අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

අදහස් ප්‍රකාශ කිරීම අයිතියකි, එය වෛරසයක් නොවේ – පළමු කොටස

අසංක අබේරත්න

මිනිසා අනෙකුත් සත්වයින්ගෙන් වෙනස් වන තීරණාත්මක සාධකවලින් එකක් වන්නේ භාෂාවයි. සතුන්ද ඔවුනට ආවේණික ක්‍රම මගින් හැගීම් දැනීම් හුවමාරු කරගනී. එහෙත් වඩාත් ක්‍රමවත්ව භාෂාව හැසිරවීම අතින් මානවයා අනෙකුත් සත්වයන්ට වඩා දියුණුය. එකම භාෂාව තුළ පමණක් නොව විවිධ භාෂා මාධ්‍යයන්ගෙන් අදහස් හුවමාරු කර ගැනීමට හැකියාව සහ ඊට සරිලන සන්නිවේදන ක්‍රම මානවයා සතුය. සන්නිවේදනය හරහා අදහස් සහ පණිවුඩ බෙදා ගැනීම, මතවාද දැරීමට ඇති නිදහස මිනිසෙක් වීම නිසාවෙන්ම හිමිවී තිබේ යැයි ඒ අනුව තර්ක කළ හැකිය. එහෙත් භාෂා හැකියාව සහ සන්නිවේදන පහසුකම තිබූ පමණින් අදහස් බෙදා ගැනීමට හෝ මතවාද දැරීමට හැකිද? මේ පිළිබඳව සාකච්ඡා කරන විට ජනවහරේ එන සම්ප්‍රදායික කියමනක් සිහියට නැගේ. එනම්, “රටවටකර වැට බැන්දත් කට වටකර වැට බදින්න බෑ”. මුඛ පරම්පරාවෙන් පැවත එන එම කියමන කතා කිරීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ සහජ, නිදහස් අයිතිය පිළිබඳ අදහස් කරයි- භාෂා හැකියාව හා සන්නිවේදනය සඳහා පහසුකම් තිබීම පමණක් අදහස් ප්‍රකාශ කිරීමේදී හා මතවාද දැරීමේදී ප්‍රමාණවත් නොවේ. වඩාත්ම වැදගත් දෙයනම් ඒ සඳහා නිදහස තිබීමයි. නිදහස තිබිය යුතුය යන්න මෙමඟින් අවධාරණය කරන්නේ වෙනත් පුද්ගලයකුගේ හෝ පුද්ගල කණ්ඩායමකගේ බලපෑමකින් තොරව අදහස් ප්‍රකාශ කිරීමට සහ මතවාද දැරීමට තිබෙන ඉඩ ප්‍රස්තාවයි. ඕනෑම තත්ත්වයක් යටතේ අදහස් ප්‍රකාශ කිරීමටත් මතවාද දැරීමටත් අයිතියක් තිබෙන අතර එය නිවැරදිම අදහස හෝ මතවාදය විය යුතු යැයි සම්මතයක් නැත. විවිධත්වයෙන් යුත් අදහස් සහ විරුද්ධ මතවාදයන්ද ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයට අයත්ය. භද්ප ක්‍යදපිනහ පැවසූ පරිදි “අප හෙලා දකින මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ගැන අප විශ්වාස නොකරන්නේනම්, අපි අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස විශ්වාස නොකරයි”- මිනිසුන්ව හෙළා දැකිය හැකිය, එහෙත් අදහස් ප්‍රකාශ කිරීමට තිබෙන නිදහස හෙළා දැකිය නොහැකිය-

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මූලික මානව අයිතියක්


1948 සම්මත කළ එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් විශ්ව ප්‍රකාශනයේ 19 වැනි වගන්තියෙන් පෙන්වා දෙන පරිදි “නිදහස් මත දැරීමට හා ප්‍රකාශ කිරීමට සෑම පුද්ගලයකුටම අයිතිය ඇත”. එහිදී “අනුන්ගේ බාධාවක් නොමැතිව, තම මතය දැරීමටත්, දේශසීමා නොසලකා කවර මාධ්‍යකින් හෝ තොරතුරු ලැබීමටත් ඇති අයිතිය” ඊට ඇතුළත්ය. අදහස් ප්‍රකාශ කිරීම සහ නිදහස් මතවාද දැරීම සියලු‍ පුද්ගලයන්ගේ මූලික හා නොවැළැක්විය හැකි අයිතියකි. එමෙන්ම එය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක යහ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය ගුණාංගයක්ද වේ. මේ වන විට පාර්ශවකාර රාජ්‍යයන් 175ක් විසින් ක්‍රියාත්මක කරන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (1966) 19. 1 වගන්තියෙන් “බාධාවකින් තොරව අදහස් දැරීමට සෑම කෙනෙකුටම අයිතිය තිබේ” යනුවෙන් සඳහන් කර තිබේ. මානව හිමිකම් පිළිබඳ ඇමරිකානු සම්මුතියේ 13 වන වගන්තියේ දක්වා ඇති කොන්දේසි යටතේ තොරතුරු සහ අදහස් නිදහසේ ලබා ගැනීමට හා ලබා දීමට සෑම පුද්ගලයෙකුටම අයිතියක් ඇත. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මිනිසෙක් වීම නිසාවෙන්ම හිමිවන අයිතිවාසිකමකි. ජාතිය, වර්ණය, ස්ත්‍රී පුරුෂ භාවය, භාෂාව, ආගම, දේශපාලන හෝ වෙනත් මතයන්, ජාතික හෝ සමාජ සම්භවය, ආර්ථික තත්ත්වය, උපත හෝ වෙනත් ඕනෑම සමාජ තත්ත්වයක් මත එය සීමාවට ලක්කළ නොහැකිය.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මූලික අයිතියකි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ඡේදයේ 14 වන වගන්තියට “කතා කිරීමේ නිදහස” යන්න ඇතුළත් කොට තිබේ. එහෙත් 15 වන වගන්තිය මගින් පරම නොවන අයිතීන් ලෙස සලකා තිබෙන ඒවා සීමාවට යටත් කළ හැකි බව අවධාරණය කරයි. එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයක් ලෙස මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය පිළිගැනීමට ශ්‍රී ලංකාව බැදී සිටින අතර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියටද 1980 මැයි මස 11 වන දින අත්සන් තබන ලදි. එය 2007 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ බලාත්මක වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් නොවන ඇතැම් මානව හිමිකම් තහවුරු කිරීමට එමඟින් අපේක්ෂා කරන ලදි. එනම් “වෙනස්කොට සැලකීම, ජාතික, වාර්ගික හෝ ආගමික එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩත්වයට පොළබවන ප්‍රකාශ හෝ ක්‍රියාවන් නීති විරෝධී ලෙස සලකනු ලබයි”. යම් පුද්ගලයෙකු විසින් එය උල්ලංඝනය කළ විට වසර 10කට නොවැඩි සිර දඩුවමකට යටත් කළ හැකිය. එහෙත් අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකාව තුළ මෙම සම්මුතිය රජය විසින් අවභාවිත කරමින් සිටී.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts