදේශවල පැහැදිලිව තියෙනවා, වෛරී ප්‍රකාශ කියන්නෙ මොනවද, ඒවගෙන් වෙන හානිය මොකක්ද කියලා. ශක්තික සත්කුමාරගෙ ඉඳලා රම්සි රසීක් දක්වා අයිසීසීපීආර් භාවිතා කරනවා අපි දැක්කා. එතැන ප්‍රශ්නෙ තියෙන්නෙ ජාත්‍යන්තර මානව හිමිකම් තත්ත්වයෙන් ඉදිරිපත් කරපු මේ පනත, අද වෙනකොට පොලිසිය පාවිච්චි කරන්නෙ කොහොමද කියන එක. අපේ රටේ මේ පනත යොදාගන්නෙ අදහස් ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කරන්නද, නෑනෙ. ඒකෙ අනෙක් පැත්තට. රම්සිගෙ නඩුවෙදි මහේස්ත්‍රාත්තුමිය පොලිසියට හොඳ ප්‍රකාශ්‍යක් කරලා තිබුණු බව මාධ්‍ය වාර්තා කළා, මේ පනත මගින් චෝදනා ගොනු කරනව නම් ඒක හොඳට පරිශීලනය කරන්න කියලා. මේක හොඳ ප්‍රකාශයක් විදිහට මං හිතන්නෙ. ඒ වගේ ප්‍රකාශ සමාජගත කිරීම අපේ වගකීමක්. ඒවා සමාජයේ මතයක් ගොඩනගන්න ආධාර කරගන්න පුළුවන්.

ඔබත් මාධ්‍ය සංවිධානයක් නියෝජනය කරනවා. ලංකාවේ ප්‍රධාන මාධ්‍ය සංවිධාන හතක් විතර තියෙනවා. ඔවුන්ට විශාල බලයක් තියෙනවා. සිවිල් සංවිධාන බහුතරයත් එහෙමයි. ඒත් ඔවුන් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මැදිහත් වීමේ අඩුවක් පැහැදිලිව පේන්න තියෙනවා. ඒ ඇයි… ?

අපි බහුතරය ඉන්නෙ අතීතකාමයක. ෆේස්බුක් හෝ අනෙකුත් සමාජ මාධ්‍යවල පළවෙන ඒවා ඒ තරම් අදාළ නෑ. ඒවගෙ ඉන්නෙ මාධ්‍යවේදීන් නෙමෙයි වගේ අදහසක් තියෙනවා. ඒවගෙ තියෙන්නෙ බොරු කියන අදහසේ ඉන්නවා. සම්ප්‍රදායික මාධ්‍ය තමයි ඔක්කොම වගේ හිතනවා. ඒකෙන් කියවෙන එක තමයි, අපි ඉන්නෙ ලෝකෙ නෙමෙයි කියන එක. අපි අතරත් ඒ මතය බරපතළ විදිහට තියෙනවා. අපි විශ්වීය නෑ. මාධ්‍යකරණය සම්බන්ධයෙන් අපි විශ්වීයව හිතන්නෙ නෑ. ඊළඟ කාරණය තමයි, අපි අලුත් දේ ඉගෙනගන්නෙ නෑ. ඒ නිසා අන්තර්ජාලයේ තියෙන මාධ්‍ය හරස්කඩ අපිට තේරෙන්නෙ නෑ. ඒක නිසා ලෝකයේ සිද්ධ වෙන සහ කළ හැකි විපර්යාස ගැන අදහසක් නෑ. අපිට යමකට එරෙහිව ෆයිට් කරන්න උත්තේජනයක් අවශ්‍යයිනෙ. හැබැයි අපි වෙන දේ ගැන නොදැන, කොහොමද උත්තේජනයක් ඇතිවෙන්නෙ. එතැනයි ප්‍රශ්නෙ තියෙන්නෙ. දැන් ලෝක ජනමාධ්‍යකරණය තියෙන්නෙ ඩිජිටල් යුගයෙ. ඩිජිටල් ඒජ් එකේ. ඒ්ත් අපි ඉන්නෙ කොහෙද?

This article was originally published on the-catamaran.org

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් කතුවරුන්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.