අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් සමාජ

කීරිමලෛ හි ජනාධිපති මන්දිරය සහ දෙමළ ජනතාවගේ ඉඩම් අයිතිය

එන්. මදියලගන්

වලිකාමම් උතුර නගුලේශ්වරම් යන ප්‍රදේශයේ යුද්ධය පැවති සමයේදී දෙමළ ජනතාවගේ පාලනය යටතේ පැවති ඉඩම් පසුව හමුදාවේ පාලනය යටතට ගත් බව සැවොම දන්නා කරුණකි. මෙහිදී රජය විසින් ඉදිකරන ලද ජනාධිපති මන්දිරයේ අනාගතය ගැන දෙමළ ජනයා තුල බොහෝ ප්‍රශ්න පැන නැගී ඇත.

යාපනය දිස්ත්‍රික්කයේ තෙල්ලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාවිට්ටපුරම් කන්දසාමි කෝවිලේ සිට කි.මී.03 ක් පමණ බටහිරට වෙන්නට කීරිමලෙයි ගම්මානය පිහිටා ඇත. මෙම ගම්මානයේ ජේ/226 නගුලේශ්වරම් ග්‍රාම නිලධාරී වසමට අයත් පස් මහල් ගොඩනැගිල්ලක් වන මෙම මන්දිරය 2012 වර්ෂයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ඉදි කරන ලදී.

මෙම භූමි ප්‍රමාණය අක්කර 117 ක් වන අතර එහි ඇති කන්කසන්තුරෛ නාවික හමුදා කඳවුර, වරාය, වරාය අධිකාරිය, වලි – උතුර ප්‍රාදේශීය සභාව හා සිමෙන්ති කම්හලේ කොටසක් ද ඇතුළු විශාල ප්‍රදේශයක් තවමත් නාවික හමුදාවේ පාලනය යටතේ පවතී. ජනාධිපති මන්දිරය පිහිටා ඇත්තේද  මෙම ප්‍රදේශයේ ඉඩම් කැබැල්ලක ය. ජනාධිපති මන්දිරය ගත් විට  2019-09-02 යාපනය දිස්ත්‍රික් ඉඩම් මැනුම් දෙපාර්තමේන්තුවේ සිතියමට අනුව හෙක්ටයාර්  12 ක ඉඩම් ප්‍රමාණයක් මන්දිරය වටා ඇත. ජනාධිපති මන්දිරය ඉදිකර ඇති ඉඩම් ප්‍රමාණය පමණක් හෙක්ටයාර් 9.95 කි. මෙම ඉඩම් හෙක්ටයාර් 9.95 තුල පුද්ගලික  ඉඩම් කැබලි 17ක් ද ඇත. නාවික හමුදාව සතුව තිබූ අක්කර 117 න් අක්කර 62 ක් නැවත ලබා දීමට යහපාලන ආණ්ඩු කාලය අවසානයේදී එකඟ වූ අතර ඒ සඳහා සිතියමක් පවා සකස් කරන ලදී. එලෙස අක්කර 62 ක ඉඩම් ප්‍රමාණය ඇතුලත මෙම මන්දිරය ඇතුළු ප්‍රදේශය මහජන ප්‍රයෝජනය සඳහා ලබා දීමට එකල එකඟතාව පළ කර තිබිණි.

2015 වර්ෂයේදී  දී ජනාධිපති ධූරයට පත්වූ මෛත්‍රීපාල සිරිසේන ප්‍රථම වරට යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වූ විට එවකට ආණ්ඩුකාරවරයාව සිටි සී.වී. විග්නේශ්වරන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් යන දෙදෙනාම මෙම මන්දිරයට ගොස් නිරීක්ෂණය කල අතර එම මන්දිරය පළාත් සභාවට පවරාගන්නා ලෙස හිටපු ජනාධිපති පවසා ඇත. මෙම කාරණය පසුදා යාපනයේ පුවත්පත් වළ ප්‍රධාන සිරස්තලයක් ලෙසද පළ විය.

මෙම ජනාධිපති මන්දිරය මේ වන විට ජාත්‍යන්තර ආරාධිත රැස්වීම් මධ්‍යස්ථානයක් ලෙස  ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලය හරහා වෙන්දේසි කරනු ලැබේ. මේ සඳහා කැබිනට් අනුමැතියද ලබාගෙන ඇත.මෙම නිසා මෙම මන්දිරය චීනයට භාර දේ යැයි ප්‍රදේශයේ ඉඩම් හිමියෝ බියට පත් වී සිටිති. නමුත් දැන් ඇති අලුත් ප්‍රශ්නය නම්, මෙම මන්දිරය රාජ්‍ය ආයතනයන් වෙත ලබා දෙන බව රජය විසින් පවසන නිසා පසුව රාජ්‍ය ආයතන හරහා විදේශීය ආයෝජකයින්ට ද ලබා දේවිද යන්නයි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය තුළ එම විදේශීය සමාගම බොහෝ විට චීන සමාගමක් වීමට වැඩි ඉඩක් ඇති බව දෙමළ ජනතාවගේ අදහසයි.

එසේම ජනාධිපති මන්දිරය කන්කසන්තුරෛ වරායේ සිට සැතපුමක් පමණ දුරින් පිහිටා ඇති බැවින් චීනය මෙම වරාය හරහා ව්‍යාපාරයක් හෝ ආයෝජනයක් කිරීමට උත්සාහ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර, ජනාධිපති මන්දිරය පිහිටා ඇති ප්‍රදේශයේ ඉඩම් හිමියන් දෙදෙනෙකු තම ඉඩම් නැවත ලබා දෙන ලෙස හා රජය විසින් ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය නවතා දමන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට නඩු පවරා ඇත. මෙම නඩුවේ එක් පැමිණිලිකරුවෙකු වන්නේ හිටපු විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කදිර්ගමාර්ගේ පුත් රාගවන් ය. 

මන්දිරය අවට ඇති පාරම්පරික උරුමයන් / ස්මාරක විනාශ වීමට ඇති අවදානම

නගුලේශ්වරම් ජනාධිපති මන්දිරය වටා සදෛයම්මා සමාධිය හා ආරාමය, ක්‍රිෂ්ණන් කෝවිල, කදිරෛ ආඩවර් කෝවිල, සෝලෛ වයිරවර් කෝවිල සහ ශතවර්ෂයකට වඩා පැරණි ආගමික සිද්ධස්ථාන පිහිටි විශාල භූමි ප්‍රදේශයක් හා සොහොන් පිටියට ගමන් කල හැකි මාර්ගය තවමත් හමුදාවේ පාලනය යටතේ පවතී.

ජනාධිපති මන්දිරය පිටස්තරයින් හට වෙනත් කටයුතු සඳහා ලබා දෙන්නේ නම් මේ සියල්ල විනාශ වේය යන බිය ඇති වී ඇත.

ජනාධිපති මන්දිරය පිහිටා තිබෙන ප්‍රදේශයේ විශාල ඉඩම් ප්‍රමාණයට හිමිකම් කියන පුද්ගලයකු වන වෛද්‍ය ඉන්ද්‍රනාදන් ආශිර්වාදම් මහතා කැනඩාවේ ජීවත් වන අතර ඔහු විසින් ඉඩම් අයිතිය ඔහුගේ පුතු වන මහාචාර්ය රත්නජීවන් එච්. හූල්ට පවරා දුන් අතර පසුව රත්නජීවන් විසින් එම ඉඩම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබා දෙන ලදී. එසේම මහාචාර්යවරයා පවසන්නේ මේ වන විටත් තිදෙනෙකු අධිකරණයේ නඩු දමා ඇති නිසා අවශ්‍යතාවයක් ඇති වුවහොත් තමනුත් උසාවියට යාමට සූදානම් බවයි.

මේ සම්බන්ධව විමසීමට වලි – උතුර ප්‍රාදේශීය සභාවේ සභාපති සෝමසුන්දරම් සුකීර්දන් මහතා සම්බන්ධ කර ගත් විට, මෙම ජනාධිපති මන්දිරය ඇත්තේ කෝවිල් , මිරිදිය උල්පත්, පැරණි කීරිමලෛ, ගුහා, සිවභූමි වැනි ඉතා වැදගත් ස්ථාන 64 ක් පමණ ඇති ප්‍රදේශයක බව ද, කන්කසන්තුරෛ හන්දියේ සිට මීටර් 500 ක් පමණ බටහිරින් පිහිටි සභාවේ ආරම්භක කාර්යාලය තවමත් හමුදාවේ පාලනය යටතේ පවතින බව ද පැවසීය. ඒ සමගම නගුලේශ්වරම් ප්‍රදේශයේ බොහෝ ඉඩම් නැවත ලබා දෙන බව ප්‍රචාරය කරන ලදී. එහෙත්, ඒ සඳහා සහතික පමණක් නිකුත් කළ අතර ඉඩම් නැවත ලබා දීමක් සිදු නොවුණු බව ඔහු පැවසුවේය. 

සිමෙන්ති කම්හල ඇතුළු ඉඩම් කර්මාන්ත කලාපයක් සඳහා ලබාදීමේ සැලැස්මක් ද තිබේ. එමගින් මෙම ප්‍රදේශයේ ඉඩම් වලට ඇති ඉල්ලුම වැඩි වනු ඇත වටිනාකම මෙන් දෙගුණ වනු ඇත. මෙම ඉඩම් ගනුදෙනු හරහා වශයෙන් වැඩි වැඩියෙන් කොමිස් මුදල් ලබා ගැනීම දේශපාලකයන්ගේ අභිප්‍රාය විය හැකිය.

මේ ආකාරයට, පිහිටීමේ ස්වභාවයේ වටිනාකමක් ඇති, ඓතිහාසික නටඹුන් පිහිටා ඇති, පෞද්ගලික ඉඩම් සහිත හා වාණිජමය වැදගත්කමක්ද ඇති මෙම ඉඩම ශ්‍රී ලංකා රජය විසින් බදු දීමට කටයුතු කරන්නේ නම් එය ගැඹුරින් සලකා බැලිය යුතු කාරණයකි.

කිරිමලෙයි මුහුදු ප්‍රදේශය යනු මාදගල් ප්‍රදේශයේ  සිට පේදුරුතුඩුව දක්වා ප්‍රදේශය තාක්‍ෂණිකව පහසුවෙන් පාලනය කළ හැකි ප්‍රදේශයකි. එය නාවික සැතපුම් 20 ක භූමි ප්‍රදේශයක් ආවරණය කරයි. මෙහි කන්කන්සතුරෛ වරාය ඉන්දියාව විසින් ඉතා ඉක්මනින් ප්‍රතිසංස්කරණය කිරීමට අපේක්ෂා කරන අතර මෑතකදී ඉන්දීය තානාපති විසින් යාපනයට පැමිණි අවස්ථාවේදී මේ පිලිබඳ තහවුරු කර තිබුණි. මේ අනුව අනාගතයේ දී කන්කන්සතුරෛ වරායෙන් ඉන්දියාවට භාණ්ඩ ප්‍රවාහනය කිරීම සහ රාමේෂ්වරම් වෙත යෑමට මගී යාත්‍රා සේවාව දීර්ඝ කාලීන අවශ්‍යතාවයක් වී තිබූ බැවින් ඒ සඳහා පූර්ව සැලසුම් කිරීමක් ලෙසද මෙය සැලකේ.

ශ්‍රී ලංකාවේ බටහිර කොටසෙහි පිහිටි මන්නාරම සහ පුත්තලම යන ප්‍රදේශයන් ඉන්දියාවට සමීප නමුත් ජාත්‍යන්තර මහා සාගරයට මෙම ප්‍රදේශ හරහා ළඟා විය නොහැක. මෙම හේතුව මත ශ්‍රී ලාංකිකයන් සහ ඉන්දියානුවන් නොවන අය මෙම ප්‍රදේශයේ ගැවසෙන ලබන බවට සැක කිරීම නිසා කීරිමලෙයි මුහුදු ප්‍රදේශය ඉතා වැදගත් වේ. මේ අනුව කීරිමලෙයි හෝ කන්කසන්තුරෛ මුහුදු ප්‍රදේශයේ ස්ථානයක් ලබා ගැනීම එය ලබාගන්නා ඕනෑම රටකට එහි පිහිටීමේ ස්වභාවය නිසා ඉතා වැදගත් වේ. ඒ අතරම, ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශයේ මිනිස් වාසස්ථාන නොමැතිකම නිසා සන්නිවේදන උපකරණ භාවිතය පිළිබඳව සැක පහළ කිරීමට ඉඩක් නැත.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts