සී ජේ අමරතුංග

එක රටක් නම් එක නීතියක් යන්න මෑතක දී ජනප්‍රිය වූ සටන් පාඨයකි  කි. එයින් කියැවුණේ එක රටක් පවත්වාගෙන යන්නේ නම් සියලු දෙනා එක ම නීතියකට යටත් විය යුතු බව යි. වඩාත් පැහැදිලිව කිව හොත් විවිධ ජනවර්ගවලට සහ පළාත්වලට සුවිශේෂී නීති තිබිය නොහැකි බව යි.

මෙම සටන් පාඨයේ ආසන්න ඉලක්කය වුයේ මෙරට මුස්ලිම් ජනයා බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි. විශේෂයෙන් ම ඉලක්ක වුයේ එම ජනයාගේ විවාහ නීතිය යි. මුස්ලිම් පුරුෂයකුට ස්ත්‍රීන් කිහිප දෙනෙකු විවාහ කර ගැනීමට ඇති නීතිමය ඉඩකඩ මෙන් ම,  විවාහ වීම සඳහා ස්ත්‍රීන්ට නියම කොට ඇති අවම වයස් සීමාව ආදිය එහි දී ඇතැම් සිංහල අන්තවාදී කණ්ඩායම්වල විවේචනයට ලක් වී තිබිණි.

මෙම සටන් පාඨයේ නිර්මාතෘවරුන් වුයේ වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට කැප වී ක්‍රියා කළ ඇතැම් සිංහල අන්තවාදී කණ්ඩායම් ය. ඔවුන් මෙම ආණ්ඩුව බලයට පත් කිරීමට කැප වී ක්‍රියා කළේ ආණ්ඩුව ලවා තමන්ගේ එම සටන් පාඨය ද ඇතුළු තම න්‍යාය පත්‍රය ක්‍රියාවට නංවා ගැනීම සඳහා යි.  

කෙසේ වෙතත්, මෑත කාලීන සිදුවීමකින් එම මතවාදයට බරපතළ පහරක් එල්ල වී ය. එනම්, කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත සම්මත කිරීම යි. එය රටේ එක්  කොටසක් සඳහා පනවන ලද වෙන ම නීතියකි. එම කොටස පාලනය වන්නේ එම විශේෂ නීතියට අනුව ය. ඒ අනුව එය “ එක රටක් එක නීතියක් “ සටන් පාඨය ට එල්ල වූ බරපතළ පහරකි. එකී සටන් පාඨය ප්‍රතික්ෂේප වීමකි.

මෙම සිදුවීමේ තවත් පැත්තක් ද තේරුම් ගැනීම වැදගත් ය. කොළඹ වරාය නගරයට වෙන ම නීතියක් තිබුන ද, එය එක නීතියකට යටත් බව යි. එනම් රටේ මුලික නීතිය යි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යි. එහි දී, රටට ම ඇත්තේ එක ම නීතියකි.අනෙක් සියලු වෙනස් නීති පවතින්නේ මෙම මුලික නීතියෙන් ලබා දී ඇති ප්‍රතිපාදන අනුව ය. එයින් නියම කොට ඇති සීමාවන්ට යටත්ව ය. තේරුම් ගත යුතු වැදගත් කරණය එය යි.

සිංහල අන්තවාදීන්ගේ ඉලක්කය වූ මුස්ලිම් වරුන්ගේ නීති ගැන කතා කරන්නේ නම් එම ඇතැම් නීති යල් පැන ඇති බව මුස්ලිම් ජාතිකයෝ පවා පිළිගනිති. අනෙක් අතට, මේ වනවිට එම ඇතැම් නීති තිබෙනේ නීති පොතේ පමණකි. ඒවා ඇත්තට ම, ක්‍රියාත්මක වන්නේ නැත. ඒ අතර ඇතැම් විවාදාත්මක නීති තවමත් නැතුවා නොවේ. එසේ වුව ද, ඒ ඔවුන්ගේ විශ්වාසය යි.එයින් වෙනත් පිරිසකට හෝ සමාජයට හෝ වරදක් සිදු නොවන්නේ නම් එයට එරෙහි වීමේ අවශ්‍යතාවයක් නැත. 

අඩු වයසේ විවාහ වැනි ප්‍රශ්නයක් ගතහොත් එය මෙරට සියලු ජන වර්ග අතර පැවතී බරපතළ ප්‍රශ්නයකි. නීතියේ සීමා ඉහළ දමා ඇතත්, තවමත් එම ප්‍රශ්න පවතින බව සමාජ විද්‍යාඥයෝ පෙන්වාදෙති. විශේෂයෙන් ගැමි දුප්පතුන් අතර එම ප්‍රශ්න පවතින්නේ කිසිදු වාර්ගික හෝ ආගමික හෝ බේදයකින් තොරව ය. සමාජීය ප්‍රශ්න වන ඒවාට සමාජීය පිළිතුරු අවශ්‍ය ය. එක නීතියක් යන්න එම ප්‍රශ්නවලට අදාළ නොවන්නේ ඒවා සිදුවන්නේ නීතියට අනුව නොවන හෙයිනි.

අනෙක් අතට, වත්මන් ලෝක පිළිගැනීම් අනුව ප්‍රශ්නකාරී වන තවත් බොහෝ සම්ප්‍රදායයන් වත්මන් සමාජයේ තවමත් භාවිතයේ පවතියි. ඇතැම් සම්ප්‍රදායයන් පවතින්නේ ආගම සමග ය. ඒවා ප්‍රශ්න කිරීම පවා දුෂ්කර ය.රටේ ප්‍රධාන නීති පද්ධතියට අයත් නොවන විහාර දේවාලගම් පණතද එවැන්නකි.

කුඩා දරුවන් මහණ කිරීම එවැන්නකි. එය සසර කලකිරී හෝ දහම අවබෝද වී හෝ සිදුවන්නක් නොවේ. දරුවන් වෙනුවෙන් වැඩිහිටියන් ගන්නා තීරණයකි. දරුවන්ගේ ළදරු විය ඔවුන්ට අහිමිකරන වැඩිහිටියන්ට අනුව එය දරුවන්ගේ සුබසෙත සඳහා ගන්නා පියවරකි. එහි දී, ළමා අයිතිවාසිකම් ගැන කතා බෞද්ධ විරෝධි මිසදිටු ක්‍රියාවකි.

මෙරටේ වෙනත් නීති ඇත්තේ මුස්ලිම් වරුන්ට පමණක් නොවේ වෙනත් ජන කොටස් වලට ද ඇතැම් නීති ඇත.

යාපන අර්ධද්වීපයේ ක්‍රියාත්මක තේසවලාමේ නීතිය එවැන්නකි. එනම්, එම ප්‍රදේශයේ  ඉඩම් විකුනන්නේ නම්, එම ප්‍රදේශයේ ජනයාට ප්‍රමුඛතාව ලබාදීමේ නීතියකි. කලකට පෙර එය ද ඇතැම් අන්තවාදීන්ගේ විරෝධයට ලක් වී ය. 

මෙරට ක්‍රියාත්මක තවත් නීතියක් නම් උඩරට විවාහ නීතිය යි. එය තිබෙන්නේ මෙරට උඩරැටියන් වෙනුවෙනි. එසේ වුව ද, එම නීතිය යටතේ විවාහ වන්නට උඩරැටියන් ලෙස ආඩම්බර වන උදවිය පවා එතරම් උනන්දු වන්නේ නැත. එබඳු විවාහයක දී, මුල් ඇඳුම ඇතුළු උඩරට ලෙස මනාල යුවල සැරසී සිටින්නේ තම උඩරට අභිමානය පෙන්වන්නට ය. එසේ වුව ද, විවාහය ලියාපදිංචි කරන්නේ පහතරට හෙවත් සාමාන්‍ය විවාහ නීතිය යටතේ ය. සමාජ පිළිගැනීම් වෙනස් වන්නේ එහෙම ය.

විසිවැනි සියවෙ අග දක්වා මෙම උඩරට නීතිය යටතේ විවාහ සිදුවිය. ඒ පැරණි ගම්වල විවාහ නොවී පවුල් ජීවිත ගත කළ උදවිය විවාහ කරවන විට දී ය. එලෙස විවාහ වන්නේ පවුල් ජීවිත ගතකොට දරු මුණුබුරන් ද දුටු උදවිය යි. පසුව ඔවුන් විවාහ වන්නේ දරු මුණුබුරන්ගේ උප්පැන්න සහතිකවල අඩුපාඩු හදන්නට ය. නැතහොත් දේපළ ප්‍රශ්න විසඳා දෙන්නට ය.මෙම ලියුම්කරු දන්නා කරුණු අනුව රජරට ප්‍රදේශයේ එබඳු පවුල් විවාහ වෙන්නට කැමති වුයේ උඩරට නීතිය යටතේ ය. මෙලෙස මෙම නීතිය තවමත් ක්‍රියාත්මක වන අවස්ථා මේ වන විටත් තිබිය හැකි ය.

මෙයින් පෙනී යන්නේ රටක් තනි රටක් වශයෙන් තිබීමට සියලු දෙනාට සියලු කරුණු සම්බන්ධයෙන් එක ම නීතියක් තිබීම අත්‍යවශ්‍ය කොන්දේසියක් නොවන බව යි.රටක් තුළ සිටින විවිධ ජන කොටස්වලට ඔවුන්ගේ පිළිගැනීම් අනුව වෙනත් නීති සහ සම්ප්‍රදායන් තිබිය හැකි බව යි.

ඒ අතර ඒ සියල්ල බැඳී පවතින එක ප්‍රධාන නීතියක් තිබිය යුතු ය. එනම් රටේ මුලික නීතිය හෙවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යි.

ලෝකයේ වෙනත් රටවල් කිහිපයක සිදුවීම් මගින් ද මෙය පැහැදිලි වෙයි.

 ඇමෙරිකා එක්සත් ජනපදය යනු, ජනපද පනස් එකකින් සැදුම් ලත් එක්  බලගතු රාජ්‍යයකි. එහි එක් විධායක ජනාධිපතිවරයකු සිටින අතර ඔහු හෝ ඇය හෝ පත්කරගනු  ලබන්නේ මුළු රටේ ම මහජන ඡන්දයෙනි.

පසුගිය දා එරට පැවතී ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරදවා ජෝ බයිඩන් ජයගත්තේ ය. එහෙත්, ට්‍රම්ප් කීවේ මැතිවරණය දුෂිත වූ බව සහ තමා ජයගත් බව යි. ඔහු තම චෝදනා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේ ය. එම ක්‍රියාවලියේ දී ලොවට ම පෙනී ගිය කාරණයක් නම්, එරට එක් එක් ජනපදයේ නැතහොත් ප්‍රාන්තයේ මැතිවරණ නීති වෙනස් බව යි. ප්‍රාන්ත 51 හි නීති පද්ධති 51 කි. ඒ සියල්ල එකතු කරන එක් නීතිය නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යි.

ඉන්දියාව ගැන අමුතුවෙන් කිව යුතු නැත. එහි එක් එක් ප්‍රාන්තවලට පාර්ලිමේන්තු ඇති අතර මහ ඇමතිවරු ද  සිටිති.

චීනයේ හොන්කොන් දුපත බ්‍රත්න්යයටත්, මැකාවෝ දුපත පෘතුගාලයටත් බදු දී තිබුණේ වසර සියයකට පෙර සිටි පාලකයින් විසිනි. නවසිය අනු ගණන් වල ඒවා ආපසු ලැබෙන්නට තිබුණි. වෙනස් ආර්ථික දේශපාලන ක්‍රම තිබු එම දුපත් චීනයට නැවත ලැබෙන විට චීනය ඉදිරිපත් කළ සටන් පාඨය නම් “එක රටක් ක්‍රම දෙකක් “ යන්න යි.

මේ සියල්ලෙන් පෙනෙන්නේ රටක් එක් සේසත් කළ හැක්කේ “ එක රටක් එක නීතියක්” කීමෙන් නොවන බව යි. එය සාර්ථකව කළ හැකි වන්නේ එක් මුලික නීතියක් හෙවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ විවිධ ජන කොටස්වලට හෝ පළාත්වලට හෝ  විශේෂිත නීති සඳහා ද ඉඩ සැලසීම තුළිනි.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts