අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ඔන්ලයින් අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ සම අයිතිය

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

ඔන්ලයින්  නැතිනම් මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබාදීම ලෝකයට අළුත් මාතෘකාවක් නොවේ. එහෙත් එය ශ්‍රීලංකාවට අළුත්ය .පසුගිය මාර්තුවේ කොරෝනා වසංගතය කඩා නොපනින්නට ලංකවේ බහුතරයකට මාර්ගගත අධ්‍යාපනය යනු තවමත් මුළුමනින්ම ආගන්තුක විෂයකි. කෙසේ වෙතත් කොරෝනා වසංගතය හමුවේ අද වන විට රටේ අන් කටයුතු කෙසේ වෙතත් අධ්‍යාපනය නම් සැළකිවයුතු පමනින් මාර්ග ගත ක්‍රමයට හැරී ඇත්තේය. එහෙත් ඉන් අපේක්ෂිත ඉලක්ක සපුරාගත නොහැකිව ඇතිබව දිනෙන් දින තහවුරු වෙමින් පවතී.

කොරෝනා නිසා කඩිනමින් ඔන් ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබා දීම ආරම්භ කළද ඊට පෙර සිසුන් තුළ මාර්ග ගත ක්‍රමයට ඉගෙන ගැනීමට සූදානමක් නොතිබුන අතර ගුරුවරුන් බහුතරයක් තුළද ඒ ආකාරයේ ඉගැන්විමකට සූදානමක් නොතිබුනි.  දෙමාපියන්ගේ පාර්ශවයෙන් ගත්කළද ඔවුන් තුළද ඊට අදාල භෞතික සම්පත් සම්පාදනය සහ පිරිවැය පිළිබඳ අවබෝධයක් නොතිබුනි. විශය මාලා සම්පාදකයන් තුළද අද දක්වාම එවැනි සූදානමක් නැත. මේ සියල්ල සමග තාක්ෂණ ගැටළුද එක්වූ පසු ඔන්ලයින්  ඉගැන්වීම යනු අධ්‍යාපනයේ ක්ෂේස්ත්‍රයේ ඔඩුදුවමින් තිබූ සම්පත් බෙදීයාමේ විශමතාවයේ අළුත්ම දිගුව ලෙස හැඳින්වීමේ වරදක් නැත.  අද වන විට ඉන් නිදහස් අධ්‍යාපනයේ මුලික අරමුණු පවා  බිඳවැටෙනා තැනට කරුණු කරනා දුරදිග ගොස් ඇති බව කණගාටුවෙන් හෝ පිළිගත යුතුව ඇත.

රටේම අධ්‍යාපනය ඔන් ලයින් ක්‍රමයට පරිවර්තනය වුවද දුරකතන සංඥාවන් ඊට සාපේක්ෂව දියුණු වූවේ නැත . දත්ත භාවිතය දෙතුන් ගුණයකින් ඉහළ යාමේ ප්‍රවණතාවයක් හමුවේ ස්වකීය දුරකථන ජාලයන්හී ධාරිතාවන් පුලුල් කොට සේවාව ඉහළ දා ඊට මුහුණ දෙනු වෙනුවට ලංකාවේ දුරකථන සමාගම් කළේ ධාරිතාව එසේම තබා සිම්පත් අලවිය පමණක් දෙතුන් ගුණයකින් ඉහළ  දැමීමය. ප්‍රමාණවත් ආවරණයක් නොතිබීම අනෙක් ගැටළුව ලෙස දැක්විය හැක. එහිදී ඈත පිටිසර පළාත්වල සිසු දරුවෝ මතු නොව කොළඹින් කිලෝමීටර් විස්ස විසිපහ දුර සිටිනා දරුවෝ පවා අනේක ගැටළුවලට මුහුණ දෙමින් සිටිති. ඇත්ම්හූ ප්‍රමාණවාත් සංඥාවන් ලබාගනුවස් වහල උඩ සහ ගස් ගල් මතට වී අනේක පීඩාවන් මධ්‍යයේ අධ්‍යාපනය ලබා ගැනීමට උත්සහ දරති. කොරෝනා ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති අවධියක පවා දුරකථන සමාගම් සිය දත්ත සේවා දිවා රාත්‍රී ලෙස බෙදා මිල තීරණය කිරීම  සිසුනගේ පාර්ශවයෙන් ගත්කළ බලවත්  අසාධාරණයකි. දුර්වල සඥා සහිත පැකේජයන් හදුන්වාදී දෙමාපියන්ගේ අතමිට හූරා ගන්නා දුරකථන සමාගම් කිසිදු ලජ්ජාවකින් තොරව පික්පොකට් කරුවන්ගේ භූමිකාව රඟපාමින් සිටිති. ඇතැම් විට හාල්, පොල් වැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හැරුණු කොට වැඩිම පිරිවැයක් දෙමාපියෝ දරණුයේ දත්ත සැපයුම් සඳහා විය හැක.  මේ ගැටළු නිරාකරණය කිරිමට ආයතන තිබුනද ආණ්ඩුවට හෝ එම ආයතන ඒසදහා මැදිහත් වන බවක්  බැලූ බැල්මටම පෙනෙන්නට නැත. අවම වශයෙන් රාජ්‍ය කොටස් සහිත ටෙලිකොම් සමාගම මෙවලමක් ලෙස යොදාගෙන හෝ සාධාරණ මිලකට දත්ත කාලයන් ලබාදිමට ආණ්ඩුවට හැකියාව තිබේ.

භෞතික උපකරණ හිඟය ඔන්ලයින් අධ්‍යාපනය සම්බන්ධව කථා කිරීමේදී ලංකාවේ ලොකු ම අර්බුදය ලෙස දැක්විය හැක. සාමාන්‍ය වශයෙන් අධ්‍යාපන කටයුතු සඳහා නිර්දේශ කරනුයේ ටැබ් සහ ලැප්ටොප් ය. එහෙත් ලංකාවේ තත්ත්වය අනුව ලැප්ටොප් හෝ ටැබ් වලින් මාර්ගගත  අධ්‍යාපනය ලැබීමට සිසුන් කීදෙනෙකුට හැකියාව තිබුනෙද යන්න ගැටළු සහ ගතය. බහුතරයක්  අද දක්වාම පාසැල් වැඩ සදහා පිවිසෙන්නේ ජංගම දුරකථන මගිනි. ලැප්ටොප්  සහ ටැබ් වලට සාපේක්ෂව ජංගම දුරකථන තිරය කීප ගුණයකින් කුඩාය. එකී කුඩාබව නිසා ජංගම දුරකථන තිරයේ දිස්වෙන පාඩම් කියවා ගැනීම සිසුනට අසිරුය. එමතුදු නොව එහි ශ්‍රව්‍ය පද්ධතියද  පිටකරනුයේ අඩු හඬකි . එහි ස්පීකරයක් වෙනුවට ඇත්තේ පීසෝ නම් කුඩා උපකරණයකි. එහෙයින් පාඩම් වලට සවන්දීමට සහ ඒවා නැරඹීමට ඉතා සමීපව දුරකථන තබාගත යුතුය.  සමීපව දුරකථන තිරය නිරීක්ෂණය කිරීම නිසා සිසු දරුවන් විශාල ප්‍රමාණයක් මේ වන විටත් දෘෂ්ටී ඌණතාවලට ලක්වෙමින් සිටිනා බව අක්ෂි වෛද්‍යවරු පවසති

තම දරුවන්ගේ මාර්ග ගත අධ්‍යපනයට ඇවැසි භෞතික උපකරණ සම්පාදනය දෙමාපියන් බහුතරයකට ගැටළුවකි.  දරුවන් තිදෙනෙක් සිටිනා නිවසක මාර්ගගත පාඩම් පැවැත්වෙන වෙලාව අනුව තිදෙනාටම අන්තර්ජාලයට පිවිසීමට සිදුවෙන අවස්ථා ඇත. එවැනි අවස්ථාවල ලැප්ටොප් ටැබ් කෙසේ වෙතත් අඟල් 4 තිරය සහිත ජංගම දුරකථන හෝ ඔවුනට සැපයීමට සිදුවේ. දුරකථන තුනක අවම මිල රුපියල් 50,000 ට ආසන්නය. එබැවින් එවැනි අවස්ථාවල දෙමාපියන්ගේ දුරකථන දරුවනට ලබාදීම බොහෝ තැන්හී සිදුවෙතත් ඉන්ගැටලු රැසක් ජනිත වේ.  මන්දයත් දුරකථනය යනු දෙමාපියනටද අතහැරිය හැකි උපකරණයක් නොවේ. ඔවුනගේ ආදායම් උපයන මර්ග, සමජ සබඳතා වැනි දහසක් දේ ඒ හා බැඳී පවතී . එවැනි අවථාවල දෙමාපියන්හට අවම වශයෙන් සරළ විකල්ප ජංගම දුරකථනයාක් හෝ මිලට ගැනීමට සිදුවෙයි . පවතින අයහපත් ආර්ථික තත්ත්වය අනුව එයද ගැටළුවකි . 

 ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙනුම ලබනා ( විශේෂයෙන් ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන) දරුවන්ගේ මාර්ග ගත පන්ති පැය තුන හතර පැවත්වේ. එවැනි අවස්තාවල දරුවන් ලක්වෙන මානසික සහ කායික පීඩනය මෙතැකැයි කියා තක්සේරුකළ නොහැක. වටරැක ප්‍රදේශයේ කණිටු විදුහලක මාර්ගගත පන්තියකට පැය හතර තිස්සේ සහභාගිවෙන පහ වසරේ සිසුවෙක් මීට සති කිහිපයකට පෙර නිරීක්ෂණය කිරීමට මේ ලියුම් කරුට හැකි වූ අතර ඒ දරුවා හිසරදය, දෑස් වල අසීරුතා අඛණ්ඩව පැමිණිළි කරමින් මේ පන්තියට සහභාගී විය. බහුතරයක් දෙමාපියනට කෙසේ හෝ ඉගැන්වීම පමණක් ප්‍රමාණවත්ය. මෙලෙස වරු ගනන් ඉගැන්වීමෙන් දරුවන්ගේ මනසේ රැඳෙනා දෙයක් නැත . එහෙයින් තම දරුවාගේ  අධ්‍යාපනය මෙන්ම සෞඛ්‍ය ගැනද සිතා නොනවත්වා උගන්වා ඉගැන්වීම නිමකර නිදහස් වීමට  උත්සහා ගන්නා ගුරුවරුනගෙන් තම දූ දරුවන් රැකගැනීම දෙමාපියන් ගේ වගකීමකි.

මෙවැනි ගැටලු රැසක් ජනිත කළද මාර්ගගත අධ්‍යපනය වූ කළී අතහැර දැමිය හැකි දෙයක් නොවේ . නිසි සැලැස්මකට අනුව කරන්නේනම් සාම්ප්‍රදායික පන්තිකාමරයක ලබාදෙන අධ්‍යපනයට වැඩි යමක් ඉන් ලැබිය හැක. සැබැවින්ම අප මාර්ගගත අධ්‍යාපණයට පෙර විධිමත් ආකාරයෙන් රූපවාහිනිය අධ්‍යාපන මෙවලමක් ලෙස යොදා ගැනිමට හුරුවි සිටියේනම් අර්බුදකාරී අවස්තාවේ ඵලදායි වනු ඇත. එහෙයින් මේ මොහොතේ සිට හෝ මාර්ග ගත අධ්‍යාපනය ප්‍රවර්ධනය කරනා නිසි පිළිවෙලක් සැළසුම් කිරීම රජයෙ වගකීමකි . එහිලා ඉකුත් යහපාලන රජය සමයේ යොජනාවූ සිසුදරුවනට ටැබ් ලබාදීම, නිදහස් වයි ෆයි පහසුකම් ලබාදීමට යන යෝජනා දෙක දේශපාලන කෝණයෙන් නොබලා ක්‍රියාත්මක කළ යුතුය . ඊට අමතරා ගුරුවරුනට මුලික මට්ටමේ සංස්කරන කටයුතු ගැන අවබෝධයක් ලබා දීම, මාර්ග ගත ක්‍රමයට ඉගැන්වීමට අවශ්‍ය උපකරන ගුරුවරුනට ලබාදීම, සෑම පාසලකටම ඊට අනන්‍ය වෙබ් අඩවියක් නිර්මාණයකොට එමගින් අධ්‍යපණික වැඩසටහන් විකාශණය කිරීම, සිදුකළ යුතුවෙයි.හොදම දේ දරුවන්ට යන වැකිය දේශපාලන වේදිකාවට සිමා නොකළ යුතුය.
ඊට අමතරව සැමනිවසකටම විදුලිය සැපයීමේ ජාතික වැඩපිළිවෙල කඩිනම් කිරීම, ලැප් ටොප්, ටැබ් ආදිය අධ්‍යාපන මෙවලම් ලෙස සළකා බදුසහන ලබාදීම, දුරකථන සංඥා අධ්‍යාපනික අවකාශයක් සේ සලකා කටයුතු කිරීම වැනි පූර්ව ක්‍රියාමාර්ග ගැනීමෙන් ආණ්ඩුවට මාර්ගගත අධ්‍යාපන සිහිනය සැබෑ කිරීමට ප්‍රායෝගිකව දායක විය හැක . මුලුරටටම මාර්ග ගත අධ්‍යාපනය ලබාදීම මගින් පාසැල් පවත්වන දිනගනණ සීමා කර සිසුනට ක්ෂෙස්ත්‍රයේ සහ විවිධ ප්‍රායෝගික අත්දැකීම් ලැබීමට  ඉඩ ලබදීම කළ හැක . ඊට අමතරව පාසැල් පැවැත්වෙන දින ගනණ අඩු කිරීම මගින් මාර්ග තදබදය අඩුකිරීම, සිසුනගේ ආරක්ෂාව සැළසීම වැනි වාසි ලැබිය හැකි අතර, මාර්ග ගත අධ්‍යාපනයට අනුහුරු වීම තුළින් මනාව කාල කලමණාකරණය කොට  ගුරුවරුනටද වැඩිදුර අධ්‍යපන අවස්තා සහ පරයේෂණ අවස්තා උදාකරගැනීමට හැකිවෙනු ඇත. මේවා සියල්ල දෙතුන් ගුනයකින් වැඩිවී යළි අධ්‍යාපනයටම ප්‍රතිලාබ ලෙස ලැබෙනා බව නිසැකය. සැකැවින් පවසන්නේනම් නිසි පිළිවෙළකට මාර්ග ගත අධ්‍යාපනය ලබාදීම මගින් අධ්‍යාපනයේ ගුණාත්මක බව කිහිප ගුණයකින් නගා සිටවිය හැක

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts