Uncategorized

අලිවැටෙන් ආරක්ෂාව පන්සලට විතර ද? ගමට නැද්ද? 

ධනුෂ්ක සිල්වා

ලෝකයේ වනජීවී සම්පත සංරක්ෂණය කරන රටවල් අතරින් ලංකාව ඉදිරියෙන්ම පසුවන රටකි. වනජීවී සම්පත් ගැන කෙරෙන කතාබහේදී ඉදිරියට එන මාතෘකා ගොනුව අතර වන අලි සුවිශේෂී මාතෘකාවකි. කලාපීය වන අලි (Elephant Maximus) ගහනයෙන් 10% ක් සංරක්ෂණය වන්නේ  ලංකාවේ නිසා වන අලියාගේ පැවැත්මට අප රට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන බව සඳහන් කළ හැකියි.

එහෙත් වන අලි ඝනත්වය හා මානව ජනගහනය අතර තුලිතතාවය ක්‍රමයෙන් බිඳවැටෙමින් තිබීම සහ තවත් අමතර කරුණු රාශියක ප්‍රතිඵලයක් ලෙස මෙරට අලි-මිනිස් ගැටුමක් නිර්මාණය වී තිබේ. පසුගිය වසර පහක කාලය තුළ ශ්‍රි ලංකාවේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 107 ක අලි-මිනිස් ගැටුම වර්ධනය වෙමින් පවතින බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු වාර්තා හෙළිකරයි. ඒ අනුව වාර්ෂිකව මිනිස් ජීවිත 75-85 ක් වන අලි 170-190 ක් පමණ අකාලයේ රටට අහිමිවේ.

ඓතිහාසික සාධක

අලි-මිනිස් ගැටුමට හේතුසාධක විමර්ෂණයේ දී ඉදිරිපත් වන ප්‍රබල අදහසක් වන්නේ අලින්ගේ ස්වභාවික වාස භූමි හායනය හා ඊට සමානුපාතිකව මානව ජනගහනය වර්ධනය වීම මීට බලපා ඇති බවයි. මෙම අදහස තර්කයක් ලෙස ගතහොත් මුළු භූමි ප්‍රමාණයෙන් වැඩි කොටසක් ස්වභාවික වනාන්තර ලෙස පැවති හා ජන ගහනය අවම වු අතීතයේ අලි-මිනිස් ගැටුමක් පැවතිය නොහැක. එහෙත් මෙරට ඓතිහාසික තොරතුරු අධ්‍යනයේදී අලි-මිනිස් ගැටුමේ ඓතිහාසික තත්වය ප්‍රමාණාත්මකව මැනගැනීමට උපකාරී වන බොහෝ කරුණු ලියා තැබීමට මෙරටට පැමිණි විදේශ ලේඛකයන් වැඩි උනන්දුවක් දක්වා තිබේ.

මීට ශතවර්ෂ තුනකට පමණ පෙර (1656 දී) මෙරටට පැමිණි ෆිලිප්ස් බැල්ඩියස් රෙපරමාදු දේවගැතිවරයා එවක මෙරට අලි ජනගහනය කොළඹ-ගාල්ල දෙපස මාර්ගය දක්වා ව්යාප්තව තිබූ බව තහවුරු කරයි. සෑම වසරකම වන අලින් විසින් බොහෝ මිනිස් ජීවිත විනාශ කර මහත් අලාභ හානි කළ බව බැල්ඩියස්ගේ විස්තරයේ සඳහන් ය. ශ්‍රි ලංකාවේ වන අලි විත්ති ගවේෂකයෙකු වූ එමර්සන් ටෙනන්ට්ගේ “The Wild Elephant & The Methods of Capturing & Taming it in Ceylon” කෘතියේදී වානිජ වැවිලි කර්මාන්තයට ඇති බලවත්ම බාධකය වන අලි බවත් එමනිසා වන අලි මරාදැමීමට ඕනෑම කෙනෙකුට අවසර පමණක් නොව ප්‍රසාද දීමනාවක් ද ගෙවූ බව සඳහන් කරයි. 1851-56 කාලයේ දී ඒ අවසරයෙන් ගාල්ල සිට හම්බන්තොට දක්වා ප්‍රදේශයේ අලි 2000 ක් ඝාතනය කළ බව සඳහන් කරයි. මීට අමතරව, අතීත ලාංකික ජන සමාජයේ සිරිත් විරිත් හා ස්වභාව සම්පත් අළලා ලියවුණු අතිශය නිවැරදි විස්තරාත්මක වාර්තාවක් ලෙස සැළකිය හැකි රොබර්ට් නොක්ස්ගේ “An Historical Relations of the Island Ceylon in the East Indies” (1681) කෘතියෙන් ගම්වැසියන් හා වන අලින් අතර නිතර ගැටුම් ඇතිවන බව සඳහන් කරයි.

ඉහත ඉතිහාසය සාධකවලින් හෙළිවන්නේ වන ඝනත්වය හා මානව ජනගහනය අතර තුලිතතාවය බැඳවැටීම අලි-මිනිස් ගැටුමට බලපා ඇති එකම හේතුව නොවන බවයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෑතකදී නිකුත් කළ “Multi-Disciplinary Approaches to Control the Human-Elephant Conflict in Sri Lanka” වාර්තාව වන අලින්ගේ නිවාස පරාසයන් ඛණ්ඩනය වීම, නිශ්චිත භූමි පරිභෝජන සැළසුම් නොමැතිකම, සංවර්ධන යෝජනා වලදී හඳුනාගත් වන අලි සංරක්ෂණ උපාය මාර්ග නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හා ජනතා සහයෝගය ප්‍රමාණවත් නොවීම ආදී අමතර කරුණු රැසක් ද මෙරට අලි-මිනිස් ගැටුමට බලපා ඇති මූලික හේතුසාධක ලෙස හඳුනාගනී.

ඇහැටුවැව ගැටුම

දළදා පෙරහැර හා කතරගම දේවාළ පෙරහැර සංස්කෘතිය නිසා මෙරට නගර කේන්ද්‍රීය මැද පංතියට වාර්ෂිකව ඔවුන් ලබන සංස්කෘතික වින්දනයේ ප්‍රමාණයට අලි-ඇත් කතිකාව උත්කර්ෂයට නැගීමට හැකියාව තිබේ. එහෙත්, මෙරට ප්‍රත්යන්ත ප්‍රදේශවල වෙසෙන ජනයාට එම වින්දනයට ඇති අයිතිය නිරුත්සාහකවම අහිමි වී තිබෙන්නේ අලි-ඇතුන් ගැන ‘මරණීය අවධානමක්’ මිස අන් යමක් ඔවුන්ගේ දෛනික ජීවිත තුළ ශේෂමාන වී නොමැති බැවිනි.

වයඹ පළාතේ ඇහැටුවැව හා ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙරට අලි-මිනිස් ගැටුමට නිරන්තරව මැදිවන ප්‍රදේශයකි. මේ ප්‍රදේශවල ජනතාව ද ඉහත කී සංස්කෘතික අයිතිය වාර්ෂිකව අහිමි වී ඇති අතර ඊට අමතරව අලි-ඇතුන් ගැන මරණීය අවධානම ඔවුන්ගේ දෛනික ජීවිතවල පංගුවක් වී හමාර ය.

 

විදුලි වැට ස්ථාපිත කිරීම ලංකාවේ වන අලි ගැටුම පාලනයට යොදාගන්නා ප්‍රධාන ක්‍රමවේදයයි. එහෙත් නිසි අධ්යයනයකින් තොරව ඇතැමුන්ගේ පෞද්ගලික වුවමනාවන් සපුරාගැනීමට අලිවැට ඉදිකිරීම ගැටුම උග්‍ර කරන බව හඳුනාගෙන තිබේ. මේ කියූ ආකාරයෙන්ම පෞද්ගලික උවමනාවන් පිරිමසාගැනීමට ඇහැටුවැව නාකොළගනේ රජමහා විහාරයේ හිමිනමක් තවත් පෞද්ගලික සමාගමක අනුග්‍රහයෙන් ඉදිකළ විදුලි වැටක් නිසා නාකොළගනේ, ඇහැටුවැව හා ගල්ගමුව අවට ප්‍රදේශවල ජනතාවට එතෙක් කලක් අලි-ඇතුන් නිසා දැනෙමින් තිබූ මරණීය අවධානම තවත් තීව්‍ර වෙමින් තිබේ.

2008 අංක 1553 දරණ ගැසට් පත්‍රය (2008.06.06 දින නිකුත් කරන ලද) මඟින්  නාකොළගනේ පුරාණ රජමහා විහාරය කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් පුරාවිද්‍යත්මක වටිනාකමක් ඇති විහාරස්ථානයක් ලෙස නම්කර ඇත. විහාරවාසි හිමියන් අලි වැට ඉදිකරන්නේ තමන්වහන්සේ වැඩවසන විහාරස්ථානය ආරක්ෂා කරගැනීමට බව බැලූ බැල්මට කෙනෙකුට හැඟී ගියත් එය සත්‍ය අරමුණ නොවේ. සත්‍ය අරමුණ නම් විහාරයට යාව ඇති කැලෑබද ප්‍රදේශයෙන් අක්කර 20ක් පමණ මුළුමනින්ම හෙළිකර වගාකර ඇති අඹ වගාව අලින්ගෙන් බේරා ගැනීමය. සරලවම කිවහොත් අනාගතයේ ලබාගත හැකි ආර්ථික ප්‍රතිලාභ ඉලක්ක කරගෙන මේ සා විශාල වනාන්තර හෙළිකිරීමක් කර තවත් අමතර ගැටලූ රැසක අවට ගම්වැසියන් පටලැවීමයි.

ඇහැටුවැව සැළකෙන්නේ සාපේක්ෂ වශයෙන් ලංකාවේ වැඩි වන අලි ඝනත්වයක් සහිත ප්‍රදේශයක් ලෙසයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු වාර්තා (Multi-Disciplinary Approaches to Control the Human-Elephant Conflict in Sri Lanka) සඳහන් කරන්නේ 200 ක් පමණ වන අලි ආහාර අවශ්‍යතා සඳහා දෛනිකව ප්‍රදේශයට යාව ඇති වනාන්තරයේ සැරිසරන බවයි. පලූකඩවල හා අතරගල්ලේ වැව් දෙකත් මෙම ප්‍රදේශයට මායිම්ව ඇති නිසා වන අලින්ගේ නිවාස හා ආහාර පරාසයක් ලෙස සැළකිය හැකියි. හෙළිකර ඇති ප්‍රදේශය ඝන ශාක වැස්මක් තිබූ ස්වභාව සෞන්දර්යයෙන් අනූන භුමියක් නිසා එහි සුන්දරත්වයේ මිහිරියාව අද වන විට  අඹ වගාවකට යටකර තිබේ. ඇහැටුවැව ජල මූලාශ්‍ර හිඟ ප්‍රදේශයක් ද නිසා මේ වන විනාශයේ බලපෑමෙන් ජල මුලාශ්‍ර හිඳීයාමේ අවධානමක්ද මතුවිය හැකිය. එමනිසා කුමන පරමාර්ථයකින් හෝ මෙවැනි ප්‍රදේශයකින් අක්කර විස්සක තරම් විශාල පංගුවක් හෙළිකිරීම යනු අලි-මිනිස් ගැටුම උග්‍ර කිරිමක් මෙන්ම අලින්ගේත් මිනිසුන්ගේත් ජීවිත මරණීය අවධානම වෙන තවත් ළං කිරීමක් ලෙස සඳහන් කළ යුතුය.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts