සාමය

ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හසුනොවු ජාතික සමගිය

නිමල් අබේසිංහ

ජාතිය, ආගම, කුලය මුල්කර ගනිමින් කිසියම් රටක ජනතාව භේද භින්න කරන්නේ ජාතිවාදය උලුප්පාගෙන ඒ මතින් බලය ලබාගන්නට වෙර දරන දේශපාලකයෝය. මේ පටු ජාතිවාදයට කොටුවන සමහර පිරිස් ඒ බව නොදනිති. නොඑසේ නම් දැන දැන ම අමතක කරති.

ශ්‍රී ලංකාව ගතහොත් ජාති, ආගම්, කුලගොත්වලින් තොරව බහුතර ජනගහනයක් දිළිඳු බවින් පීඩා විඳිති. මේ දිළින්දන් ද ජාතිවාදී මඩගොහොරුවේ තව තවත් රඳවා ගනිමින් තම දේශපාලන අභිමතයන් සපුරා ගන්නට මෙරට  දේශපාලකයන් උත්සාහ ගන්නා බව නොරහසකි.

දිළිඳු බවට ජාතිභේදයක්, ආගමක්, කුලයක් නැති බව සක් සුදක් සේ පැහැදිලිය. එයින් පීඩා විඳින  පිරිස්වලට මෙකී සත්‍ය බිඳෙන් බිඳ අවබෝධ වෙමින් තිබේ.

ශ්‍රී ලංකාව පුරා පවුල් ලක්ෂ 28ක් දිළිඳුකම හේතුවෙන් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ හිරවී සිටිති. මෙකී ජනතාවගේ ණයගැති බව ද දේශපාලන කරළියට ගෙනවුත් දේශපාලන වාසි ලැබූවන් සිටින බව ද නොරහසකි. එහෙත් තවමත් ඔවුනට තිරසර විසඳුමක් ලැබී නැත්තේය. ශ්‍රී ලංකාව පුරා ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් පීඩා විඳි දිළිඳු පවුල්වල කාන්තාවන් පසුගිය දිනවල පොළොන්නරුවේ, හිඟුරක්ගොඩ නගරයේ රොද බැඳගෙන පුරා දින 45ක් සාමකාමී විරෝධතාවක යෙදුණි. මේ රොද බැඳිල්ලට සිංහල, දෙමළ, මුස්ලිම් යැයි කිසිදු ජන විරෝධයකින් තොරව ම එකාවන්ව පෙළ ගැසුණේ කිසිදු භේදයකින් තොරවය.

කොරෝනා වසංගත තත්ත්වය නොවන්නට මේ විරෝධය නොකඩවා පවතින්නට ඉඩ තිබුණේය. එකී හේතුවෙන් විරෝධතාව තාවකාලිකව අත්හැර දැමුව ද ඒ හා සමග ම ජාතීන් අතර සහජීවනය, සංහිඳියාව ගොඩනැගීමට අපූරු පදනමක් වැටී තිබේ.

ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැනීමේ දී කුඩා කණ්ඩායම්වලට ගොනුවිය යුතුයැයි ණය දෙන සමාගම් උපදෙස් දී තිබූ අතර ඒ අනුව එක් කණ්ඩායමකට ගොනුවූයේ තිදෙනෙකි. මෙහි දී සිදුවූයේ එක ම ජනවර්ගයකට අයත් තිදෙනෙකු කුඩා කණ්ඩායමකට  ඇතුලත් විමය. මේ තත්ත්වය නිසා ම එක ම ගමක ජනවර්ග දෙකක් සිටිය ද අනෙකාගේ ණය ගැටලුව ගැන අනෙක් ජනවර්ගයට වගේ වගක් නොතිබුණි. එය ණය දුන් සමාගම්වලට ද වාසියක් විය. 

හිඟුරක්ගොඩ පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයත් සමග මේ තත්ත්වය මුළුමනින්ම වෙනස් වි තිබේ. ක්ෂුද්‍ර මූල්‍ය ණයවලින් පීඩා විඳි කාන්තාවන් එක් රැස් කිරීමට පුරෝගමී වූවෙකු වන ගොවි නායක කවුඩුල්ලේ ජයතිස්ස පවසන්නේ ණයගැතියන් වූ කාන්තාවන් දැන් ජාති භේදයක්, ආගම් භේදයක් නැතිව ම එකට එක් වී සංවිධානගතවී සිටින බවය.

මෙහි වඩාත් ම විශේෂත්වය වන්නේ ණය ගත් කාන්තාවන් වෙන ම සංවිධානයක් ලෙසත්, එම පවුල්වල ස්වාමිපුරුෂයන් වෙනමත් සංවිධානගතවී සිටින බවය. ඒ අනුව මෙකී සංවිධාන දෙකෙහි තනතුරු ද ජාතිභේදයක් නැතිවම බෙදා හදාගෙන තිබේ. ඒ අනුව පිරිමියෙකු දවසට රුපියල් 10ක් ද, කාන්තාවක දවසට රුපියල් 5ක් ද අනිවාර්යයෙන් ඉතිරි කළ යුතුය. එය වෙනම කාරණාවක් වුවත් මේ එකමුතුව සමග සාමය සහජීවනය ගොඩ නැංවෙන අපූරු ක්‍රියාකාරකම් ද තිබේ.

ගොවිතැනේ දී සහජීවනය හා සංහිඳියාව උත්කෘෂ්ටත්වයට නංවන අපූරු ක්‍රියාකාරකමක් අපේ ගොවි සංස්කෘතිය තුළ තිබුණි. ඒ අත්තම් ක්‍රමයය. වියැකී ගොස් තිබූ එකී අත්තම් ක්‍රමය මේ සංවිධානගතවීමත් සමග කලඑළි බැස ඇත. ඒ අනුව එක් දිනක කිහිපදෙනෙකු එක් වී එක් අයෙකුගේ ගොවි බිමෙහි වැඩ කිරීම, තවත් දිනෙක තවත් අයෙකුගේ ගොවිබිමක වැඩ කිරීමත් සිදුවේ. මෙය කඩිනමින් ගොවිබිම් සකස් කිරීමේ ක්‍රියාදාමයකි. මේ අත්තමට සිංහල, මුස්ලිම් දෙපාර්ශ්වය ම එකතු වේ. පිරිමි මෙන් ම කාන්තාවන් ද මේ කාර්යයට එකතු වෙති. මේ ගමන සමුපකාර සාමූහිකයකට යන ගමනකි. එහි සාමාජිකත්වය හිමිවන්නේ ණයකරුවන් වූ දිළින්දන් මිසෙක ජාති ආගම්වලට අයත් වූවන් නොවේ. විශේෂත්වය වන්නේ එයයි.

ගොවි නායක ජයතිස්ස පවසන පරිදි සමුපකාරයේ සංස්කෘතික හා සමාජ පදනම ගොවිබිමේ සිදුවෙන අත්තම් ක්‍රියාවලියය. අක්කර 1 1/2ක ගොවිබිමක් අස්සැද්දවීමේ මූලික කටයුතු සඳහා 15 දෙනකු පමණ එකතු වේ. එය මුදලින් ගණනය කළහොත් රුපියල් පහළොස් දහසක පමණ ඉතිරියකි.

මේ පිරිස් ණය වී ඇත්තේ විවිධ දුෂ්කරතා නිසා මතුවූ මූල්‍යමය අගහිඟතාවන්වලට විසඳුම් ලබාගැනීමටය. මේ නිසා ම සමහරුන්ගේ කුඹුරු උගස් කර හෝ බදු දී හෝ උගස් සින්නකරවලට යටකර තිබේ. එය ඔවුන් හඳුන්වන්නේ ඉඩම ගස් බැඳීම ලෙසිනි. සමුපකාර ව්‍යාපාරය ඔස්සේ මේවා නිරවුල් කරගැනීමට ද ඉදිරියේ දී සහායන් වනු ඇත.

හිඟුරක්ගොඩ තඹාල යූ. රවුෆ් සහ නලිෆා අඹුසැමියන්ය. ඔවුන් රුපියල් ලක්ෂ තුනක ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන ඇත්තේ රුපියල් ලක්ෂයක පොලී මුදලක් ගෙවන පොරොන්දුව පිටය. ණයකරුවා නලිෆාය. රවුෆ්ගේ උපදෙස් හා එකඟතාව මත දැන් නලිෆා ණයකරුවන්ගේ කාන්තා සමිතියේ ප්‍රබල සාමාජිකාවකි.

“අපිට ණය දෙන කොට තුන්දෙනාගේ කණ්ඩායම් හැදෙන්න කීවා. අපි මුස්ලිම් තුන්දෙනෙක්මයි එකතු වුණේ. ණය සම්බන්ධයෙන් සිංහල අය සමග කතා කළේවත් නෑ. ඒත් හිඟුරක්ගොඩ විරෝධතාවෙන් පසුව අපි ඔක්කොම සිංහල අයත් සමග එකතු වුණා. මේක අපට අලුත් අත්දැකීමක්. ණය ප්‍රශ්නය විතරයි අපිට ඉදිරියේ දී එන ගොඩක් ප්‍රශ්නවලට මේ සමිතිය මාර්ගයෙන් විසඳගන්න පුළුවන් වෙයි. නලිෆා කියන්නීය.

තඹාල සුංගාවිල යන දෙගම් සිංහල හා මුස්ලිම් ප්‍රජාව එකට දිවි ගෙවන ගම් දෙකකි. මෙහි ණයකරුවන්ගේ සංඛ්‍යාව 120කි. මේ ලෙසින් ඉදිරියේ දී සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රජාව ද එකට ගොනුවනු ඇත. ඒ සඳහා වන ශක්තිමත් පදනමක් දැනටමත් වැටී තිබේ.

ප්‍රශ්නවලට විසඳුම් පිටින් එනතුරු බලා සිටිය නොහැකිය. ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත යුත්තේ ප්‍රශ්න ඇති පිරිසමය. කලින් කලට මැතිවරණයට එන දේශපාලන පක්ෂ හෝ දේශපාලනඥයන් මේ ප්‍රශ්න තමන්ගේ වාසියට හරවා ගන්නවා මිසෙක ඔවුන්ට විසඳුම් දීමට ඉදිරිපත් නොවෙති. මෙකී සත්‍යය දැන් ඔවුහු වටහාගෙන සිටිති. එය අතිශය වැදගත් වූවක් වන්නේ බලයට කෑදරකමින් රටේ ජනතාවගේ හිස මතට දැමූ ජාති, ආගම්, කුල ප්‍රශ්න තමනට අදාළ නොවන බව මේ අයට වැටහෙමින් තිබේ.

හිඟුරක්ගොඩ නෙළුම්පුර සිංහල මෙන් ම මුස්ලිම් ප්‍රජාව ද ජීවත් වෙති. වැඩි පිරිස මුස්ලිම්ය. ක්ෂුද්‍ර මූල්‍ය ණයකාරිණියක වන නිමාලි කීවේ මේ වනවිට සිංහල පවුල් 7ක් හා මුස්ලිම් පවුල් අටක එකතුවෙන් සිය සංගමයේ මූලික පදනම ආරම්භ කර ඇති බවය. ඒ අතර ම සාමාජික මුදල් එකතු කිරීම දෛනිකව රුපියල් පහේ ඉතුරුම් කිරීම සිදුකරන බවය. ඒ අතරේ අත්තම් ක්‍රමයට ගොවිතැන් බත් කිරීම සිදුකළ බවය. කුඹුරු වැඩ අහවර වී මැදි කන්නයේ ගොඩ ගොවිතැන් ද ආරම්භ කිරීමට සූදානමින් සිටින බවය.

සියල්ල පවතිද්දී රට අබිමුව පවතින කොරෝනා වසංගතය ද ඔවුන්ගේ සංවිධාන කටයුතුවලට බරපතළ ලෙස ඔවුනට බලපා තිබේ. එසේ නොවන්නට මේ වනවිටත් ඔවුන් දුර ගමනක් ගොසිනි. එසේ වූයේ නම් ඔවුන්ගේ බොහෝ ආර්ථික ගැටලුවලට ඔවුන් විසඳුම් සොයාගෙන හමාරය. සංහිඳියාවේ සහජීවනයේ බැඳීම් තවදුරටත් තීව්‍ර කරගෙන හමාරය.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts