අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස

සමාජ සාධාරණත්වය සහ සෞඛ්‍ය අයිතිවාසිකම්

අසංක අබේරත්න

එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන් විසින් සෑම වසරකම අප්‍රේල් මස 7 වන දින ලෝක සෞඛ්‍ය දිනය සමරනු ලබයි. ලෝක සෞඛ්‍ය දිනයේ මෙවර තේමාව ලෙස  “Building a fairer, healthier world” එනම්, ‘වාඩා හොඳ සෞඛ්‍ය සම්පන්න ලොවක් ගොඩනැගීම’ යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. සෞඛ්‍ය අයිතිවාසිකම් පිළිබඳව සලකා බලන විට ලෝකයේ සෑම රටක්ම පාහේ රෝගියාගේ අයිතිවාසිකම් පිළිබඳ අවම වශයෙන් එක් මානව හිමිකම් ගිවිසුමකට හෝ පක්ෂ වී සිටී. සෞඛ්‍යයට ඇති මානව අයිතිය සෑම වෛද්‍ය සේවාවක් සඳහාම විවෘත වූවකි. සෞඛ්‍යයට ප්‍රවේශ වීම, සනීපාරක්ෂාව, ප්‍රමාණවත් ආහාර, වාසයට සුදුසු නිවාස, සෞඛ්‍ය සේවා, කොන්දේසි සහ පිරිසිදු පරිසරයක් ඇතුළත් කරගත් ශාරීරික හා මානසික සෞඛ්‍ය පිළිබඳ ඉහළම ප්‍රමිතිය අත්කර ගැනීමට තිබෙන ඉඩ ප්‍රස්ථාව පිළිබඳව මූලික සෞඛ්‍ය අයිතිවාසිකම්වලින් ආමන්තණ්‍රය කරයි. 

සෞඛ්‍ය කෙරෙහි වන රාජ්‍යයේ නෛතික බැඳීම

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ව්‍යවස්ථාව (1946) තුළ “ සෑම මිනිසෙකුගේම මූලික අයිතිවාසිකමක් ලෙස සෞඛ්‍යයට ළඟා විය හැකි ඉහළම ප්‍රමිතිය” යනුවෙන් සදහන් කර තිබේ. සෞඛ්‍යය මානව අයිතිවාසිකමක් ලෙස එමගින් පිළිගනී. එමෙන්ම සෞඛ්‍ය අයිතිවාසිකම් සෑම ආකාරයකින්ම සමාජ සාධාරණත්වය මත පදනම් විය යුතුය. ඒ අනුව සුදුසු තත්ත්වයේ, පිළිගත හැකි සහ දැරිය හැකි සෞඛ්‍ය සේවාවක් සඳහා ප්‍රවේශය සහතික කිරීම මෙන්ම පිරිසිදු පානීය ජලය, සනීපාරක්ෂාව, ආහාර වැනි මූලික සෞඛ්‍ය අවශ්‍යතාවලදී නිර්ණායක සැපයීම සඳහා රාජ්‍යයන්ට නීතිමය බැඳීමක් එමඟින් ලබාදී තිබේ. මෙම ඉලක්කය ක්‍රමානුකූලව සාක්ෂාත් කර ගැනීමට නම් සෞඛ්‍ය සේවාව සදහා උපරිම සම්පත් වෙන් කිරීම ඇතුළුව සෞඛ්‍යයට ප්‍රවේශ වීමට පවතින බාධා ඉවත් කළ යුතය . එයට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට රාජ්‍යය බැඳී සිටී. එක්සත් ජාතීන්ගේ ආර්ථික, සමාජ හා සංස්කෘතික අයිතිවාසිකම් කමිටුව වැනි ජාත්‍යන්තර මානව හමිිකම් යාන්ත්‍රණයන් හරහා එය සමාලෝචනය කිරීම අත්‍යවශ්‍ය කටයුත්තකි. සෞඛ්‍යයට ඇති අයිතිය බොහෝ රාජ්‍යයන් විසින් දේශීය නීතියට හෝ ව්‍යවස්ථාමය නීතියට  ඇතුළත් කරගෙන තිබේ. ඇතැම් විට සෞඛ්‍ය අයිතිවාසිකම් අනෙකුත් අයිතිවාසිකම්වලටත් වඩා ප්‍රමුඛ විය හැකිය. මන්දයත් සෞඛ්‍ය අයිතිවාසකම් උල්ලංඝණය වීමකින් ජීවිතය මරණයෙන් වුවද කෙලවර විය හැකිය.

සමාජ සාධාරණත්වයෙන් යුත් සෞඛ්‍යය සේවාවක අවශ්‍යතාව 

බොහෝ අවස්ථාවලදී වයස, ලිංගික දිශානතිය, ස්ත්‍රී පුරුෂභාවය, අනන්‍යතාවය සහ සංක්‍රමණික තත්ත්වය ඇතුළු වෙනත් අසමානතාවයන් මගින් සෞඛ්‍ය ආරක්ෂාව අනතුරට ලක් කිරීමේ හැකියාව ඉහළ මට්ටමක පවතී. සෞඛ්‍ය ආරක්ෂණ වැළැක්වීම, ප්‍රතිකාර, පුනරුත්ථාපන සහ සත්කාර සේවා වෙත ප්‍රවේශ වීම දුෂ්කර කරන නීති සහ දැඩි ප්‍රතිපත්ති සමාජ ආන්තිකකරණය තවදුරටත් වර්ධනය කරයි. එහෙත් සෞඛ්‍ය 

ප්‍රතිපත්තිය සහ වැඩසටහන්වලදී අයිතිවාසිකම් මත පදනම් වූ ප්‍රවේශයක් අනුගමනය කිරීමෙන් සමාජ ප්‍රතිලාභ අත්කර ගත හැකිය. සනීපාරක්ෂාව මානව අයිතිවාසිකම් සමඟ බැඳී තිබුණද සමාජ ආන්තිකකරණය හේතුවෙන් සමාජයේ අව වරප්‍රසාධිත ප්‍රජාවන්ට යහපත් සෞඛ්‍යයක් භුක්ති විඳීමට තිබෙන හැකියාව ඉතා සීමිතය. සාධාරණ සහ සමානත්මතා මූලධර්ම යටතේ පළමුවෙන්ම ආන්තිකරණය වූ ප්‍රජාවන්ට ප්‍රමුඛතාවය දීම වැදගත් වන්නේ ඒ නිසාය. මෑතකදී සම්මත කරගත් 2030 තිරසාර සංවර්ධනය හා විශ්ව සෞඛ්‍ය ආවරණය පිළිබඳ වැඩසටහන තුළද එය අවධානයට ලක්ව තිබේ. 

ශාරීරික හා මානසික සෞඛ්‍යය පිළිබඳ ඉහළම ප්‍රමිතිය භුක්ති විඳීමට ඇති මානව අයිතිය, සෞඛ්‍ය හා ආරක්ෂණ පද්ධති වෙනස්කොට සැලකීමෙන් තර්ජනයට ලක්වීම නිසා ලෙඩ රෝග පැතිරයාම වේගවත් කරයි. සමාජ සාධාරණත්වය මත පදනම් වූ මූලික සෞඛ්‍ය අයිතිවාසිකම් සැමට සාක්ෂාත් කර ගත හැකි පොදු සේවාවක් සදහා ශක්තිමත් යාන්ත්‍රණයක් ගොඩනැගීම කෙරෙහි ප්‍රමුඛත්වය ලබාදිය යුතුය. එහිදී වෙනස් කොට සැලකීමකින් තොරව හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රවේශ වීමේ සම අයිතිය වර්ධනය කීරීම අත්‍යවශය වේ. වසංගතයට ප්‍රතිචාර දැක්වීමේදි ද නව ගෝලීය සහයෝගීතාවක් සඳහා විධිමත් මග පෙන්වීමක් වඩාත් වැදගත් වේ. දැනටමත් ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ පිළිගෙන තිබෙන සෞඛ්‍යයට ඇති අයිතියට වසංගත, ආවේණික සහ වෙනත් රෝග වැළැක්වීම, ප්‍රතිකාර කිරීම සහ පාලනය කිරීම සඳහා වන පියවර ඇතුළත් වේ. එහිදී වෛද්‍ය සේවය සහ වෛද්‍ය ප්‍රතිකාර සහතික කිරීම, අසනීප තත්ත්වයකදී සෞඛ්‍ය උපකරණ, සේවා සහ පහසුකම් ප්‍රමාණවත් ලෙස ලබාදීම අනිවාර්ය වේ. එක්සත් ජාතීන්ගේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ කමිටුව පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර සහයෝගීතාව තුළ සෞඛ්‍ය ආරක්ෂාව සදහා කටයුතු කිරීමේදී වෛද්‍ය උපකරණ සහ හොඳම භාවිතයන් බෙදා ගැනීම, නව ප්‍රතකිාර ක්‍රම පිළිබද දැනුම බෙදා ගැනීම සහ එයට ඇති බාධක අවම කිරීමේ ඒකාබද්ධ ක්‍රියාමාර්ගවලට එළැඹිය යුතු බවයි.  

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් කතුවරුන්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts