
ඒ අතින් දී මේ අතින් ගන්නා වතු කම්කරුවන්ගේ රුපියල් දහස
මල්ලියප්පුසන්දි තිලකා
2015 සිටම වතු කම්කරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම වූ දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩිකිරීම මේ වනවිට ලැබී ඇති බවක් පෙනේ. එනම්, රජය විසින් වැටුප් සැකසීමේ ක්‍රියාවලිය හරහා වතු කම්කරුවන්ගේ මූලික වැටුප ලෙස රුපියල් 1000ක් (රුපියල් 900 ක දෛනික වැටුපක් හා රුපියල් 100 ක් අතිකාල දීමනා ලෙස) ලබාදිය යුතු බව වැවිලි සමාගම්වලට නියෝග කර ඇත.
කෙසේ වෙතත්, වැවිලි සමාගම් දෛනික වැටුප ලෙස රුපියල් 1000ක් ගෙවීමට එකඟ වී පහත සඳහන් ක්‍රියාමාර්ග ගෙන තිබේ.
1. 1992 වතු පෞද්ගලීකරණයෙන් පසුව 1998 සිට බලපැවැත්වෙන සාමූහික ගිවිසුම භාවිතයෙන් ඉවත් වීම.
2. මෙම වැටුප් නිර්ණය ක්‍රමය සුදුසු නොවන බව කියමින් උසාවියේ නඩු පැවරීම. ( උසාවියේ නඩුව විභාග වෙමින් පවතී.)
3. වතු කම්කරුවන් දිනකට තේ දළු කිලෝග්‍රෑම් 20 ක් කැඩීම අනිවාර්ය කොන්දේසිය මත රැකියා ලබා දීමට කටයුතු කිරීම.
4. මසකට දින 13 ක් පමණක් වැඩ ලබා දීම.
මෙම ක්‍රියාමාර්ග වල ප්‍රතිඵලයක් ලෙස, වසර පහක පමණ කාලයක් තිස්සේ වතු කම්කරුවන් විසින් ඉල්ලා සිටින රුපියල් 1,000 ක වැටුප් වැඩිවීමක් සඳහා ඉල්ලීම වෙනස් මුහුණුවරක් ගෙන ඇති බව නිරීක්ෂණය කළ හැකිය. දිනකට තේ දළු කිලෝග්‍රෑම් 20 ක් කැඩීමේ කොන්දේසිය ප්‍රතික්ෂේප කිරීම සහ මසකට දින 13ක් පමණක් වැඩ ලබා දීම සම්බන්ධයෙන් විරෝධතා ආරම්භ වී ඇත.


මෙම අරගලය රුපියල් 1000 අරගලය මෙන් ප්‍රබල වීමට නම්, වතු කම්කරුවන් නොවන හා කඳුකරයේ නොවන ප්‍රජාවන්ගේ සහෝදර සහාය ද ලැබිය යුතුය. නමුත් එවැනි හඬවල් මතුවන්නේ අඩුවෙන් බව පෙනේ.
එයට හේතු වන්නේ,
1. 2021 අප්‍රේල් සහ මැයි මාසවලදී කොවිඩ් 19 වසංගත තත්ත්වය පැතිරීම ඉහළ යාම.
2. වැටුප් නිර්ණය කිරීමේ යෝජනා, තේ දළු කිලෝග්‍රෑම් 20ක් කැඩීමට සිදුවීම හා දින 13ක් පමණක් වැඩ ලබාදීම පිළිබඳව බාහිර සමාජයේ නොදැනුවත්කම.
රුපියල් 1000 ගැටලුව විසඳා ඇත යන පදනම මත රජය හා රජයට සහයෝගය පල කරන වතුකරයේ වෘත්තීය සමිති (දේශපාලන පක්ෂ ද ඇතුළුව) විවිධ ප්‍රකාශ නිකුත් කළද, එම ගැටලුව වෙනත් මුහුණුවරකින් නැවත මතු වෙමින් පවතී.
මෙම සත්‍යය තේරුම් ගැනීමට රජය යොමු වී නැත. තෙරුම්ගත්තද සිටින්නේ නොතේරුණා මෙන්ය. මන්ද යත්, රජයට ඉදිරිපත් කළ ගැටලුව සහ රජයෙන් ලබාදුන් පොරොන්දුව දිනකට රුපියල් දහසක මූලික වැටුපක් ලබා දීම පමණක් වීමයි.
රජය එම ඉල්ලීම ඉටු කර ඇති බව මවාපාමින් ජාත්‍යන්තර කම්කරු දිනයේදී තම සාර්ථකත්ව ලැයිස්තුවට එය එක් කර ඇත. රජයේ මෙම ක්‍රියාවන්ට ස්තුතිපුර්වක වන රජයට සහයෝගය දක්වන වතුකරයේ දේශපාලන වෘත්තීය සමිතීන් තේ දළු කිලෝග්‍රෑම් 20 කැඩිය යුතු වීම හා දින 13 ක් පමණක් වැඩ ලබා දීම වැනි ගැටලු රුපියල් 1000 අරගලයට සම්බන්ධ නොවන නව ගැටලු ලෙස පෙන්නා දෙයි.
නමුත් සත්‍යය නම් රුපියල් 1000 ප‍්‍රශ්නය දිගින් දිගටම මුහුණුවර වෙනස් කරමින් සමාජය තුල පවතින බව අප වටහා ගත යුතුය.
එය සිදු වූයේ කෙසේද යත්,
1. රජය විසින් වැටුප් පාලක සභාව හරහා රුපියල් දහසක වැටුපක් ගෙවන ලෙස සමාගම්වලට බලපෑම් කළ අතර ඔවුන් ඊට එකඟ විය.
2. ඒ සමඟම වැටුප් පාලක සභාවට බලපෑම් කළ නොහැකි කාරණා සමාගම් විසින් වාසිය සඳහා පාවිච්චි කරන්නට විය.
සමාගම් වලට එලෙස හිතකර වන කරුණු කිහිපයක් පහත දැක්වේ.
1. දිනකට රුපියල් 1000 ක දෛනික වැටුපක් ගෙවීමට වැටුප් පාලක සභාව තීරණය කළද, එය මසකට නිශ්චිත වැඩකරන දින කොපමණක් සැපයිය යුතුද යන්න සම්බන්ධයෙන් කිසිදු කොන්දේසියක් පනවා නැත. සාමූහික ගිවිසුමේ සඳහන් පරිදි අවම වශයෙන් මසකට වැඩකරන දින 25 ක් වත් සැපයිය යුතුය යන කොන්දේසිය උල්ලංඝනය කරමින් ක්‍රියා කිරීමට සමාගම් වලට හැකියාව ලැබී ඇත (වසරකට වැඩ කරන දින 300 ක් සැපයිය යුතු යැයි සාමූහික ගිවිසුමේ සඳහන්ව තිබුණි. සමාගම් එම කොන්දේසිවලට යටත්ව ක්‍රියාrකල නැති වුවද ගිවිසුම්ගත බැඳීමක් තිබුණි). මේ අනුව කම්කරුවෙකුගේ වැටුප සඳහා වැය කළ මුළු මුදලෙහි කිසිදු වෙනස් කිරීමක් නොකර වැටුප් පාලක සභාවේ නියෝගයටද අනුකූල වීමට සමාගම් වලට හැකි වී ඇත.
දෛනික වැටුප රුපියල් 750 ක් ව තිබූ විට, දින 25 ක් සේවය කළ කම්කරුවෙකු සඳහා සමාගම් විසින් මසකට (25×750) රුපියල් 18750 ක් වියදම් කරනු ඇත. එම රුපියල් 18750 ම කම්කරුවන්ට දෛනික වැටුප ලෙස රුපියල් 1000ක් ලබා දී වැඩකරන දින ගණන 19 දක්වා අඩු කල විට වැටුප් පාලක සභාවේ බලපෑම් නිසා රුපියල දහසක් ලබාදුන්නද සමාගම් වලට කිසිදු ආකාරයක ආර්ථික බලපෑමක් ඇතිවන්නේ නැත.
නමුත්, වැටුප රුපියල් 750 ක් ලබාදුන් කාලයේදී සේවක අර්ථසාධක අරමුදල සඳහා 12%ක් හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සඳහා 3%ක් ලෙස දිනකට රුපියල් 105 බැගින් වැඩ කරන දින ගණනට අදාළ මුදල එම අරමුදල් වලට ගෙවීම සඳහා සමාගම් වග බලා ගත යුතු විය. කෙසේ නමුත් එක කම්කරුවෙකු දින 25ක් වැඩ කලේ නම් සමාගම විසින් කම්කරුවෙක් සඳහා රුපියල් 2625 ක් මෙම අරමුදල් සඳහා ගෙවිය යුතුය.
මෙලෙස දින 25 ක වැඩ සඳහා රුපියල් 1000 ක් ගෙවන්නේ නම් (900+100 (දෛනික වැටුප හා අතිකාල දීමනා) දෙකෙහිම එකතුවට සේවක අර්ථසාධක අරමුදල ගණනය කිරීම කල යුතු බව වැටුප් පාලක සභාව විසින් එකඟතාවයකට පැමිණ ඇත.) රුපියල් 3750 ක මුදලක් සමාගම් විසින් අරමුදල් සඳහා ගෙවිය යුතු වේ. එමනිසා මෙහි ඇති අතිරේක වියදම අවම කර ගැනීම සඳහා සමාගම් විසින් වැඩ කරන දින ගණන අඩු කර තිබේ.
මීට පෙර වැඩ කරන දින 25 ක් ලෙස තිබුණද, එම දින වලින් 75 %ක් වැඩට ආවේ නම් පැමිණීමේ දිමනාවක් ලබා දීමේ ක්‍රියාමාර්ගයක් පැවතිණි. ඒ සඳහා සමාගම් විසින් දින 19ක් වැඩ ලබා දුන් අතර, දීමනාව ලබා ගැනීම සඳහා අවම වශයෙන් අඛණ්ඩව දින 19 ක් වැඩ කළ යුතු විය. දැන් එසේ අවශ්‍ය නොවේ. එබැවින්, දින 19 ක වැඩ සඳහා මාසික වැටුප වර්තමාන වැටුපට අනුව සකස් කර සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සඳහා ගෙවිය යුතු මුදල් ඒ අනුව සකස්කර ගැනීමට දින 13 ක් හෝ 14 ක් වැඩ කිරීම ප්‍රමාණවත් බව සමාගම් ස්ථාවරයකට පැමිණ තිබේ.
එබැවින් සමාගම් විසින් මසකට එක් කම්කරුවෙකු සඳහා දරන සාමාන්‍ය මාසික වියදම 14×1000 = 14000 ක් වන අතර ඊට අදාළ සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට ගෙවිය යුතු රුපියල් 2100 ද එකතු කල විට මුළු වියදම රුපියල් 16,100 කි. එම පිරිවැය පවත්වාගෙන යාම සඳහා වේතන පිරිවැය (Wages Cost) ආර්ථික පිරිමැස්ම (Economy) වැනි උපායන් සමාගම් විසින් අනුගමනය කරමින් සිටීයි.
අවම වැඩකරන දින ගණන 19 ව තිබියදී දෛනික වැටුප රුපියල් 750 ක් වන විට දින 19 ක් සඳහා කම්කරුවෙකුට ගෙවිය යුතු මුළු මුදල රුපියල් 14750 කි. රුපියල් 700 ට අදාළ EPF /ETF සඳහා ගෙවිය යුතු මුදල දිනකට රුපියල් 105 බැගින් දින 19 කට රුපියල් 1995කි. මේ අනුව දෛනික වැටුප රුපියල් 750 ක් වන විටදී කම්කරුවෙකු වැඩ කරන දින 19ක් සඳහා සමාගම් දැරිය යුතු මුළු පිරිවැය 14750+1995 = 16745කි. සැලකිල්ලට ගත යුතු කාරණය වන්නේ සමාගම් විසින් කම්කරුවෙකුට දෛනික වැටුප රුපියල් 1000 ක් ගෙවන විටදී දරන පිරිවැය (රුපියල් 16100) දෛනික වැටුප රුපියල් 750 ක් ගෙවන විටදී දැරූ පිරිවැයට (රුපියල් 16745) වඩා අඩු වීමක් මිස වැඩි වීමක් සිදු වී නොමැති වීමයි.
මෙලෙස සමාගම් විසින් මසකට එක් කම්කරුවෙකු සඳහා වියදම් කළ හැකි අයවැය අනුව වැටුප් ක්‍රමය එක් කම්කරුවෙකු සඳහා මසකට රුපියල් 16,000 සිට 17,000 දක්වා නොවෙනස්ව තබා ගනී.
2. දිනකට තේ දළු කිලෝග්‍රෑම් 20 ක් කැඩිය යුතුය යන කොන්දේසිය.
මෙම තේ දළු කිලෝග්‍රෑම් 20 කොන්දේසිය සමාගම් විසින් මීට පෙර සිටම පවත්වාගෙන යන සාමූහික ගිවිසුමේ විකල්ප ක්‍රම/ යෝජනාවක් ලෙස යෝජනා කර ඇති එළිමහන් බෝග ක්‍රමයේ (අවුට්ඩෝවර්) පිළිබිඹුවකි. ඒ අනුව මෙය කම්කරුවන් එක් දිනකට කිලෝග්‍රෑම් 20 ක් තේ දළු කැඩූ විට තේ දළු කිලෝග්‍රෑම් එකක් වෙනුවෙන් රුපියල් 50 ක් ගෙවනු ලැබේ. යන පදනම මත ( මීට පෙර අතිරේකව කඩන තේ දළු සඳහා රුපියල් 50ක් ලබාදී ඇති බව සඳහන් වේ.) රුපියල් 50 x කිලෝග්‍රෑම් 20 ලෙස ගෙන දෛනික වැටුප රුපියල් 1000ට සමාන කිරීමට හෝ ගලපාගැනීමට සමාගම් විසින් ගන්නා උත්සාහයකි.
මේ අනුව, කම්කරුවෙකු ලවා දිනකට තේ දළු කිලෝග්‍රෑම් 20 ක් කඩා ගැනීම, සමාගම් විසින් දෛනික වැටුප සඳහා වැය කරන රුපියල් 1000 සඳහා උපරිම නිෂ්පාදන මට්ටමක් ලබා ගන්නට දරනා උත්සාහයකි. මෙය ඵලදායිතාව පදනම් කරගත් සමාගම් විසින් පවත්වාගෙන යන කූට උපායකි.
වෘත්තීය සමිති වලට එල්ල වන පීඩනය
සමාගම් විසින් සාමූහික ගිවිසුම බලපැවැත්වෙන විට (ඊට පෙර පවා) වතු කම්කරුවන් විසින් ගෙවිය යුතු වූ වෘත්තීය සමිතියේ මාසික දායකත්වය දෛනික වැටුපෙන් අඩු කරමින් කම්කරුවන් සමිතියට යැවීමට කටයුතු කරමින් සිටියහ.
2021 අප්‍රේල් මාසය වන විට සමහර සමාගම් විසින් පවත්වාගෙන ආ එම පුරුද්ද අත්හැර දමා ඇත. මෙම ක්‍රියාව වෘත්තීය සමිති කෙරෙහි පරිපාලනමය පීඩනයක් ඇති කර තිබේ. මෙම පීඩනය විසින් වෘත්තීය සමිතිවලට දෛනිකව තේ දළු කිලෝග්‍රෑම් 20 ක් කැඩීම යන කොන්දේසිය පිළිගැනීමට බල කළ හැකිය. (මෙම දායකත්ව මුදල් එකතු කිරීමේ ක්‍රියාදාමය හා මේ පිටුපසින් ඇති දේශපාලන බලපෑම සම්බන්ධයෙන් වෙනමම බැලිය යුතුය. )
සමාගම් මඟින් රජයට එල්ලවන පීඩනය
රුපියල් 1000 ගෙවන ලෙස රජය සමාගම්වලට බලපෑම් කර ඇති ආකාරයටම සමාගම් විසින් රජයටද බලපෑම් කිරීමට පටන් ගෙන තිබේ. විශේෂයෙන් කම්කරුවන්ගේ සෞඛ්‍ය අංශය පාලනය , කළමනාකරණය තමන් යටතේ පවත්වාගෙන යන සමාගම්, ඒ වෙනුවෙන් අරමුදල් වෙන් කරන ලෙස ඉල්ලිම් කරන අතර කාර්ය මණ්ඩලය සඳහා ගෙවීම් ද අඩු කර ගැනීමට උත්සහ දරමින් සිටියි.
මේ සම්බන්ධ ගැටලු නුදුරු අනාගතයේදී මතුවනු ඇත. ඒ සමඟම කම්කරුවන්ගේ සුභසාධනය සඳහා භාරයන්ට සමාගම් විසින් වෙන් කරනු ලබන අරමුදල්ද අඩු කිරීමට පියවර ගැනීමටද ඉඩකඩ තිබේ. මෙමඟින් අනාගතයේ දී සමාගම් විසින් රජය මත එල්ල කරන පීඩනය වැඩි කරනු ඇත. ( ඒ සඳහා වෙනම දැක්මක් අවශ්‍ය වේ.)
කරුණු කෙසේ වෙතත්, වැවිලි කර්මාන්ත ක්‍රමය විනාශ කර දැමීමට කරමින් සිටින දිගු කාලීන ව්‍යාපෘතියේ ඇති කරුණු මේවාය යන්න මේ පිලිබඳ සිදු කරන අධ්‍යයනයන් හරහා අප වටහා ගත යුතුය. මේ අතර, වැවිලි කර්මාන්තය විනාශ වී යන විට එහි වෙසෙන ජනතාවගේ ජීවනෝපායන් සහ වාසස්ථාන පිළිබඳ ඇති දේශපාලනය මෙම ‘රුපියල් 1000 ’ අරගලයයේ මූලයන්ය.
ஆயிரமும் அதற்கு பின்னான பிரச்சினைகளும்:மலையகப் பெருந்தோட்டங்களை முன்னிறுத்திய பார்வை
The Thousand Rupee Demand & The Reality: The Prospects Of Plantation Workers