වෛරී ප්‍රකාශ

වෛරී ප්‍රකාශනවල සමාජ බලපෑම

ගයාන් යද්දෙහිගේ

ඔබට හොඳ වචන ඇති විට රළු වචන පැවසීම හරියට ඉදුණු පලතුරු ඇතිවිට කුණු පලතුරු නෙලීම හා සමානයි යනුවෙන් වරක් ස්වාමි විවේකානන්දයෝ පැවසූහ.එම කියනමන එදාටත් වඩා වලංගු වන්නේ අදටය.ජාතිය,ජනවාර්ගිකත්වය,ස්ත්‍රී පුරුෂ භාවය,ලිංගික නැඹුරුතාව,ආගම,වයස,ශාරීරික හෝ මානසික ආබාධ සහ වෙනත් උප ලක්ෂණ පදනම් කරගනිමින් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් ඉලක්ක කොට කරනු ලබන වෛරය මුසු ප්‍රකාශ හා කතනයන් සමාජයේ නොයෙකුත් බෙදීම් නිර්මාණය කිරීමට හේතු ව බව අවිවාදිත කරුණකි.ඒ හා සම්බන්ධ අත්දැකීම් පසුගිය කාලය තුළ අපි කොතෙකුත් අත්විඳ තිබෙන්නෙමු.සමාජ මාධ්‍ය භාවිතය ඉහළ යෑමත් සමඟ වෛරී ප්‍රකාශ සමාජගත කිරීම සඳහා ඇති අවකාශය පුළුල් විය.යම් පුද්ගලයෙකු වෛරී ප්‍රකාශයක් සමාජ මාධ්‍යයට මුදා හැරි අවස්ථාවේදීම ඊට ක්ෂණික ප්‍රතිචාර ප්‍රතිපාර්ශවය මගින් ලබාදීම ගැටුමකින් කෙළවර වූ අවස්ථා සඳහා උදාහරණ ඕනෑ තරම් මෑත ඉතිහාසයේ දක්නට ලැබිණි.දිගන ප්‍රදේශයේදී මුස්ලිම් තරුණයින් තිදෙනෙකු විසින් සිංහල තරුණයෙකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය ජාතිවාදී ගැටුමක් දක්වා වර්ධනය වීමට ප්‍රබල හේතුවක් වූයේ එය කේන්ද්‍ර කරගනිමින් සමාජ මාධ්‍ය වල වෛරී ප්‍රකාශ පළ වීමය.

වෛරී ප්‍රකාශ යනු මොනවාද?..ඉන් සමාජයට සිදුවන බලපෑම කුමක්ද ?…එවැනි ප්‍රකාශයක් කිරීමෙන් නීතියෙන් හිමිවන දඬුවම් මොනවාද යන්න පිළිබඳව බොහෝ දෙනෙකු තුළ නිසි අවබෝධයක් නොමැත.ඒ සම්බන්ධව ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ජාතික මාස මණ්ඩලය හා මහනුවර දිස්ත්‍රික් ආන්තර් ආගමික කමිටුව වෛරී ප්‍රකාශ නමින් පොතක් මුද්‍රණය කර නොමිලේ බෙදා හැරීමට පියවර ගෙන තිබේ.

මහනුවර අන්තර් ආගමික කමිටුවේ කැඳවුම්කරු ගාමීණී ජයවීර මහතා මේ සම්බන්ධව මෙසේ අදහස් දැක්වීය.

වෛරී ප්‍රකාශ කරනු ලබන පුද්ගලයින් ප්‍රධාන වශයෙන් ඉලක්ක කරගනු ලබන්නේ ජාතිය හා ආගමයි.එය ඉලක්කර කර සිදුකරනු ලබන වෛරී ප්‍රකාශ තුළින් ජාතින් වශයෙන් හා ආගම් වශයෙන් පුද්ගලයින් බෙදා වෙන් කරන්න පුළුවන්.ඒක මේ රටේ ජාතික හා ආගමික සංහිඳියාව බිඳී යෑමට ප්‍රබල ලෙස බලපානවා.හල්ලා ප්‍රශ්නය පදනම් කරගනිමින් විශාල මතවාදයවක් රටේ ඇති වුණා.සිංහල සමාජය තුළින් වගේම මුස්ලිම් සමාජය තුළින් මෙම කරුණ මුල්කරගෙන නොයෙකුත් විවේචනාත්මක අදහස් එල්ල වුණා.ඒවා අතරන් සමහරක්  වෛරය පදනම් කරගත් ඒවායි.ඉන්පසු වඳ පෙති,වඳ සැත්කම් වගේ නොයෙකුත් කාරනා සමාජගත වුණා.බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සමාජ මාධ්‍යයේ අපට දක්නට ලැබුණා.මේ සියල්ලේ අවසාන ප්‍රතිපලය වුණේ මොකක්ද?.ජාතීන් අතර සැකය,බිය,වෛරය වගේ දේවල් ඉස්මතු වීමයි.පුරවැසියන් ලෙස ජාතීන් අතර සාමය,සමඟිය ඇති කරන්න අපි හැමෝටම වගකීමක් තිබෙනවා.සමාජය ජාති,ආගම්,කුල වශයෙන් බෙදා වෙන් කිරීමේ අවශ්‍යාතව තිබෙන්නේ ඉතාම සුඵ පිරිසකටයි.බහුතරයක් දෙනා ජාතික හා ආගමික සංහිඳියාව ප්‍රාර්ථනා කරනවා.වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් ගත්තොත් සමාජය අපිට කොටස් තුනකට බෙදා වෙන්කරලා කතා කරන්න පුළුවන්.සමාජය බෙදා වෙන්කරලා ඒ ඔස්සේ යම් යම් වාසි ගන්න උත්සහ කරන ඉතාම සුළු පිරිසක් ඉන්නවා.මේවා ප්‍රතික්ෂේප කරන නමුත් ඊට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන නිහඬව ඉන්න පිරිසකුත් ඉන්නවා.එම කණ්ඩායම ඉතා විශාලයි.තවත් පිරිසක් ඉන්නවා සමාජය ජාති හා ආගම් වශයෙන් බෙදී වෙන් නොවී හැමෝම එකට ඉන්න ඕන කියලා හිතලා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන පිරිසක්.ඒ කණ්ඩායමත් ප්‍රමාණිකව කුඩා එකක්.මෙයින් පෙනී යන්නේ සමස්ත සමාජය ගත්තොත් අති බහුතරය සාමය හා සංහිඳියාව පතන අය බවයි.නමුත් මෙම පිරිස නිහඬව ඉන්න නිසා ජාති හා ආගම්වාදය පදනම් කරගෙන ගැටුම් අති කරන්න උත්සහ කරන සුළු පිරිසගේ හඬ ඉස්මතු වෙනවා.මෙන්න මේක තමයි අපි පරාජය කරන්න ඕන.ඒ නිසා තමයි අපි වෛරී ප්‍රකාශයක් කියන්නේ මොකකද?..ඒකෙන් සමාජයට වන හානිය මොකක්ද? වෛරී ප්‍රකාශ සම්බන්ධ රටේ පවතින නීතී පිළිබඳ ඇතුළත් කරලා පොතක් නිර්මාණය කළේ.

වෛරී ප්‍රකාශ කළහැකි මාධ්‍යයන් බොහෝය.සමාජ මාධ්‍ය මගින් රූප,වචන  හා සංකල්ප ඔස්සේ එය සිදු කරනු ලබයි.පොදු මහජන රැස්වීම්,කුඩා කණ්ඩායම් සාකච්ඡා,රූපවාහිනි හා ගුවන් විදුලි,පුවත්පත්,පොස්ටර්,කැලෑ පත්තර,කට කතා වෛරී ප්‍රකාශ සමාජගත කිරීමට භාවිත කරන සෙසු මාධ්‍යයන්ය.ලෝක ජන ගහණයෙන් බිලියන 2.6  ක් සමාජ මාධ්‍ය භාවිත කරන අතර රූප,වචන හෝ සංකල්ප  ඊට එක්කළ පසු එක මොහාතකදී විශාල ජන කණ්ඩායමක් වෙත එමඟින් ආමන්ත්‍රණය කිරීමේ හැකියාව ලැබේ.ශ්‍රී ලංකාවේද මිලියන 06 ක පමණ පිරිසක් සමාජ මාධ්‍ය භාවිත කරති.දිගන ආශ්‍රිත සිංහල හා මුස්ලිම් ජනතාව අතර ඇතිවූ ගැටුම් සම්බන්ධ වෛරී ප්‍රකාශ සමාජ මාධ්‍යයට මුදා හැරීම නිසා දිවයිනේ වෙනත් ප්‍රදේශ වලද ගැටුම් ඇතිවිය.අවසානයේ මෙය පාලනය කිරීම සඳහා සමාජ මාධ්‍ය තහනමක් පැනවීමට රජයට සිදුවිය. 

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ ව්‍යාපෘති සම්බන්ධීකාරක නිරෝෂා ඇන්තනී මහත්මිය මේ සම්බන්ධව දක්වන්නේ මෙවන් අදහසකි..අවි ආයුධ වලින් කරන අරගල වලදී පුද්ගලයින්ට සිදුවන තුවාල හා විනාශය අපේ දෑස් වලට පේනවා.එහෙත් වෛරී ප්‍රකාශ නිසා හිත්වල ඇතිවන තුවාල අපිට පේන්නේ නැහැ.ඒවා සුවපත් කිරීම හරිම ආමාරුයි.අපි අවුරුදු තිහක යුද්ධයකට මුහුණ දුන්නා.යුද්ධයේ නිමාවත් එක්ක ජාතික සමඟිය සහජීවනය අපි ප්‍රාර්ථනා කළා.එසේ වුවත් අපි අපේක්ෂා කළ දේ දකින්න ලැබුණේ නැහැ.අදටත් වෛරී ප්‍රකාශ අහන්න දකින්න ලැබෙනවා.මේවා නිසා ජාතින් අතර මොනතරම් බෙදීම් ඇති වෙලාද?අද පාසැල් සිසුන් පවා සමාජ මාධ්‍ය බහුලව භාවිත කරනවා.ඔවුන් මේ වෛරී ප්‍රකාශ දකිනවා.ඒවාට ප්‍රතිචාර දක්වනවා.සමාජය තුළ වෛරය වපුරන්න වචන විතරක් නොවෙයි සංඛේත පවා භාවිත කරන අවස්ථා අපි දකිනවා.වෛරී ප්‍රකාශ පදනම් කරගනිමින් ඇතිවූ ගැටුම් නිසා මහනුවර ජනතාව විශාල ලෙස පීඩා වින්දා.ඒ නිසා අපි මේ වැඩපිළිවෙළ මහනුවරින් ආරම්භ කරන්න හිතුවා.දිවයිනේ දිස්ත්‍රික්ක 23 ක අපි මේ ප්‍රකාශනය නොමිලේ බෙදා දෙනවා.අපිට අවශ්‍යය වෛරී ප්‍රකාශ නිසා සිදුවන ජාති හා ආගම් වාදී ගැටුම් නැති කරලා ජාතික හා ආගමික සංහිඳියාව රටේ ස්ථාපිත කරන්නයි.


එක්සත් ජාතීන්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය (ICCPR)  සහ සෑම ආකාරයකම වාර්ගික වෙනස්කොට සැලකීම් තුරන් කිරීම සඳහා ජත්‍යන්තර සම්මුතිය (CERD)  පිළිගෙන එය අනුගමනය කිරීමට ‍පොරොන්දු වූ රටවල් වෛරී කතනය තහනම් කිරීමට තම රාජ්‍යයන් තුළ නීති පැනවීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා බැදී සිටී.ශ්‍රී ලංකා රජයද ඉහත සඳහන් සම්මුතීන් දෙක සඳහාම අත්සන් කර එකඟතාව පළකර තිබේ.ලංකාවේ සමාජ මාධ්‍ය නියාමනය කලයුතු බවත් අසත්‍ය පුවත් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සදහා විධිමත් යාන්ත්‍රනයක් සකස් කලයුතු බවත් ආණ්ඩුව පාර්ශවයෙන් යෝජනා වී ඇත. ඒ සදහා ගතයුතු ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබද සාක්ච්ඡා කිරිම සදහා වත්මන් ජනමාධ්‍ය ඇමතිවරයා විසින් මේවන විට කමිටුවක් පත්කර අති අතර ඔවුන් දැනමත් විවිධ පාර්ශව කැදවමින් අදහස් විමසිමට පටන් ගෙන තිබේ.මෙය ආණ්ඩුව කරන්නේ සද්භාවයෙන් නම් ගැටළුවක් නැත.නමුත් කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් තොරතුරු ලබාදිමට අදාලව  පනවන ලද වාරණය සහ අතීත ක්‍රියාකාරකම් දෙස බැලීමේදී මේ කටයුතු සද්භාවයෙන් කෙරෙන්නක්ද යන සැකය මතුවේ.කෙසේ නමුත් ඉහත සදහන් ජාත්‍යන්තර සම්මුතීන් සැලකිලට ගනිමින් සමාජට හානිකර ජාතීන් අතර සංහිදියාවට බාධාවන පුවත් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් එය යහපත්ය.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts